මෙවර පළාත් පාලන මැතිවරණය අංශ ගණනාවකින් සුවිශේෂි එකක් වන්නේය.

පළමු වැන්න නම් මෙතෙක් පැවැති සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට කොට්ඨාශ හා සමානුපාතික යන ක්‍රම දෙකේ මිශ්‍රනයක් ලෙස මැතිවරණය ක්‍රියාත්මක වීමය.

දෙවැන්න නම් නව සීමා නිර්ණය යටතේ මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 සිට 341 දක්වා ඉහළ යෑමය.ඒ අලුතින් එක්වන පොළොන්නරුව මහ නගර සභාව හා මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි.

තෙවැන්න පළාත් පාලන අයතන වල මෙතෙක් නියෝජනයවූ සභික සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යෑමය.

සිව්වැන්න නම් සෑම පළාත් පාලන ආයතනයකම 25 % ක අනිවාර්යය කාන්තා නියෝජනයක් තිබිය යුතු බවට යෝජනා වී තිබීමය.මේ අනුව එළඹෙන පෙබරවාරී මස 10 දින මැතිවරණය පැවැත් වීමෙන් පසු අවම වශයෙන් 1986 ක කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතන තුළ දක්නට ලැබෙනු ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

මැතිවරණ වියදම

නව සීමා නිර්නයත් සමඟ හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය තුළ මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යාමට නියමිතය අතර එය සභිකයින් 3870 කගේ වැඩිවීමකි.පළමු වතාවට සියලු පළාත් පාලන ආයතන වලට අදාළව මැතිවරණය මෙවර පළමු වතාවට පවත්වන බව කියන මැතිවරණ කොමිසන් සභාව ඒ වෙනුවෙන් රුපියල් කෝටි 350 ක් වැය වෙතැයි අපේක්ෂා කරයි.සමානුපාතික ක්‍රමය යටතේ මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන 335 සඳහා පත්ව සිටි සභිකයින් 4486 දෙනාගේ වැටුප් හා දීමනා වෙනුවෙන් රජය මාසයකට වැයකළ මුදල රුපියල් කෝටි 72 කි.වැඩිවන 3870 ක් වන නව සභික සංඛ්‍යාව වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 84 ක් වැය කළ යුතුව තිබෙන බව පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.මේ අකාර අති විශාල මුදලක් වැය කරමින් පළාත් සභා පවත්වා ගෙන යායුතුද යන ප්‍රශ්නය අද ජනතාව තුළ පැන නැගී ඇත්තේ අපේක්ෂක පිරිස අතර මහජන මුදල් අවභාවිතය, මිනිමැරුම් ,මුදල් වංචා ,ස්ත්‍රී දූෂණ ,නීතී විරෝධී මත්පැන් ජාවාරම ඇතුළු විවිධ චෝදනා වන්ට ලක්වූවන් හැටකට ආසන්න පිරිසක් සිටින බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් පෙන්වා දීම තුළිනි.

කාන්තා නියෝජනය

කොට්ඨාශයට වග කියන මහජන නියෝජතයකු පත් කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව කලක පටන් සමජ කතිකාවක් පැවතිණි.1977 වසරේ හඳුන්වා දුන් දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් මනාප ක්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක්‍රමය කරළියට පැමිණිදා පටන් ජනතාව මෙම මැසිවිල්ල නැගූ අතර දශක තුනකට පසු ජනතාවට යළිත් කොට්ඨාශයට වග කියන මහජන නියෝජිතයෙකු පත් කර ගැනීමේ අවස්ථාව මෙවර උදාවී තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.දේශපාලනය තුළ කාන්තා නියෝජනය සම්බන්ධයෙන්ද මෙතෙක් මෙරට පැවැතියේ සතුටු දායක තත්ත්වයක් නොවේය.මේ නිසාම නාත්තාවන් සඳහා අනිවාර්ය නියෝජනයක් ඇති කරළීමට නව මැතිවරණ ක්‍රමය යටතේ ප්‍රතිපාදන සකස්වී තිබේ.කාන්තා නියෝජනය පර්ලිමේන්තුව තුළ 5.8 % ක පමණද පළාත් සභාව තුළ 4% ක් පමණද පවතින නමුත් ප්‍රාදේශීය සභාවට එනවිට එය 1.9 % ක අගයක් දක්වා පහත බැස තිබිණි.මෙම පසුබිම තුළ පසුගිය කාලය තුළ මෙරට පළාත් පාලන අයතන 335 ක් නියෝජනය කළ සභිකයින් 4486 දෙනා අතර කන්තාවන් සිටියේ 86 දෙනකු පමණක් බව පළාත් පාලන අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

