කතිකාචාර්ය  මංජුල කරුණාරත්න

කතිකාචාර්ය මංජුල කරුණාරත්න

රුහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ කතිකාචාර්ය මංජුල කරුණාරත්න සමග කළ සාකච්ජාවක් ඇසුරින්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ දහ නව වන පරිච්ඡේදයෙහි ඉඩම්, පරිසරය සහ සංවර්ධනය පිළිබඳ මහජන අදහස් හා කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සංග්‍රහ කර තිබේ. මෙහිදී මගේ අවධානය යොමු වන්නේ යෝජිත කරුණු සම්බන්ධව මිස එහි භාවිත තත්වයන් පිළිබඳ ව නොවේ.
සමස්තයක් වශයෙන් තේමාවන් තෝරා ගැනීමේ දී පවා මෙම විෂය කෙරෙහි සංවේදී වෙමින් ප්‍රවේශ වීමක් හඳුනාගත හැකිය. වර්තමානය වනවිට දක්නට ලැබෙන ප්‍රවණතාවය නම් පරිසරය යන්න තාර්කික නොවන රොමෑන්ටිකකරණයට නතු වීම සහ සංවර්ධනය කිසිවකට සංවේදී නොවූ විනාශකාරී අන්තයකට තල්ලු වී යාමයි. මෙම එකිනෙකට පරස්පර වූ අන්තගාමී තත්ත්වයන් සමනය කිරීම කෙරෙහි අවධානය යොමු වීම අතිශය වැදගත් වනු ඇත.

ඉඩම්

ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය 6552500 ha වන අතර මිනිස් – බිම් අනුපාතය 0.36 ha පමණ වෙයි. මෙම සීමිත අවකාශය භාවිත කිරීමේ දී ජනතාව මුහුණදෙන ගැටලු බහුවිධ වන බව ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙන අදහස්වලින් පැහැදිලි ය. ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ වල දී සැලකිල්ලට ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන කරුණු තුනක් පමනක් මෙහිදී අවධානයට ලක් කරමු.

 පාරිසරික සංවේදී ඉඩම් වලට ආරක්ෂාවක් නොමැතිවීම නිසා මිනිසුන් ඇති කළ හා ස්වභාවික ව්‍යසන සිදුවීම්.

 දුප්පතුන්ට හිතවත් හා පරිසර හිතකාමී ප්‍රවේශයකින් කටයුතු නොකරන බලවත් කණ්ඩායම් විසින් අකාර්යක්ෂම හා තිරසාර නොවන ආකාරයට ඉඩම් භාවිතා කිරීම් නිසා පස් සේදී යාම හා හායනය වීම්.

 වනාන්තර හා ආරක්ෂිත ඉඩම් විවිධ ප්‍රජාවන් විසින් බලෙන් අල්ලා ගැනීම් නිසා සිදුවන මිනිස් සත්ව ගැටුම් හා වන විනාශය (181-182 පිටු).

මෙම කරුණු ත්‍රිත්වය ම සමකාලීනව මෙරට ජනතාව සුලභවම පීඩා විඳින ගැටලු ලෙස හඳුනාගත හැක. මෙම ගැටලු ඇතිවීම කෙරෙහි මිනිසාගේ අන්තගාමී සහ තිරසාර නොවන මැදිහත්වීම් හේතු වී ඇති බව පිළිගැනීම වඩාත් ප්‍රශස්ත විසදුම් ප්‍රවේශයක් නිර්මාණය කර ගැනීමට හේතු වනු ඇත.මුලු ඉඩම් වලින් සියයට අසූවක් පමණ රජය විසින් රඳවා තබා ගැනීම සහ ඉඩම් පිළිබඳ ප්‍රජාවට පහසුවෙන් තොරතුරු ලබාගත හැකි දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත්ය.

