නොරොච්චෝලේ පිහිටි මෙරට එකම ගල් අගුරු  බලාගාරය වන ලක්විජය ගල් අගුරු බලාගාරය පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් ඇතිව තිබේ. මේ හරහා සිදුවන පරිසර හානිය පිළිබඳ නොයෙක් දෙනා නොයෙක් කාරණා සඳහන්  කරන අතර එමගින් සිදුවන හානිය සුළුපටු නොවේ.
මේ තත්ත්වය තුළ එම බලාගාරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට අපි නොරොච්චෝලේ ප්‍රදේශයට ගියෙමු. ලක්විජය බලාගාරයට ලබාදෙන ලද පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් අප මුලින්ම අවධානය යොමු කළ අතර එය ලබාගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට සහ වයඹ පරිසර අධිකාරියට තොරතුරු ඉල්ලීමේ පත්‍රිකා යොමු කළද එය සාර්ථක නොවීය.

3 (1)-001
කෙසේ වුවද මෙම බලාගාරයට ලබාදී ඇති පරිසර ඇගයීම් බලපත්‍රය 2017 ජුනී මාසය වනවිට ඉකුත්වී ඇති බව කරුණු අනාවරණය විය. ඒ අනුව වලංගු බලපත්‍රයක් නොමැතිව වසරකට වැඩි කාලයක් නොරච්චෝලේ බලාගාරය  පවත්වාගෙන යමින් සිටියි.

අපගේ නිරීක්ෂණ අනුව නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ ගල් අගුරු ගොඩගැසීම සහ දහනය කළ ගල් අගුරුවලින් සිදුවන බලපෑම වැඩි බව තහවුරු විය. ඒ හේතුවෙන් ගල් අගුරු භාවිතය සම්බනධයෙන් මෙම ලිපියෙන් වැඩි අවධානයක් යොමු කෙරේ.

  • බලාගාරය සඳහා ගල් අගුරු භාවිතයේදී වසරකට ගල් අගුරු ටොන් 67,000ක් සාගරය සමග මුසුවන බව මේ වනවිට සොයාගෙන ඇති අතර එය නැවක් පිරෙන තරම් ප්‍රමාණයක් බව අනාවරණය කරගෙන තිබේ.
  • මෙයින් ගල් අගුරු ටොන් 17,000 ක් නැව්වලින් ගොඩබාන විට මුහුදට මුසුවන අතර ඒවා කල්පිටිය දක්වා ගසාගෙන යන බව නිරීක්ෂණය වේ.
  • එමෙන්ම ගල් අගුරු ටොන් 50,000ක් පමණ සුළඟේ ගසාගෙන ගොස් මුහුදට හා අවට පරිසරයට එක් වන බවද ගණන් බලා ඇත. ගල් අගුරු බලාගාරය සඳහා ප්‍රමිතියෙන් යුතු ගල් අගුරු මිලදී ගත යුතුව ඇති අතර එමගින් ගල් අගුරු ප්‍රවාහනයේදී සිදුවන හානිය වළක්වා ගැනීමට හැකියාව තිබේ.01 (1)

නොරොච්චෝලේ බලාගාරයට ලබාගන්නා ගල් අගුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට , ලංකා විදුලිබල මණ්ඩලයට , ලංකා ගල් අගුරු සමාගමට
තොරතුරු දැනගැනීමේ පත්‍රිකා යොමු කළද මේ දක්වා ඒ සම්බන්ධයෙන් තොරතුරු නොලැබුණි.

අප අනාවරණය කර ගත් තොරතුරු අනුව දැනට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ලබන දකුණු අප්‍රිකාණු ගල් අගුරුවල අගුරු කුඩු ප්‍රතිශතය ඉතා ඉහළය. නොරොච්චෝලේහි ගොඩකර ඇති ගල් අගුරුවල 35% ක් මිලිමීටර්
02 ට වඩා අඩු ප්‍රමාණයේ ගල් අගුරු කුඩු තිබෙන අතර මෙය වාතය සමග පහසුවෙන්ම මුසුවෙයි. මෙම ගල් අගුරු අපතේ යාම පිළිබඳව  විගණකාධිපතිවරයා විසින් ඔහුගේ 2015 විගණකාධිපති වාර්තාවේදී පෙන්වාදී ඇති අතර එසේ වුවද එම වසරින් පසුව විගණන වාර්තා ලබාගෙන නොමැත. කෙසේවුවද ගල් අගුරු ගොඩබෑමේදී සහ ඒ අතර ක්‍රියාවලියේදී සිදුවන අක්‍රමිකතා හේතුවෙන් අපතේ යන ගල් අගුරු ප්‍රමාණය ඉතා ඉහළය. මේ හේතුවෙන් සිදුවන පරිසර හානියද ඉතාමත් විශාලය.
ලක්විජය බලාගාරයේ ගල් අගුරු ගොඩදමන ස්ථානය පසුගිය වකවානුවෙහි පුළුල් කර ඇති අතර ඒ හේතුවෙන් මෙය අවට ගම්මාන සමීපයට ගොස් තිබේ. මෙහි අනතුරුදායක තත්ත්වය වන්නේ ඇතැම් ස්ථානවල ගල් අගුරු ටොන් මිලියන 1.3 දක්වා ගොඩගසා තිබීමයි. මෙම භූමියේ දැනට මීටර් 16 ක් දක්වා උසට ගල් අගුරු ගොඩගසා තිබෙනු දක්නට ඇත. මෙම ගල් අගුරු ගොඩෙන් ගලා යන ක්ෂීරණය සහ වර්ෂා අවස්ථාවලීදී ජලය සමග මුසුවී භූගත ජලය සමග එකතුවන අතර එය වැළැක්වීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන
නොමැත. ගම්මාන ආසන්නයේ මෙය සිදුවන බැවින් එම ගම්මුන්ට මෙහි බලපෑම හානිදායක වන අයුරෙන් ඇතිවීමට පුළුවන.

