කේ ජී අමරසිංහ

කේ ජී අමරසිංහ

“මම රටේ ව්‍යවස්ථාව ගැන දන්නේ පත්තර වල කියවන දෙයින් සහ රූපවාහිණියේ පෙන්වන දෙයින් එහෙම නැතුව මම ව්‍යවස්ථාව දැකලවත් කියවලත් නැහැ“ යයි වත්මන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවළිය ගැන විමසූ විට දික්වැල්ල ප්‍රාදේශීය ලේඛම් බල ප්‍රදේශයේ දන්දෙනිය ගමේ පදිංචි විශ්‍රාමික රජයේ සේවක කේ ජී අමරසිංහ (65) මහතා පැවසීය.

මෙම දින වල වැඩි වශයෙන් කතා බහ වන යෝජිත ව්‍යවසථා සංශෝධනය පිළිබද මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ දැනුවත් බව සහ ඔවුන් යෝජනා කරන වෙනස් කම් ඇත්නම් ඒවා මොනවාදැයි කල විමසීමදී ඔවුන් දැක්වූ ප්‍රතිචාර මෙසේ විය.

“මම අහල තියෙන හැටියට මෙම සංශෝධන ගෙනැල්ල තියෙන්නේ උතුරු පළාත සහ නැගෙනහිර පළාත ඒකාබද්ධ කරන්නයි. ව්‍යවස්ථාව මොනවා වුනත් අපිට දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට නිදහසේ ගිහිල්ල එන්න පුළුවන් සාමකාමී රටක් තිබුනොත් ඇති. දැන් පවතින ජීවන වියදමේ හැටියට මෙම ආණ්ඩුව මොන සංශෝධන ගෙනාවත් මිනිස්සු රජයට විරුද්ධව ඡන්දය දෙනවා“ යයි අමරසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මාග්‍රට් රෝස් මහත්මිය

මාග්‍රට් රෝස් මහත්මිය


“මම ගමේ සිවිල් ආරක්ෂක කමිටු සිමාජිකාවක් මෙන්ම දේශපාලන කටයුතු වලට සහයෝගය දැක්වුවවත් රටේ ව්‍යවස්ථාව ගැන දැනුවත් මදි. හැබැයි රට බෙදනවට මම විරුද්දයි. සිංහල. දෙමළ. මුස්ලිම් සියළු ජන කොටස් සාමයෙන් ජීවත් වන රටක් තමයි අපට අවශ්‍ය“ දන්දෙනිය ගමේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකා කේ ඒ මාග්‍රට් රෝස් මහත්මිය පැවසීය. “ප්‍රවෘත්ති බලන්න බැරි වුන නිසා දැනට කතාබහ වෙන සංශෝධන ගැන මම එතරම් දැනුවත් නැහැ. දේශපාලන රුස්වීම් වලට අපි ගැහැණු අය රැල්ලට සහභාගි වුනාට කලට වේලාවට යන්න බැරි වෙන නිසා කියන දේවල් වැඩි හරියක් අහන්න වෙන්නෙ නැහැ. පිරිමි අය අරක්කු බොන්න සෙට් වෙන නිසා හැමදාම වගේ සහභාගි වෙන්නෙ පරක්කු වෙලා. “ යි ද කීවාය.

“විධායක ජනාධිපති ක්‍රමය නම් අහෝසි වෙනව නම් හොදයි. හැබැයි රට බෙදන්න හැදුවොත් විරුද්ද වෙනවා“ යි කතාවට සහභාගි වෙමින් මාග්‍රට් මහත්මියගේ සැමියා වන ජී ජී දයාරත්න පැවසීය.

ජී ජී දයාරත්න

ජී ජී දයාරත්න

කොළඔ ආයතනයක සේවය කරන අජිත් කුමාරද පැවසූයේ රටේ ව්‍යවස්ථාව ගැන එතරම් දැනුවත් නැති බවයි. “පත්තර වලින් සහ ටී වී ප්‍රවෘත්ති වලින් මට තේරුණේ ෆෙඩ්රල් ක්‍රමයක් රටට හදුන්වා දෙන්න හදන බව. එහෙම දුන්නත් වැඩි හරියක් දමිළ ජනතාව ජීවත්වෙන්නේ උතුරු නැගෙනහිරින් පිට ප්‍රදේශ වල. රටේ මහානායක හිමිවරුත් මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්නේ යෝජනා කරපු දේ හොද නැති නිසා නේද?“ යි ප්‍රශ්න කලේය.

විනෝද් තරංග

විනෝද් තරංග


ලොතරැයි අලෙවියෙන් තම ජීවිතය ගැට ගසා ගන්නා විනෝද් තරංග කියා සිටියේ ද ව්‍යවස්ථාව ගැන තමා දැනුවත් නැති බවයි. “ඔය ගැන මම දන්නේත් රූපවාහිණි නාළිකාවල ප්‍රවෘත්ති වල පෙන්නන සහ එක එක්කෙනා කියන දේ. අළුත් ව්‍යවස්ථාවක් ගැනත් කතා කරනවා ඇහුණා. මට ඒ ගැන එතරම් දැණුමක් නැහැ“ යි පැවසිය.

මාතර ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ විශයක් ලෙස දේශපාලන විද්‍යාව හදාරණ 13 ශ්‍රේණියේ සිසුවියක් ද පැවසූයේ ඇය දහ අට වන සංශෝධනය සහ දහ නව වන සංශෝධන ගැන යම් අදහසක් ඇති නමුත් රටේ ව්‍යවස්ථාව කියවා නැති බවය.

මෙම සාකාඡ්චා වලින් පසුව අපට හැගී ගියේ දකුණේ ග්‍රාමීය ජනතාවට එදිනෙදා තම ජීවිතය රැක ගන්නවා විනා රටත් තමනුත් පාලනය වන රටේ උත්තරීතර ව්‍යවස්ථවාව ගැන අවබෝධයක් නොතිබුන බවත්, එම ක්‍රියාවළියට විටින් විට සම්බන්ධ වන්නේ දේශපාලඥයින් ගේ මතයනට අන්ධව සහයෝගය දැක්වීමට බවය. තමන්ටත් රටටටත් උචිත නව ව්‍යවස්ථාවක් සැකසීමට යෝජනා එක් කිරීමට තමන්ට ද අවස්ථාවක් තිබෙන බවත් ඔවුන් දැන ගත්තේ මෙම කතා බහෙන් පසුවය.