පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමට ඇත්තේ දින කිහිපයක් පමණී. වෙනස්කම් කිහිපයක් නිසා මෙවර පලාත් පාලන මැතිවරණය සුවිශේෂත්වයක් උසුළයි. ඒ අතර නව මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමත් වෙන කවරදාකවත් නොවුණු පරිදි 25% ක කාන්තා නියෝජනයක් ස්ථීර කර තිබීමත් එම සුවිශේෂීතාවන් ලෙස හඳුනාගත හැක.

මෙවර මැතිවරණය පැවැත්වෙනුයේ ස්වාධීන මැතිවරණ කොමිසමක් හරහා ය. මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට පෙර සිටම මැතිවරණ කොමිසම මගින් ප්‍රචාරක කටයුතුවලට අදාළව වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබීය. ඒ අතර ඡන්ද ප්‍රචාරක පෝස්ටර් හා කටවුට් ප්‍රදර්ශනය නොකිරීම, ආගමික ස්ථානවල ජන්ද ප්‍රචාරක කටයුතු සිදු නොකිරීම, මාධ්‍ය හා සමාජ මාධ්‍ය වලින් සිදුකරන ප්‍රචාරක කටයුතු ආදිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් රෙගුලාසි පනවනු ලැබීය.

සදාචාරවත් ඡන්ද ක්‍රමයක් සඳහා මෙම පියවරයන් අනුගමනය කිරීම සුදුසු බව අමුතුවෙන් කිවයුතු නොවේ. විශේෂයෙන්ම බටහිර රටවල්වල මැතිවරණයක් පැවැත්වෙනවා යනු අපේ රටවල මෙන් මහත් ඝෝෂාකාරී වූ දෙයක් නොවෙයි. එම රටවල් වල සමාජයට ගැළපෙන අන්දමින් සුදුසු ප්‍රචාරක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මහජනතාවට හිසරදයක් නොවන පරිදි මැතිවරණ මෙහෙයවීම සිදු වේ. එහෙත් ආසියානු රටවල තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්ය. උපරිම ධනය සහ සම්පත් වැය කරමින් කෙසේ හෝ මහජනතාවගේ ඡන්දය ලබා ගැනීමට දේශපාලනඥයෝ වෙර වීරිය දරති. ලංකාවේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන සමානුපාතික මැතිවරණ ක්‍රමය තුළද ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රචාරණ කටයුතු උපයෝගී කර ගැනීමට සිදුවිය.

නව මැතිවරණ ක්‍රමය යටතේ බොහෝ විට ඉලක්ක ගත වන්නේ කොට්ඨාස ක්‍රමයයි. කොට්ඨාශ ක්‍රමය තුළ කොට්ඨාශයේ සීමාව ඇතුළත ජන්ද ප්‍රචාරක කටයුතු කිරීමට සිදුවන නිසා එය එක්තරා දුරකට සමානුපාතික මැතිවරණ ක්‍රමයට වඩා පහසුවක් සේ සැලකිය හැකිය.කෙසේ නමුත් නව මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පනවන ලද රෙගුලාසි යහපත් වුවද ඒවා වත්මන් සමාජ ක්‍රමය තුළ ආදේශ කිරීමට යාමේදී යම් යම් ගැටලූ පැන නැගී ඇති ආකාරයක් දක්නට ලැබේ. ජාති හා සංස්කෘතිකමය වශයෙන් ගත් කළ මෙම සීමාකිරීම් ප්‍රශ්නකාරී වී ඇති අන්දම අප යාපනයේ සිදු කළ සංචාරයකදී අපට අවබෝධ විය.


යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට කාන්තාවෝ විශාල පිරිසක් ඉදිරිපත් වී සිටිති. යාපනය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 17කි. මැතිවරණ කොට්ඨාශ ගණන 11 කි. ග්‍රාම නිලධාරී වසම් 435කි. එම මැතිවරණ කොට්ඨාශ 11 සඳහා ඉදිරිපත් වී සිටින සභිකයින් සංඛ්‍යාව 3000 කට අධික ය. ඉන් කාන්තා සභිකයින් සංඛ්‍යාව 750ක් පමණ වේ.

