දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් දශක හතරකට ආසන්න කාලයකට පසුව, ශ්‍රී ලාංකික ජනතාවගේ වර්තමාන අවශ්‍යතා හා අභිලාශයන් පිළිබිඹු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමේ උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මකව පවතී. වර්තමානයේ මෙම ක්‍රියාවලිය සිදු වන්නේ පාර්ලි‌‌මේන්තුව තුල වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට යම් සංවාදයක් සමාජයේ ඇතිවී තිබේ. එම සංවාදය වඩාත් තීවුර කිරීමට සමත්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු වාර්තාවය.

එම වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අවසන් ලියවිල්ල ලෙස හදුන්වාදීමට උත්සහා කරන ඇතැමුන් හේතුවෙන් මෙම ව්‍යාකූලත්වය ඇතිවී තිබෙන අතර ඔවුන් නගන හඩ නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ පිටපතක් සැකසී ඇති බවට විශ්වාස කරන පිරිසක් ද රට තුල නිර්මාණය වී තිබේ. එහෙත් මේ වනවිටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අකුරක් හෝ පිටපත් වී නැති බව සැම දෙනා අවබෝධ කර ගත යුතුය. දැන් නිකුත් කර තිබෙනුයේ අතුරු වාර්තාවක් පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව සිය අවසන් වාර්තාව සැකසීමට නියමිතව ඇත්තේ තවත් සාකච්ඡා ගණනාවකට පසුවය. එබැවින් මේ වනවිට් ඉදිරිපත්ව තිබෙන අතුරු වාර්තාව පිළිබදව කිසුදු සැකයක් ඇති කර ගත යුතු නැත.

එමෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිලිබදවද කිසිදු හෝ බියක් හෝ සැකයක් ඇති කර ගත යුතු නැත. ශ්‍රී ලාංකිකයන් ලෙස අප හැම දෙනෙකුටම මේ වනවිට පවත්නා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී ඊට යෝජනා ඉදිරිපත් කිරීමට හෝ විරුද්ධ වීමට අවස්ථාවක් අනිවාර්යයෙන්ම හිමි වන්නේය.ඒ බව අවබෝධ කර ගැනීමට මෙම ලිපිය සම්පුර්නයෙන්ම කියවන ලෙස ඉල්ලා සිටින්නෙමි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පුළුල් ලෙස අදියර තුනකට වෙන් කර දැක් විය හැකි වේ. ජනතාවගේ අදහස් ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මහජන අදහස් විමසීමේ කමිටුව පත් කරනු ලැබීමත් සමඟ 2016 ජනවාරි මසදී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි පළමු අදියර ඇරඹිණි.එම කමිටුව රටේ සියළුම දිස්ත්‍රික්ක වෙත ගමන් කර මහජන අදහස් ලබා ගත් අතර එහිදී විවිධ සංවිධාන, ආගමික නායකයන්,රාජ්‍ය නිලධාරින් ඇතුළු මහජනතාවගෙන් ලැබුණු යෝජනා 4000 කට වැඩි ප්‍රමාණයක් ඇතුලත් වාර්තාවක් මේ වනවිටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා අතුරු වාර්තාවට ද ඇතුලත්ව තිබිණි.

මහජනතාවට දැන් නැවත වතාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පෙර අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවකාශ සැලසී තිබෙන බව මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කර සිටී.මේ අප ඉහත සදහන් කලපරිදි ව්‍යවස්ථා සැකසීමේ ක්‍රියාවලියට ජනතාව හැටියට මැදිහත්වීමට අපට ලැබෙන තවත් අවස්ථාවකි. ඔබට මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ සදහන් කරුණු වලට විරුද්ධ වීමට හෝ අලුත් යෝජනා ඉදිරිපත් කිරීමට අවශ්‍යනම් මහජන අදහස් විමසීමේ කමිටුවේ රැස්වීම් පවත්නා අවස්ථවේදී ඊට සහභාගී වී කරුණු දැක්විය හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය

ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා වන මීලග අදියර වූ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය” නිර්මාණය කිරීම පිණිස ව්‍යුහාත්මක රාමුවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් 2016 මාර්තු මස 9 වැනි දින යෝජනාවක් සම්මත කර ගැනිණි. එම යෝජනාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන්ම සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය, කාරක සභාවක් ලෙස රැස් වන අතර පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් සතු බලතල හා සමාන බලතල එය සතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බලනු ලැබීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත පිළියෙළ කිරීමේ කාර්යය පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව පිහිටුවීම සඳහාද එම යෝජනා සම්මතය මගින් විධිවිධාන සලස්වා තිබුණි.. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් 2016 අප්‍රේල් 5 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙහෙයුම් කමිටුව පත්කරන ලදී.කමිටුවෙහි සාමාජිකයන් 21 දෙනා අතරට පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ සියල්ලෙහිම නියෝජිතයෝ ඇතුළත්ව සිටිති.