02 (1)02 (3)

සුළඟ මගින්ද ගල් අගුරු කුඩු ගසාගෙන යන බැවින් විශාල ප්‍රදේශයක් පුරා ඒවා පැතිරයමින් තිබේ. ගොඩගසා ඇති ගල් අගුරු කදුවලින් 70% ක් පමණ නිරාවරණය වී ඇති බැවින් වායුව සමග මුසුව ගල් අගුරු කුඩු පරිසරයට
එකතුවීමට ඇති බලපෑම ඉතා ඉහළය. ආනයනය කරන ගල් අගුරු පිළිබඳ අවධානය යොමු කිරීමේදී දැනට ගෙන්වන දකුණු අප්‍රිකාණු ගල් අගුරුවල 25% ටත් වඩා වැඩියෙන් ඇත්තේ පහසුවෙන්ම වාතය හා මුසුවන ගල් අගුරු
කුඩුය. කිසිසේත්ම මෙය ප්‍රමිතියෙන් යුතු ගල් අගුරු ලෙස නම් කළ නොහැකිය.
නොරොච්චෝලේ බලාගාරය සඳහා ගෙන්විය හැකි ප්‍රමිතියෙන් යුතු ගල් අගුරු සම්බන්ධයෙන් වාර්තා සකස්කර තිබුණද ඒ කිසිවක් ප්‍රමිතියකට
අනුව සිදුනොවේ. ඒහේතුවෙන් පීඩා විඳීමට සිදුව ඇත්තේ ප්‍රදේශයේ ජනතාවටය. එමෙන්ම සාගර ජීවීන්ටද මේ හරහා බලපෑමක් වී ඇති බව
බලාගාරය ආශ්‍රිත සාගරය නිරීක්ෂණය කිරීමේදී මනාව අවබෝධ වේ.
ගල් අගුරු කුඩු සුළගින් ගමන් කිරීම වැළැක්වීම සඳහා සුළං බාධක සවිකිරීමට ලක්විජය බලාගාරය යෝජනා කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 720 ක් වැය කිරීමටද ඔවුන් සැලසුම් සකස්කර ඇති ඇති අතර සුළං බාධකයේ උස
සම්බන්ධයෙන් ඇතිවූ දෝෂයක් හේතුවෙන් එම යෝජනාව මේ වනවිට නවතා දමා ඇත.

01 (7)

ගල් අගුරු ගොඩගසා ඇති කඳු මීටර් 16 ටත් වඩා උස යනවිට සුළං බාධක ඊට වඩා අඩු වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද විශේෂඥයන් පෙන්වා දී ඇති බවද කරුණු සොයාබැලීමේදී අනාවරණය විය. ගල් අගුරු කඳු සහ අළුකඳු හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය අවට ජනතාව දැඩි දුෂ්කරතාවන්ට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද ආණ්ඩුවේ නායකයන්ට කරුණු දැනුවත් කර තිබුණද මෙතෙක් කිසිදු පියවරක්
ගැනීමට අවධානය යොමුවී නොමැත. රටට විදුලිය සපයන මුලස්ථානයක් වුවද
නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිතව සිදුවන පරිසර දුෂණය ඊටත් වඩා ඉහළය. බලාගාරයේ ආශ්‍රිතව සිදුවන තවත් අංශ කිහිපයක් පිළිබඳවම අවධානය යොමුකළ යුතු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි ලිපි මගින්ද සාකච්ඡා
කිරීමට අපි බලාපොරොත්තු වෙමු.