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන්ට මෙන්ම ඡන්දය භාවිතා කරන මහජනතාවට ද මෙම මැතිවරණ ක්‍රමය අලූත් එකකි. ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී මෙන්ම ජන්දය ප්‍රකාශ කිරීමේ දී ද එම නුපුරුදු බවක් දැනීම ස්වභාවිකය. විශේෂයෙන්ම කාන්තා අපේක්ෂිකාවන් සම්බන්ධයෙන් ගතහොත් නව මුහුණු ගණනාවක්ම මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටී. ඡන්ද ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පනවන ලද රෙගුලාසි නිසා නවක මුහුණු වලට ජනතාව අතරට යාමේ අපහසුකම් ඇති වී තිඛෙන බවට අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ පැත්තෙන් මැසිවිලි නැගෙයි. ඡන්ද දායකයන්ගේ පැත්තෙන් ප්‍රකාශ වන්නේ මෙවර ඡන්දයට ඉදිරිපත් වන්නේ කවුදැයි කියාවත් නොදන්නා බවය.

මෙය උතුරට සහ දකුණට පොදු තත්ත්වයක් වුවත් සමාජමය හා සංස්කෘතිකමය වශයෙන් වෙනස් උතුරේ යාපනය වැනි දිස්ත්‍රික්කයක ඡන්ද අපේක්ෂක අපේක්ෂිකාවන් සම්බන්ධයෙන් මේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වන අන්දම බව කිව යුතුය. කාන්තා අපේක්ෂිකාවන් අරභයා මේ තත්වය තරමක් සංකීර්ණ ස්වභාවයක් ගනී.

ඡන්දය ඉල්ලීම මෙන්ම ප්‍රකාශ කිරීමද අයිතියකි. ජන්දය ඉල්ලන්නා ට ජනතාව අතරට යාමට සිය මතවාද හා අදහස් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති අතර ජනතාවටද තමන් ඡන්දය භාවිතා කරන්නේ කවුරුන්ටද කුමන ආකාරයේ පුද්ගලයින්ට ද යන්න අවබෝධ කරගැනීමට දැනගැනීමට ඉඩකඩ තිබිය යුතුය. මන්ද ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයක් සාර්ථක වන්නේ මෙම සන්නිවේදනය නිසියාකාරව සිදු වුවහොත් පමණි.

යාපනය යනු කුල වාදය තදබල ලෙස මුල් ඇදගත් ප්‍රදේශයකි. කුලවාදය යන්න බාහිරව පෙනෙන තරමටම බරපතල ය. දකුණේ කුලවාදය කි්‍රයාත්මක වන්නේ වඩා විවෘතව නොවන නමුත් උතුරේ එය විවෘතව තදබල ලෙස කි්‍රයාත්මක වන ආකාරයක් දක්නට ලැබේ. ඡන්ද ප්‍රචාරක පෝස්ටර් කටවුට් හරහා ජනතාව අතරට යාමට නොහැකි වූ වාතාවරණයක් තුළ අපේක්ෂකයන්ට සිදු වන්නේ ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදු කිරීමටයි. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂිකාවක අප වෙත සඳහන් කළේ සමහර අපේක්ෂකයින්ට මෙන්ම අපේක්ෂිකාවන්ට නිවෙස් වලට යාමේදී චකිතයක් මතු වන බවත් කාන්තාවක් වීම මෙන්ම කුල ප්‍රශ්නයද ඒ සඳහා බලපානු ලබන බවත්ය. ඇතැම් කුලවාදී පවුල් පහල කුලයන්ගෙන් පැමිණෙන අපේක්ෂකයින් පිළිනොගැනීම මීට එක් හේතුවකි. තවද දමිළ සංස්කෘතියේ කාන්තාවන් නියෝජනය වන ස්ථානය අනුව ද ඡන්ද ව්‍යාපාර කටයුතුවලදී සංස්කෘතිය පිළිබඳව කිහිප වරක් සිතා බලා කටයුතු කරන්නට කාන්තා අපේක්ෂිකාවන් ට සිදු වේ. යාපනයේ විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශ ගතහොත් අන්තර්ජාල පහසුකම කොහෙත් ම නැත. එම නිසා සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරක කටයුතු සිදු කිරීමද උගහටය. මෙවන් වාතාවරණයක් හමුවේ සිය අපේක්ෂකත්වය පිළිබඳ ව මහජනතාවට දැනුම් දීමේ යාන්ත්‍රණයක් ජන්ද අපේක්ෂකයින්ට මෙන්ම අපේක්ෂිකාවන්ටද නොමැත. යාපනයේ අපේක‍ෂකයින්ට මෙන්ම අපේක්ෂිකාවන්ටත් මේ නිසා සිදුව තිඛෙන්නේ අසාධාරණයකි.

