නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට පවතින්නේ තීරණාත්මක අවස්ථාවකය.මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේදී දින පහක් විවාදයට ගැනීමෙන් පසු දැන් සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය දෙසටය.එසේ වුත් මැතිවරණ උණුසුමත් සමඟ නව ව්‍යවස්ථාව සම්බන්ධ කතා බහ ඉදිරියේදී තවත් වැඩි වීමට පැහැදිලි ඉඩක් තිබේ.ඒ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි මැතිවරණයේදී නව ව්‍යවස්ථාවක් රටට මේ මොහොතේ අනවශ්‍යය බවත් ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවයට හා බෞද්ධාගමට තර්ජනයක් මතුවන බවත් මතුකර පෙන්වා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට සූදානම් වන බවක් පෙනෙන්නට තිබීම නිසාය.මෙම පසුබිම තුළ ඉදිරි මැතිවරණයේ ප්‍රතිපලය නව ව්‍යවස්ථාවක් රටට ගෙන ඒමට ජනතාව කැමැතිද නොඑසේනම් අකමැතිද යන කරුණ පිළිබඳ ජනමතය උරාගා බැලීමක් බවට පත් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.ශ්‍රී ලංකීය දේශපලනයේ හැසිරීම පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය වචනාර්ථයේ දැක්වෙන පරිදිම බෙදී සිටීමය.ආණ්ඩුව ගෙනෙන සෑම යෝජනාවකම වැරදි දකිමින් ඊට විරුද්ධ වීම දශක කිහිපයක පටන් විපක්ෂයේ විලාසිතවක් බවට පත්ව තිබේ.අද නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම මේ වනවිට ඉටු කරමින් සිටින්නේ එම සම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරයයි.පාර්ලිමේන්තුව තුළ විවාදයන් හිදී කතා කරන දේට හාත්පසින්ම වෙනස් දෙයක් පොදු ජනතාව අතරට ගොස් කතා කරන මොවුන්ගේ මූලික අරමුණ කෙසේ හෝ ගිලිහී ගිය බලය යළි ලබා ගැනීමය.තමන් ජනපති ධූරය හොබවත්දී බලය බෙදීම පිළිබඳ සංකල්ප ඉදිරිපත් කරමින් දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයෙන්ද සිදුකෙරුණු බලය බෙදීමට එහා ගොස් තර්ටීන් ප්ලස් ලබා දීමට මනාපවූ මහින්ද අද බලය බෙදීමට විරුද්ධ වන්නේ තම දේශපාලන වාසිය සඳහා මිස වෙනත් කාරණයක් නිසා නොවන්නේය.මහ සංඝරත්නය නියෝජනය කරන සුළුතර භික්ෂූන් වහන්සේ කණ්ඩායමක්ද ව්‍යවස්ථාවට එරෙහිව හඬ නගමින් සිටින අතර උන්වහන්සේලා බලය බෙදනවාට වඩා කම්පා වන්නේ මහින්දට බලය අහිමි වීම පිළිබඳවය.