මීට අමතරව මධ්‍යම කඳුකරයේ භූමි භාවිතය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. ඉහල ජලපෝෂක ප්‍රදේශ වශයෙන් එහි හරිත ආවරණය ඇති කිරීම සහ පවත්වා ගැනීම අතිශය වැදගත් වේ. ඒ සඳහා නව නීති සම්පාදනය සහ රජයට අයත් නොවන වතු සමාගම් වල දැනට ඉතිරිවී ඇති වනාන්තර කොටස් ආරක්ෂා කිරීම සහ වනාන්තරමය ගෙවතු නිර්මානය කිරීම වැනි විකල්ප කෙරෙහි අවධානය යොමුකළ යුතු ය. විශේෂයෙන්ම මධ්‍ය කඳුකරයේ විශාල කොටසක් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම සහ එයට පාදක වු සාධක සැලකිල්ලට ගත යුතුය. ඉහල යන ජන පීඩනය හමුවේ මෙම හදබිම් ප්‍රදේශයේ ආරක්ෂාව මූලික නීතිය මගින් තහවුරු කළ යුතුයි.

පරිසරය

වායු ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය සහ ඒ මත නිර්මාණය වූ ජෛව ගෝලයත් ඒවා අතර පවත්නා වූ අන්තර් ක්‍රියාවන් සහ මානව සබැඳියාව කෙරෙහි මෙම කොටසේ දී අවධානය යොමු කර තිබේ. …ඔවුන් කතා කළේ මිනිසුන්ගේ ජීවිත හා ජීවනෝපායන් සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති පරිසරය හා පරිසර පද්ධතිය ගැනයි ( 182 පිටුව). මෙම දැක්ම පරිසර හිතකාමී සහ තිරසාර පදනමක් සහිත වූවක් බව කිව හැකිය. ප්‍රධාන කොටස් හයක් යටතේ ඉදිරිපත් කර ඇති ක්ෂේත්‍ර අතිශය වැදගත් වන අතර නීති විරෝධි වනජීවී වෙලදාම, ජෛව මංකොල්ලය, පුනර්ජනනීය බලශක්තිය, හරිත ආර්ථික ක්‍රියාමාර්ග හා අවස්ථා නිර්මාණය, සාම්ප්‍රදායික දැනුම භාවිතය හා ජීවන ව්‍යවහාර සහතික කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම කාලෝචිත ය.

සංවර්ධනය

සංවර්ධනය යන්න හඳුනාගැනීම සඳහා නිදසුන් ලෙස ගන්නා අර්ථ දැක්වීම් පූර්වයෙහි සාකච්ඡා කරන ලද පුළුල් දැක්ම යම් ප්‍රමාණයකට අවප්‍රමාණය කර තිබේ. මෙම කථිකාව තුළ පරිසරය යන වදන සාකච්ඡාවට බඳුන් කර නැත. කෙසේ වුවත් වඩා පුළුල් අර්ථයෙන් සංවර්ධනය පිළිබඳ කරුණු දැක්වීම් තුල පරිසරය සම්බන්ධයෙන් අදහස් ද එයට අන්තර්ග්‍රහනය කර ඇතැයි නිගමනය කල හැකි ය.

මේ සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ පවත්නා තත්වය හා අනාගතයේ දී පැවැතිය යුතු තත්ත්වයන් කෙරෙහි ද සුවිශේෂී අවධානය යොමු කරමින් ඉදිරිපත් කර තිබෙන බව පැහැදිලි ය.ඉන් කීපයක් පමණක් මෙහි උපුටා දක්වමු,

 ස්වභාවික සම්පත්, සතුන් හා වෘක්ෂලතා ආදිය භාවිතය පිළිබඳ ව්‍යවස්ථාමය උපදෙස් ලබාදිය යුතුය (186 පිටුව).

 ඉඩම්, පරිසරය හා සංවර්ධනය මූලික අයිතිවාසිකම් පරිච්ජේදයේ ඇතුළත් කළ යුතුය. සතුන් හා වන ජීවින් පරිසරයේ හා පරිසර පද්ධතියේ කොටසක් වන බැවින් පරිසරය පිලිබද මූලික අයිතිවාසිකම් කොටසේ සත්ව අයිතිවාසිකම් හා සුබ සාධනය සම්බන්ධයෙන් ද සැලකිල්ල දැක්විය යුතුය (186 පිටුව).