මහජන වගකීම

සෑම පළාත් පාලන අයතනයනයක් තුළම කාන්තා නියෝජනය ඉහළ යෑමෙන් අල්ලස හා දූෂණය 50 % ක පමණ අගයකින් අඩු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි පෙන්වා දෙන රෝහණ හෙට්ටිආරච්චි මහතා කාන්තා නියෝජනයයේ ධනාත්මක බලපෑමක් බල ප්‍රදේශයට ලබා ගත හැකි වන්නේ ආසන සංවිධායකවරයාගේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමට දායකත්වය දක්වමින් ඔවුන්ට ඇඟ ඇළුම්කම් පාන කාන්තාවන්ට අපේක්ෂත්වය දීමෙන් නොවන බවද අවධාරණය කරයි.දක්ෂ,උගත්,නිර්මාණශීලි හා ප්‍රදේශයේ ජනතා ප්‍රශ්න වලදී පක්ෂ,පාට බේදයෙන් තොරව කටයුතු කරන කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබා දීමෙන් වඩාත් යහපත් ප්‍රතිපල කොට්ඨාශයට ලබාගත හැකි බව ඒ මහතාගේ අදහසයි.පසුගිය මැතිවරණ ගණනාවකදී ජනතාව හැසිරුණු ආකාරය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මහජන නියෝජිතයින් ලෙස පත් කිරීමට නුසුදුසු පුද්ගලයින්ව ජනතාව විසින් තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කර ඇති බවයි.පාර්ලිමේන්තු සභාවාර මාධ්‍යයට නිරාවරණය වීම හේතුවෙන් මෙම තත්ත්වය පිළිබඳව රටේ ජනතාවට අවබෝධයක් ලබා ගැනීමට හැකි වුවත් පළාත් සභා හා ප්‍රාදේශීය සභා වල මන්ත්‍රී හැසිරීම් සම්බන්ධව එතරම් පැහැදිලි අවබෝධයක් ජනතාවට නොමැත.

රටම දකින ජනතා කැමැත්ත

නුසුදුසු පුද්ගලයින් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ට එල්ලවන චෝදනා වලින් බේරීම සඳහා ඉදිරිපත් කළ තර්කය වූයේ ජනතාව ඡන්දය දී ඔවුන් පත් කර ඇති බැවින් වරදක් ඇත්නම් එහි වගකීම ජනතාව බාරගත යුතු බවයි.මනාප ඡන්ද ක්‍රමය යටතේ අපේක්ෂකයින් රැසක් සිටියදී ඇයි එවැනි පුද්ගලයින්ට ඡන්දය පාවිච්චි කළේ කියන කාරනය කාගෙනුත් අසන්නට සිදුවන තත්ත්වයක් නිර්මාණයවී තිබිණි.නව මැතිවරණ ක්‍රමය යටතේ කොට්ඨාශයට එවැනි පුද්ගලයකු ඉදිරිපත් කළ හොත් ඍජුව අදාළ දේශපාලන පක්ෂයට ඇඟිල්ල දිගු කිරීමේ අවකාශ දැන් ජනතාවට තිබේ.එමෙන්ම සොරෙකු,මැරයෙකු,අපරාධකරුවෙකු හෝ මත්පැන් ජාවාරම්කරුවෙකු තමන්ගේ කොට්ඨාශයෙන් ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට පත්කර යැවීමට ජනතාව කටයුතු කළහොත් අදාළ ප්‍රදේශයේ ජනතාව පිළිබඳ තක්සේරුවක් කිරීමේ අවකාශය නව මැතිවරණ ක්‍රමය යටතේ රටටම ලැබෙන බව පැෆරල් සංවිධානය පවසයි.මේ නිසා ජනතාවට තමන් කළ වරද වෙනත් කෙනකු වෙත පවරා අත පිසාදා ගැනීමේ අවකාශයද මෙවර මැතිවරණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අහෝසිවී ගොස් ඇත.

