යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සමාජය තුළ දැනුමක් නොමැති බව ඉකුත් කාලය පුරා සිදු වූ සාකච්ඡාවලදී දැඩි ලෙස මතු වූ කාරණයකි. රටේ පුරවැසියන්ගේ පූර්ව දැනුමකින් හා අවබෝධයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම යනු ඉතා අසාර්ථක පාලන ව්‍යූහයකට මගපාදන්නක් වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළම පූර්වාදර්ශ කීපයක්ම අපට තිබේ.

දැනට ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ පාලක පක්ෂයේ අවශ්‍යතාවය මත මිසක රටේ පුරවැසියන් අතර විධිමත් කතිකාවක් ඇති කිරීමෙන් නොවේ. එහි ප්‍රතිවිපාක වසර ගණනාවක් පුරා මෙරට ජනතාව අත් විදිමින් සිටිති.
මෙවර ව්‍යවස්ථා යෝජනාවලිය කෙටුම් පත් වීමට ප්‍රථම මහජන අදහස් විමසීම සඳහා රජය මූලික පියවරක් තැබීය. ඒ අනුව නව ව්‍යවස්ථාවක් සඳහා ඇතුළත් විය යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව රට පුරා යමින් මහජන අදහස් 4000 කට අධික ප්‍රමාණයක් ලබා ගත්තේය.

අනු කමිටු හයක් විසින් විෂයන් හයක් සම්බන්ධයෙන් ගත් තීරණ ඇතුළත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාවක් එළි දැක්වුණු අතර ඒ සම්බන්ධ විවාදය පසුගියදා පාර්ලිමේන්තුවේ දී අවසන් විය.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය සැලකිය යුතු දුරක් පැමිණ තිබේ. එහෙත් තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැනුමක් නොමැති ජනතාව අප අතර සිටින බව පිළිගත යුතු ව ඇත. මන්දයත් මහජනතාව සමඟ අප සිදු කල අදහස් විමසීමේ දී ද ඔවුන් වැඩි දෙනකු ව්‍යවස්ථාව පිළිබඳව අවබෝධයක් නොමැති බව පැහැදිලි විය. ජනතා එකඟත්වයකින් තොරව ගෙන එන ව්‍යවස්ථාවක් කිසිදා රටේ අනාගතය යහපත් නොකරනු ඇත. ඵල නෙළිය හැකි වනුයේ සාරවත් පොළවක වැඩුණු ගසකින් පමණි.

ආණ්ඩුව දෙසින් ව්‍යවස්ථා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රචාරණයද ප්‍රමාණවත් නොමැති වීම මීට හේතුවකි.
කෙසේ නමුත් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම නැත. එමනිසා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ගොඩනැංවීමේ අවකාශය තවමත් අප කෙරෙන් ගිලිහී ගොස් නැත.
වඩා වැදගත් වනුයේ නොදැනුවත් ඡනතාව දැනුවත් කිරීමය. නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් අප ඒ පිළිබඳව අදහස් විමසීමක් සිදු කළෙමු. ඔවුන් දැක්වූ අදහස් මෙසේය.

විධායකයේ බලය අඩු කළ යුතුයි

3
අන්ජුල මනම්පේරි
විශ්වවිද්‍යාල තරුණයෙක්

“මොන ව්‍යවස්ථාව ගැනද අහන්නේ? ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව නේද. ඒක ගැන අර්ථකථනයක් දෙන්න පුළුවන් දන්න විදිහට නමුත් ඒකේ අඩංගු දේ ගැන දන්නේ නෑ..ඒකේ ඇතුලේ තියන දේ දන්නේ නැතිව කියන්නේ කොහොමද? නමුත් ඒ ව්‍යවස්ථාවේ අනිවාර්යෙන් නීතිය ඉහළම තැන තියෙන්න ඕන. හැබැයි විධායකයට තියෙන බලය තරමක් අඩු කරල ඒක ව්‍යවස්ථාදායකයට ලබා දෙන්න ඕන.”

ආණ්ඩුවට ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි
Beatrice
බියට්‍රිස් පෙරේරා
විශ්‍රාමික කාන්තාවක්

ව්‍යවස්ථාවක් ගැන නං කතා කරනවා. මට නම් ඒ ගැන හරි දැනුමක් නැහැ. රටට හොඳ දෙයක් වෙනවනං එච්චරයි. හැබැයි ඉතින් කවුරුවත් රටට හොඳක් කළේ නැහැ. මොන විදිහෙ ව්‍යවස්ථාවක් ගෙන ආවත් වැඩක් නැහැ රට පාලනය කරන්න ඉන්න අය හොඳ නැත්තන්. මේ ආණ්ඩුවටත් ේ ව්‍යවස්ථාව වෙනස් කරන එක කරන්න පුළුවන් වෙයිද කියලා හිතන්න අමාරුයි. කකුලෙන් අදින අයත් හුඟ දෙනෙක් ඉන්නවා.
වැඩිය කතා කළොත් ජාතිවාදය ආගම්වාදය අවුස්සනවා කියයි