ව්‍යවස්ථාවට එරෙහිව හඬ නඟන භික්ෂූන් වහන්සේලා බහුතරයකට දේශපාලන කියවීමක් නොමැත.උන්වහන්සේලා ව්‍යවස්ථාවේ අන්තර්ගතය හෝ නොදැන පෙරට පැමිණ ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ ඊට මහින්ද විරුද්ධ නිසාය.එදා මහින්ද ජනපති ලෙස සයිටම් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවත්දී නිහඬ පිළිවෙතක් අනුගමනය කළ භික්ෂූන් වහන්සේ දැන් විරුද්ධ වන්නේ මහින්ද දැන් සයිටම් විරෝධියෙකු නිසා මිස වෙනකක් නිසා නොවන්නේය.ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද කිව යුතුව තිබෙන්නේ එයමය.මහින්ද කැමැති නම් මෙම භික්ෂූන් වහන්සේලාද නව ව්‍යවස්ථාවකට කැමැතිය. පළාත් සභාවල මහ ඇමැතිවරු ඇතුළු මහජන නියෝජිතයින් අති බහුතරයක් තමන්ට බලය තවත් අවශ්‍යය බව එක හෙළා පවසති.දකුණේ මහ ඇමැතිවරු බලය ඉල්ලත්දී රට කොටස් වලට කැඩෙතැයි නොහිතන පිරිස් උතුරේ මහ ඇමැති බලය ඉල්ලත්දී වෙනත් කෝණයකින් බලන්නේ ඇයිද යන්න අප ගැඹුරින් කල්පනා කළ යුතු තත්ත්වයකි.මාධ්‍යය වලින් පෙන්වන ආකාරයේ ව්‍යවස්ථා විරෝධයක් රටේ නොමැත.මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මතය සමාජගත කළ යුතු යැයි සිතා වැඩකරන මාධ්‍යය ආයතන කිහිපයක් අද රටේ පවතී.පසුගිය සමයේ නොයෙක් වරප්‍රසාද හමුවේ මාධ්‍යය වගකීම අමතක කර දමා ආණ්ඩුව රකින්නට ගිය මාධ්‍යය අද ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක පිහිටා කටයුතු කරන බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත.ඒ ආණ්ඩු විරෝධය ව්‍යවස්ථාව පිටින්ද දැන් ගමන් කරමින් තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස මාධ්‍යය ව්‍යවස්ථා විරෝධී ප්‍රවෘත්ති වැඩිපුර ප්‍රචාරය කරන්නට උත්සහ කරන බව පැහැදිලිව පෙනෙන සත්‍යයකි.

විධායක ජනපති ධූරය මෙරටට හඳුන්වා දෙමින් ජේ.ආර් ජයවර්ධන පාලනය විසින් වත්මන් ව්‍යවස්ථාව බිහිකර මේවන විට වසර 40 කට ආසන්න කාලයක් ගතව තිබේ.මෙම කාලය තුළ ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට සංශෝධන 20 ක් එක්කර තිබේ.වත්මන් ව්‍යවස්ථාව ඇති කළ දා පටන් එය බහුභූත ව්‍යවස්ථාවක් ලෙසින් හඳුන්වා දුන් ශ්‍රීලනිපය ප්‍රමුඛ මෙරට අති බහුතර පක්ෂ හා කණ්ඩායම් එය වෙනස් කරන තුරු දෑගිලි ගනිමින් බලා සිටියහ.මිනිහෙකු ගැහැණීයක කිරීමත් ගැහැණියක මිනිහෙකු කිරීමත් හැර වෙනත් ඕනෑම දෙයක් කරන්නට සමත් බලයක් මෙම ව්‍යවස්ථාව යටතේ විධායක ජනපතියරයාට හිමිවන බව පැවසුවේ ව්‍යවස්ථා ප්‍රාඥයින්ය.මහින්ද 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තවත් බලතල ශක්තිමත් කරගත් බව අපි කවුරුත් දන්නෙමු.වත්මන් ආණ්ඩුව බලයට පැමිණ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනපතිධූරයේ බලතල යම් ප්‍රමාණයකට කප්පාදු කළද ජනතාව අපේක්ෂා කරන්නේ ජාතික සමඟියට හා සංහිඳියාවට මෙම ව්‍යවස්ථාව බාධාවක් බවයි.මේ නිසාම ඔවුන් සෑම මැතිවරණයකදීම පාහේ මෙම ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු දුන් පක්ෂ හා කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බව මැතිවරණ ප්‍රතිපල විශ්ලේෂණයේදී පෙනී යයි.එහෙත් බලයට පැමිණි කිසිදු පක්ෂයකට හෝ සන්ධානයකට එම කටයුත්ත කර ගැනීමට නොහැකි විය.චන්ද්‍රිකා කුමාරතුංග ජනපති පදවිය දරමින් සිටි වසර 2002 කාල සීමාවේදී නව ව්‍යවස්ථවක් ගෙන ඒමට ඇය යම් උත්සහයක් ගත් නමුත් එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායම් ඊට විරුද්ධ වීම නිසා ඇයට එම වැඩපිළිවෙළ අකුලා ගන්නට සිදුවිය.ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් බලයේ සිටින විට විරුද්ධ පක්ෂයේ සිටින අනෙක් පක්ෂය විරුද්ධ වීමේ ප්‍රතිපල නිසා මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇත්තෙන්ම මේවන තුරු පැවතියේ සිහිනයක මට්ටමේය.