සමාජ මාධ්‍යය

මේ නිසා කොට්ඨාශයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳ නිසි තක්සේවරුවක් කරමින් ඔවුන්ගේ පක්ෂය,පාට,කුලය ආදී කරුණු සැලකිල්ලට නොගෙන ගමට වැඩක් කළ හැක්කේ කාටද යන්න පිළිබඳව අවධානය යොමුකර ඡන්දය භාවිත කිරීම ජනතාවගේ වගකීමකි.ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකුට අපි ඡන්දය ලබා දීමට සූදානම් නොමැති බව ප්‍රධාන පක්ෂ වලට පෙන්වා දීමට ජනතාව මෙවර ඡන්දයේදී උනන්දු වීම යනු ඉදිරියේදී කොට්ඨාශයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න කොට්ඨාශයේ ජනතාව විසින්ම තෝරා ගන්නා තත්ත්වයක් දක්වා වර්ධනය වීමට බලපානු ඇත.සමස්ථායක් ලෙස ගත්කළ මෙවර මැතිවරණයේ ප්‍රචන්ඩ ක්‍රියා තරමක අඩුවීමක් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.සීමිත බල ප්‍රදේශයක් සහිත කොට්ඨාශයක් තුළ පක්ෂ කිහිපයක් තරඟ වදින නිසා මැතිවරණ දූෂණ ක්‍රියා සිදු කිරීමට යම් අසීරුතාවක් පැවැතීමත් ජනතාව දැන් දැන් සමාජ හෝ නීතී විරෝධී ක්‍රියාවන් පිළිබඳව වෙනදාට වඩා අවධියෙන් සිටීමත් සුබදායක නිමිත්තකි.මේ පිළිබඳව ජනතාව අවධියයෙන් සිටින බව සමාජ මාධ්‍යය මගින් පැහැදිලිව පෙනෙන්නට තිබේ.කොට්ඨාශ මට්ටමින් මැතිවරණය පැවැත්වෙන බැවින් කොට්ඨාශය එක ඡන්දයකින් හෝ ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයා මහජන නියෝජිතයෙකු ලෙස තේරී පත්වෙයි.මෙම පසුබිම තුළ මෙවර මැතිවරණයේදී එක් ඡන්දයක් පවා තීරණාත්මක බලවේගයක් වනු ඇති අතර ජනතාව මේ බව තේරුම් ගෙන ඡන්දය පාවිච්චි කිරීමට උනන්දු විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

තීරණාත්මක මැතිවරණය

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඔස්සේ 1933 දී සර්ව ඡන්ද බලය හිමිකර ගත් ශ්‍රීලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යය බව පෙන්වා දෙන පැෆරල් සංවිධානය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන මෙම මැතිවරණය රටක් ලෙස මෙරට ඉදිරි ගමනට අතිශයින් තීරණාත්මක බව පවසයි.ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙන් පසු පවත්වනු ලබන ප්‍රථම මැතිවරණය නිදහස් හා සාධරණ ලෙස පැවැත් වීමට අවශ්‍යය පසුබිම සකස් කිරීම පිණිස දේශපාලන පක්ෂ වලට මෙන්ම අපේක්ෂකියින්ද සුවිශාල වගකීමක් පැවරී තිබේ.එය හඳුනා ගෙන කටයුතු කරන පුද්ගලයින් මහජන ඡන්දයෙන් ඔසවා තබන්නට ජනතාව තීන්දු කරන්නේ නම් ගමේ පුංචි ආණ්ඩුව වඩා වැඩදායි එකක් වනු ඇත.

කොට්ඨාශයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳ නිසි තක්සේවරුවක් කරමින් ඔවුන්ගේ පක්ෂය,පාට,කුලය ආදී කරුණු සැලකිල්ලට නොගෙන ගමට වැඩක් කළ හැක්කේ කාටද යන්න පිළිබඳව අවධානය යොමුකර ඡන්දය භාවිත කිරීම ජනතාවගේ වගකීමකි