2
ගිහාන් නදීර ද සිල්වා
පුද්ගලික ආයතනයක සේවකයෙක්

“ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මත විමසුමක් කරා කියලා දන්නවා. හැබැයි මෙතෙක් කල් නම් අපෙන් කවුරුවත් අහලත් නෑ අපි දන්න කෙනෙක්ගෙන්වත් එවැනි කරුණු දැක්වීමක් කළා කියලා ආරංචි වුණේ නැහැ. පවතින රජය ගැන තීරණයක් ගන්න වෙන තීරණාත්මක අවස්ථාවක් මේක. වැඩිදුර මම කතා කරන්නේ නැහැ. කතා කරනවා නම් තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා කතා කරොත් ජාතිවාදය ආගම්වාදය අවුස්සනවා කියල කියන්න පුළුවන්. මිනිස්සු හැම තිස්සෙම බලන්නේ තමන්ගේ බඩට වවාගෙන කන්න. ළඟ බලලා වැඩ කිරීම තුළ රටේ අනාගතයක් හදන්න බැහැ. ”

ව්‍යවස්ථාව පොළොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි

1
එච්. පී. සෑම්
රජයේ සේවකයෙක්

“ඕක මහ කාලකන්නි දේශපාලනඥයන්ගේ මාතෘකාවක් මිසක් පොළොවෙ පය ගහල ඉන්න සාමාන්‍ය මිනිසුන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. ව්‍යවස්ථාවද විසිවෙනි සංශෝධනය ද පළාත් සභා ප්‍රාදේශීය සභා ඡන්දෙද කියන ඒවට වඩා ප්‍රායෝගික ප්‍රශ්න ඕන තරම් රටේ තියෙනවා. අපි වගේ පොඩි රටක් තවත් කෑලිවලට කපලා බලය දෙන එක භයානක නිසා විධායක ජනාධිපති කෙනෙක් ඉන්න ඕනෙ කියන එකයි මගේ අදහස.”

හරියටම මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැDilani

ඩිලානි දනොෂිකා
හෙද නිලධාරිනියක්

ආණ්ඩුක්රම ව්‍යවස්ථාව වෙනස් වෙන එක ගැන කතාබහක් තියෙනවා. ඒත් හරියටම මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. සමහරු කියනවා රට දෙකඩ වෙන්න පුළුවන් කියල. එහෙම ඉඩකඩක් තියෙනවා නම් තියෙන ව්‍යවස්ථාව හොඳයි. අනෙක් පැත්තෙන් තියන ව්‍යවස්ථාවෙත් වැරදි අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒක ගෙනාවෙත් මිනිසුන් ගෙන් අදහස් විමසීමක් නැතුව. ඒකෙ ප්‍රතිවිපාකත් අපි අත්විඳලා තියෙනවා. එනිසා රටේ ආරක්ෂාවයි රටට ගැලපෙන නීතියක් සම්මත වෙනවා නම් හුඟක් හොඳයි

යෝජනාවලියේ ඇතුළාන්තය ගැන පැහැදිලි බවක් නැහැ.

5
කණිෂ්ක වරුණසූරිය
ව්‍යාපාරික තරුණයෙක්

“අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා මේ ආණ්ඩුව ඡන්දෙදි ජනතාවට පොරොන්දු දුන්නා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් විශාල පරිශ්‍රමයක් දැරුවා. එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ ආණ්ඩුවේ වගකීමක්. දැනට ව්‍යවස්ථාව ගෙන ඒමේ ක්‍රියාදාමය ගැන මාධ්‍ය වලින් යම් දැනුවත් වීමක් ලබා ගෙන තියෙනවා. හැබැයි යෝජනාවලියේ ඇතුළාන්තය ගැන තවම පැහැදිලි බවක් නැහැ. ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජනතාව සක්‍රීයව සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඉතා වටිනවා. විධායක ජනාධිපතිධූරය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. බලය බෙදෙනවා නම් රට නොබෙදීම සඳහා ශක්තිමත් ක්‍රමවේදයක් ඇතුලත් වෙන්නත් ඕනේ. මිනිසුන්ගේ අයිතිවාසිකම් තහවුරු වෙන්න ඕනැ.”

යෝජනාවලිය ආවට පස්සෙ යි අපිට ඒ ගැන හිතන්න වෙන්නේ

නිලන්ක්ෂි විශ්වි පෙරේරා
විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්

“ඇත්තටම රටට ව්‍යවස්ථාවක් ඕනේ. දැන් පවතින ව්‍යවස්ථාවක් විශාල වශයෙන් සංශෝධනයට ලක් වූ ව්‍යවස්ථාවක්. අදට ගැලපෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම හොඳයි. මම හිතන්නේ තවමත් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කෙරෙමින් පවතිනවා. ඒ නිසා ඒ තුළ මොනවා අන්තර්ගත වෙයිද කියලා දැන්ම කියන්න බැහැ. විපක්ෂය එහෙම විවිධ කතා කියනවා. නමුත්. පාලන ව්‍යුහයේ යම් වෙනසක් සිද්ධ වෙනවා නම් හොඳයි.”