 සෑම පුද්ගලයෙකුටම රජයේ ආයතන සමඟ සහයෝගීව කටයුතු කිරීමට වගකීමක් ඇති අතර සෑම දෙනාම පාරිසරිකව තිරසර සංවර්ධනයක් හා ස්වභාවික සම්පත් භාවිතය සහතික කරමින් පරිසරය ආරක්ෂා කර සංරක්ෂණය කළ යුතුය (187 පිටුව).

 සංවර්ධනයේ නාමයෙන් ජනතාව සූරා කන හෝ පරිසරයට හානි කරන හෝ පුද්ගලයෙක් හෝ ආයතනයකට විරුද්ධව කටයුතු කිරීමට බලය ඇති රාජ්‍ය නිලධාරීන්ගේ ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවට ප්‍රතිපාදනයක් ඇති කිරීම (187 පිටුව).

කෙසේ වුවද පළාත් පාලන ආයතන වලට ඔවුන්ගේ ප්‍රදේශයේ ඇති සම්පත් ගැන වැඩි බලයක් හා පාලනයක් දිය යුතු යැයි හා සංවර්ධන තීරණය ගැනීමේදී ඔවුන්ගේ අදහස් වලට වැඩි අවධානයක් යොමු කළ යුතුය (62 පිටුව) යන්න බලය බෙදාහැරීම යන පරිච්ඡේදය යටතේ දැක්වෙන නිර්දේශ වල පරිසරය යන කොටසේ විස්තර කොට තිබේ. ඒ යටතේ යෝජිත ජාතික පරිසර කොමිසමට පළාත් පාලන නියෝජිතයන් ඇතුළත් වීම ප්‍රශස්ත ප්‍රවේශයක් වන නමුත් …සැම විෂයකම පරිසර අංශ පිළිබඳ කටයුතු රජයේ අදාල ස්තරයෙන් සිදුවනු ඇත. උදාහරණයක් වශයෙන් නිවාස පළාත් සභා විෂයක් වන අතර එහි පරිසර අංශය පිළිබඳව පළාත් සභාව කටයුතු කරනු ඇත (62 පිටුව). පරිසරය සම්බන්ධයෙන් මෙසේ බලය පැවරීමේ ශ්‍රී ලාංකීය අත්දැකීම් ඛේදනීය වේ. වයඹ පලාත් පරිසර අධිකාරිය ඊට කදිම නිදසුනකි. එය අන්ත දූෂිත ආයතනයක් ලෙස ප්‍රකට වූව කි.

මීට අමතරව පරිසරය සහ සංවර්ධන ක්ෂේත්‍රවල පර්යේෂණ සිදු කිරීම සඳහා දිරිගැන්වීම් සිදු කිරීමත්, පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පාදක කර ගැනීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමත් මෙම යෝජනා අතරට එක් විය යුතුය. මෙම ලියවිල්ල තුළ ඇතුළත් ඇතැම් අර්ථ දැක්වීම්, වචන සහ යෙදීම් වඩාත් සුපරික්ෂාකාරී ලෙස යොදාගෙන තිබුණේ නම් මෙහි වටිනාකම තවත් ඉස්මතු වනු ඇත. මෙම ලියවිල්ලෙහි අවස්ථා කීපයකම කාන්තාවන්ගේ අයිතිවාසිකම් කෙරෙහි අවධානය යොමුකර ඇතත් පරිසර ක්ෂේත්‍රයේදී ඇගේ දායකත්වය සහ විභවතාවය හඳුනා නොගැනීම සහ ඉස්මතු නොකිරීම පරිසරය, සංවර්ධනය සහ කාන්තාව අතර තිබෙන සබඳතාව පිළිබඳ ගෝලීය කතිකාව බැහැර කොට හැරීමකි.

කෙසේ වුවත් සමස්තයක් වශයෙන් ඉඩම්, පරිසරය සහ සංවර්ධනය සම්බන්ධ මහජන අදහස් සහ කමිටු නිර්දේශ වඩා යහපත් අනාගතයක් සඳහා හේතු වෙතැයි අපේක්ෂා කළ හැකිය. වඩා අසීරු අභියෝගය වන්නේ යහපත් ව‍්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සහ එය ප්‍රායෝගික කිරීම වෙනුවෙන් සවිඥානික සහ වගකීම් සහගත ශ්‍රී ලාංකික පුරවැසියකු නිර්මාණය කිරීමයි.