දිවයිනේ සියලු ප්‍රදේශෙ ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගනිමින් රටේ මූලික නිතිය වන ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා මූලික අඩිතාලම දමන්නට රජය කටයුතු කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.නිදහසින් පසු මෙරට ක්‍රියාත්මකවූ ව්‍යවස්ථා දෙකේදීම මහජන අදහස් ලබා ගැනීමක් සිදු නොවුණු අතර මෙය එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් ක්‍රියාත්මක කිරීමට රජය වගබලා ගැනීම යහපත් තත්ත්වයකි.එක්සත් ජාතික පක්ෂය,ශ්‍රීලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ,දෙමළ ජාතික සංධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සියල්ලම නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය බව පවසත්දී ඒකාබද්ධ විපක්ෂයේ සිටින පරාජිත දේශපාලනඥයින් පිරිසකගේ අවශ්‍යතාවට ව්‍යවස්ථා වැඩිපිළිවෙළ ආපසු හැරවීම ජන මතයට පයින් ගැසීමකි.අද ව්‍යවස්ථාවක් එපා යැයි කියන මෙම පිරිසට නායකත්වය දෙන මහින්ද රාජපක්ෂ ජාතික මැතිවරණ දෙකකදීම ජනතාව ප්‍රතික්ෂේප කළ බව අප අමතක නොකළ යුතුය.දැනට පවතින පාර්ලිමේන්තු සංයුතිය අනුව නව ව්‍යවස්ථාවක් රටට ගෙන ඒම සඳහා සුදුසුම වාතාවරණය දැන් එළඹ තිබේ. වෙනත් ආකාරයකට කියන්නේ නම් දැන් නව ව්‍යවස්ථාවක් සදහා හොදම ග්‍රහ පිහිටීම දක්නට ලැබෙන අතර මෙම ග්‍රහ පිහිටීම යළිත් දශක ගණනාවකට නොඑන බව ස්ථිරය.

මෙහෙයුම් කමිටු වාර්තාව තුළ අතුරු කමිටු මගින් ලබාදුන් නිර්දේශ අඩංගුය.මේ තුළ මෙහෙයුම් අතුරු කමිටු වල සාමාජිකයින් පූර්ණ එකගතාවට පැමිණි කරුණු මෙන්ම එකගතාවක් නොමැතිවූ කරුණුද අඩංගුය.මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව රට බෙදන ලියවිල්ලක් ලෙස අර්ථකතනය කිරීම වැරදිය.මෙම වරද ජනතාව අතරට ගෙන යෑමට ඇතැම් භික්ෂූන් වහන්සේද කටයුතු කිරීම අභග්‍යයකි.භික්ෂූව මධ්‍යස්ථ විය යුතුය.බුදුන් වදාළ මැදුම් පිළිවෙත අනුගමනය නොකර අන්තගාමී හෝ පක්ෂග්‍රාහී වීම බුද්ධ චීවරය දරන්නාවූ භික්ෂූවකට සුදුසු නැත.මහින්ද රාජපක්ෂ ජනපති සමයේ බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කළ විට ඒ ගැන එදා මෙම භික්ෂූන් වහන්සේ හඩ නොනැගූවේ මහින්දගේ වරප්‍රසාද නිසාද යන්න අද අසන්නට සිදුව තිබේ.පාර්ලිමේන්තු විවාදය තුළ නොකී කතා ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිටතදී කියන්නේ ජනතාව නොමග යැවීමට මිස වෙනත් හේතුවක් නිසා නොවන්නේය.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව දැන් වසර දෙකහමාරක් පමණ ගතව තිබේ.තවත් ඇත්තේ ඒ හා සමාන කාලයකි.ව්‍යස්ථාව සකස් කිරීම සදහා මූලික වැඩකටයුතු නිම කිරීමට ගිය කාලය තරමක් වැඩිය.ව්‍යවස්ථාව කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයකට යෑමට කාලයක් අවශ්‍යය වෙයි.මේ නිසා ඉතිරිව තිබෙන කෙටි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට යහ පාලන ආණ්ඩුව වගබලා ගත යුතුය.නැතහොත් සිදු වන්නේ අර්බුද විසදීම සදහා නව ව්‍යවස්ථාවට ගෙන එන සංශෝදන සමග තව තවත් අර්බුද වෙත තල්ලුවී යාමටය.