විශේෂයෙන්ම මෙවර මැතිවරණයේදී අපේක්ෂකයින්ටත් වඩා අපේක්ෂිකාවන් හට ප්‍රචාරක කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය මූලික වේ. ඒ අනුව ප්‍රචාරක කටයුතු සඳහා ඔවුනට වඩාත් ම සුදුසු ක්‍රමයක් වන්නේ පෝස්ටර් ය.

˜පෝස්ටර් තිබුණා නම් අපිට ගෙයින් ගෙට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පෝස්ටරයක් ඕනම කෙනෙකුට පේනවා. අපේ පෝස්ටරයක් ඇලෙව්වහම අපි ගැන දැනගන්න පුළුවන්කම ලැඛෙනවා. යම් ප්‍රමාණයකට හරි පෝස්ටර් ගහන්න ඉඩ දුන්නා නම් හොඳයි˜

යාපනයෙන් මෙවර ඡන්දයට ඉදිරිපත් ව සිටින අපේක්ෂිකාවක අප සමඟ එලෙස පැවසුවාය.

තවද ආගමික ස්ථානවල සහ ඒ ආසන්නයේ ඡන්ද රැස්වීම් පැවැත්වීම තහනම් බවට නීතියක් පවතී. එම නීතිය විවේචනය කිරීම අපගේ අදහස නොවේ. එහෙත් අදාළ නීතිය හේතුවෙන් යාපනය වැනි දිස්ත්‍රික්කයක ජන්ද රැස්වීම් පැවැත්වීමට සහ මයික්‍රෆෝන භාවිත කිරීමට ඇත්තේ අඩු ඉඩකඩකි. මන්ද හින්දු කොවිල් කිහිපයක් සමීපව පිහිටි තැන් බොහෝය. උදාහරණයක් ලෙස නල්ලුර් මැතිවරණ කොට්ඨාශය ගතහොත් නල්ලුර් කෝවිල සහ තවත් කෝවිල් කිහිපයක් එක ළඟ පිහිටා තිබේ. මේ නිසා ඡන්ද රැස්වීම් පැවැත්වීමේ දී සහ මයික්‍රෆෝන භාවිත කිරීමේදී බොහෝ විට සීමා කිරීම් පනවා ගන්නට සිදුව තිබේ. මේ නිසා එවැනි ප්‍ර්‍රදේශවල අපේක්ෂකයින්ට සහ අපේක්ෂිකාවන්ට ඡන්දය ඉල්ලීමේ දී අසාධාරණයක් සිදුව නැතැයි කිවහොත් එය අසත්‍යයකි. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළ පරිදි ඡන්දය ලෞකික දෙයක් වන නිසා ආගමික කටයුතුවලදී එය බාධාවක් නොවිය යුතුය.

යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ටී. අකිලන් මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ ආගමික ස්ථාන ආසන්නයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට අපහසු වීම සම්බන්ධයෙන් නිරන්තරව පැමි‚ලි ලැඛෙන බවත් නමුත් එය නීතියක් වන හෙයින් එම නීතිය ක්‍රියාත්මක කිරීම තමන්ට සිදුවන බවය. පෝස්ටර් ඇලවීම තහනම් කළ ද යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල පෝස්ටර් දැකගත හැකි විය. අකිලන් මහතා සඳහන් කළේ පෝස්ටර් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන බවයි. එක් පක්ෂයක් විසින් පෝස්ටර් අලවා ඇති අවස්ථාවක තවත් පක්ෂයක් ඒ සම්බන්ධයෙන් පැමි‚ලි සිදු කරන බවත් ඒ අනුව වහාම ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. අපේක්ෂකයින්ට ප්‍රචාරණ කටයුතු සඳහා තිඛෙන අඩු අවස්ථාව පිළිබඳව කළ විමසීමේදී අකිල මහතා සඳහන් කළේ තමන්ගේ ද පෞද්ගලික අදහස වන්නේ ලංකාව වැනි රටක ඡන්ද අපේක්ෂකයින් පිළිබඳව ජනතාව දැනුවත් වීමට තිඛෙන අවස්ථාව ප්‍රමාණවත් නොමැති බවයි.