ශ්‍රී ලාංකීය මහ ජනතාවගේ අභිලාසයන් හා අවශ්‍යතා පිළිබිඹු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන්නේ නම් අද වන විට පාර්ලිමේන්තුවේ හා විද්වතුන් පිරිසක් අතර බෙහෙවින් කතාකරන මාතෘකාවක් පමණට සිමා කර තිබෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ මහජනතාව ද මෙයට වඩා දැනුවත්කර ඔවුන්ගේ අදහස් ද ලබාගතයුතු බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව ප්‍රකාශ කර සිටිති.

දකුණු ලක හම්බන්තොට ,මාතර ගාල්ල දිස්ත්‍රික්ක යන්හි ජනතාව ගේ අදහස් විමසු කල්හි ද පෙනී යන්නේ එවැනිම වූ අදහසකි.

රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔවුන් තුල විවිධ අදහස් ඇතත් එම මහජනතාව නිසි අයුරින් දැනුවත් නොමැති නිසා රටේ මහජනතාව ලෙස ඔවුන් හට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සදහා අවකාශය නොලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටම දක්වා ජනතාව දැනුවත් කර ඒ සම්බන්ධයෙන් නව අදහස් ලබා ගැනීම සිදු කරන්නේ නම් ජනතාවගේ අභිලාසයන් හා අවශ්‍යතා පිළිබිඹු වන ව්‍යවස්ථාවක් තැනිය හැකි බවයි ඔවුන් කියා සිටින්නේ . එමෙන්ම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහ ජනතාව ලෙස එතරම් දැනුවත් වීමක් නොමැති බවද ඔවුහු කියා සිටිති.

ශෂී එදිරිසූරිය

ශෂී එදිරිසූරිය


“ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සඳහා ඒ සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමට පෙර නිසි දැනුවත් කිරීමක් නොකළ නිසා ඒ සඳහා මහජනතාවගේ මෙන්ම ගොවීන්ගේ නිසි මැදිහත්වීමක් සිදු නොවුන බවත් එමෙන්ම එවැනි ක්‍රියාවලිකට පෙර මහජනතාව මැනවින් දැනුවත් කළ යුතු බවත් අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් ශෂී එදිරිසූරිය මහතා පවසා සිටි.”

“ඇත්තෙන්ම කියනවානම් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් සිදුවන බව අපි දැන ගෙන හිටියේ නෑ පස්සේ මාධ්‍ය මගින් දැකලා තමයි අපි යම් තරමකට ඒ ගැන දැන ගත්තේ නමුත් අපටත් අදහස් දක්වන්න අවස්ථාවක් ලැබුණා නම් ගොවි ජනතාව ලෙස පරිසර සංරක්ෂණය සදහා දැඩි නීති පනවන්න ඕන කියන යෝජනාව අපි කරනවා , මොකද අද වන විට සිදු කරන මේ මහා වන විනාශය නිසා ඉදිරියේ දී ජල මුලාශ්‍ර හිඳිලා ගොවි බිම් පාලුවෙන්න පටන් ගනීවි. ”

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් හෙයකින් මහ ජනතාව ග්‍රාමීය මට්ටමේ සිට නිසි දැනුවත් කිරීමක් සිදු කළේ නම් මිට වඩා සාර්ථක මහජනතාවගේ ද අභිලාසයන් ඉටුවන සංශෝධනයක් සිදු කිරීමට හැකි වුවත් අද වන විට බෙහෙවින් දක්නට ඇත්තේ යම් යම් දේශපාලන පක්ෂ කීපයක අදහස් මුල් බැස ගනිමින් සිදු වෙමින් පවතින ව්‍යවස්ථා සංශෝධනයක් බවයි ඔහු කියා සිටින්නේ.

ඇත්තෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනාව අපි දන්නේ නෑ මොනවද වෙන්නේ කියල ,කවුරුවත් අපිව ඒ සම්බන්ධයෙන් නිසි අයුරින් දැනුවත් කරලා නැති බව අසේල ඩි ගමගේ මහතා ප්‍රකාශ කර සිටි.

අසේල ඩි ගමගේ

අසේල ඩි ගමගේ

ඇත්තෙන්ම අපිව නිසි අයුරින් මුලින් දැනුවත් කළා නම් අපේ ප්‍රශ්න ගැන කතා කරන මහජනතාවට සෙත සැලසෙන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට හැකි බවයි ඔහු කියා සිටින්නේ .නමුත් ඒ දේ සිදු වුනේ නෑ .”මම කියන්නේ සෑම ජන කොටසකම මිනිස්සු නිසි අයුරින් දැනුවත් කරලා ඒ ඒ ප්‍රදේශ මගින් මහජන අදහස් ලබා ගත යුතු බවයි.”

ඊ .ඩි ,ප්‍රේමදාස මහ

ඊ .ඩි ,ප්‍රේමදාස


“ඇත්තෙන්ම අපි මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන මුලින් දැනුවත් උනේ නෑ කොහොම උනත් . ව්‍යවස්ථා සංශෝධනයක් ලංකාවට අවශ්‍ය නැ මේ නව ව්‍යවස්ථාවක් ගේන්න හදන්නේ බෙදුම්වාදීන් සතුටු කරන්න මිස වෙන දෙයකට නොවෙයි . දැන් තියෙන්නේ සමගියෙන් ජීවත්විය හැකි ව්‍යවස්ථාවක්. කොටසක් සතුටු කරන්න හදන ව්‍යවස්ථාවකට වඩා මේ තියෙන ව්‍යවස්ථාව හොඳ බව ඊ .ඩි ,ප්‍රේමදාස මහතා කියා සිටියේය. ”

දමිත් චාමින්ද දිසානායක

දමිත් චාමින්ද දිසානායක


“ව්‍යවස්ථා සංශෝධනය ගැන කවුරුවත් අපිව දැනුවත් කරලා නෑ ඒක නිසා ඒ ගැන අපි හරියට දන්නේ නෑ” ,මුලින් ගම් මට්ටමින් දැනුවත් කලානම් අපිට ඒ සදහා අදහස් දක්වන්න තිබුන බව දමිත් චාමින්ද දිසානායක මහතා කියා සිටියේය.

සේපාල

සේපාල

“මේක මිනිස්සු රවට්ටන්න හදන වැඩක් එහෙම ව්‍යවස්ථා සංශෝධනයක් කරනවානම් ග්‍රමා නිලධාරින් දැනුවත් කරලා අඩු ගානේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හරි අදහස් ගන්න තිබුණා ,ඇත්තෙන්ම අපි ඒ ගැන හරියට දැනුවත් උනේ නෑ . නව ව්‍යවස්ථා සංශෝධනයක් කරනවානම් ඒක ජනතා සුභසිද්ධිය කෙරෙහි දැඩි අවධානයක් ලබා දිය හැකි එකක් වෙන්න ඕන .නැතුව මැති ඇමති වරුන්ගේ සුබසිද්ධිය තකා වෙන ,එකක් නම් එකෙන් වැඩක් නැති බව සේපාල මහතා කියා සිටි.”

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඊට යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට අවකාශය ලබා දි ඇති මුත් මින් පෙනීයන්නේ එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටේ මහජනතාව ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට මත්තෙන් පුර්ව නිසි දුනුවත් වීමක් වී නොමැති බවය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී මහජනතාව නිසි අයුරින් දැනුවත්කර තිබුනේ නම් යෝජනා ඉදිරිපත් කිරීමේ දී මිට වඩා වැඩි දායකත්වයක් මහජනතාව තුලින් සිදුවන්නට තිබුණි.