මෙම කමිටුව මේ වන විට පාර්ලිමේන්තුව තුළ 77 වතාවක් රැස්වී ඇති අතර එහි සභාපතිත්වය දරන අගමැතිවරයා ඒ සියලු රැස්වීම් වලට සහාභාගී වී තිබීම විශේෂත්වයකි. ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරු ඇතුළු ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු ඊට සහභාගී වුවා පමණක් නොව සංවාදයන්ට තම දායකත්වයද සැපයුහ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන ආකාරයට මෙහෙයුම් කමිටුවට ඉදිරිපත්වූ සියලු යෝජනා එහිදී සාකච්ඡාවට ලක් කර තිබුණි. ඔහු පවසන ආකාරයට අතුරු වාර්තාවේ සදහන් සෑම අස්පිල්ලක් පාපිල්ලක්ම මෙහෙයුම් කමිටුවේ සාකච්ඡාවට ලක්වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත පිළියෙළ කිරීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් 2016 මැයි මස 5 වැනි දින පත් කරන ලද සාමාජිකයන් 10 දෙනෙකු සහ සභාපති වරයෙකුගෙන් සැදුම් ලබන අනු කමිටු හයක සහාය මෙහෙයුම් කමිටුවට ලැබී තිබේ. . මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය හා මධ්‍යම-පර්යන්ත සබඳතා යන ක්ෂේත්‍ර පිළබඳව සාකච්ඡා කිරීම මෙම කමිටු විසින් සිදු කරන ලදී. එම කමිටු ඉදිරිපත් කල වාර්තා ද මෙහෙයුම් කමිටුවේ අවධානයට ලක් විය.
මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනේ 2016 නොවැම්බර් මසදීය. වසරක පමණ කාලයක් ප්‍රමාද වූ මෙම අතුරු වාර්තාව ඔක්තෝබර් 30.31 සහ නොවැම්බර් 01 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ඇත.. ඉන් අනතුරුව අතුරු වාර්තාවේ මූලධර්ම මත පදනම්ව, අනුමත කරන ලද සංශෝධන අන්තර්ගතවන අවසාන වාර්තාවක් මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාඨය අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මෙම අවසාන වාර්තාව සමඟය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එතැනින්ද අවසන් වන්නේ නැත. සියලු මන්ත්‍රීවරු ඇතුලත් වන , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමට පටන් ගනුයේ එතැන් සිටය. එම ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තුනෙන් ‍දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය යුතුය. එසේ සම්මත වුවහොත් පමණක් එය අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇති අතර ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසුරුවා හැරෙනු ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සරල බහුතර ඡන්දයෙන් පමණක් සම්මත වුවහොත්, යෝජනා කෙටුම්පත එක් මසක කාලපරිචඡේදයක් තුළ පාර්ලිමේන්තුව විසින් යළි සලකා බැලීමට සිදු වනු ඇත. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් ‍දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වුවහොත් ඉන් අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණු විට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් බවට පරිවර්තනය වනු ඇති අතර එය පාර්ලිමේන්තුවේ සභා ගත කෙරෙනු ඇත. ඉන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත, ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් විධිමත් ලෙස පැනවීම සඳහා 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් නියම කරනු ලැබ ඇති පරිපාටියට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව පාර්ලිමේන්තුවේදී තුනෙන් ‍දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතුය.

නව ව්‍යවස්ථාවට ඔබ එකග වන්නේ නැත්නම් ඊට විරුද්ධ මීළග අවස්ථාව එළබෙන්නේ ජන මත විචාරණයෙදීය. ජන මත විචාරණයෙදී ව්‍යවස්ථාව පරාජය කළහොත් එය අහෝසී වී යනු ඇත.එබැවින් යමෙකු කී පමණින් අවසන් නිගමනයකට නොඑළඹ මැදිහත් සිතින් සිතා බැලුවහොත් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ මවා ඇති යක්ෂා රූපය අවබෝධ කර ගැනීම අසීරු නොවනු ඇත.