නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙළ සඳහා ඉදිරි පියවරක් තබමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අතුරු කමිටු වාර්තාව පසුගියදා පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කළ අතර එය මෙම මස 30-31 හා නොවැම්බර් මස 01 දින ව්‍යවස්ථාදායක සභාවේදී විවාදයට ගැනීමට නියමිතය.ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන යෝජනාව අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මස 09 දිනය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සාමාජිකයින් ඒකඡන්දයෙන් මෙම යෝජනාව සම්මත කිරීමෙන් පසු ශ්‍රී ලංකා පර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්ථනය විය.නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් රටපුරා ‍ගොස් අදහස් හා යෝජනා ඒකරාශී කර ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වියගදීර්ඝ ක්‍රියාවලියක් ඔස්සේ ඉදිරියට පැමිණි මෙම වැඩපිළිවෙළ මේ වනවි‍ට තීරණාත්මක මං සන්ධියකට පැමිණ ඇත්තේ අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟය.නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන වැඩපිළිවෙළේදී මෙවර මහජන අදහස් හා යෝජනාද සැලකිල්ලට භාජනය කිරීම විශේෂ සිද්ධියකි.ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව අතර ඇත්තේ එකිනෙකට වෙනස්වූ අවබෝධයන් හා පැහැදිලි කිරීම්යග.මේ සම්බන්ධව මහනුවර දිස්ත්‍රික්කයේ වෘත්තිකයින් කිහිප දෙනකු දැක්වූ අදහස් මෙසේය.

ගරුදෙණිය ප්‍රදේශයේ පදිංචි සුළු වෙළෙඳ ව්‍යාපාරික ජී.ජී ගුණරත්න :53*

G.G. Gunarathne

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව ඔබ දැනුවත්ද?

පිළිතුර-ඔව්. ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමකුත් සිදුවුණා.අපේ ගමේ සමිතියේ නියෝජිතයෝ එකතු වෙලා සාකච්ඡා කරලා සමිතියක් විදිහට යෝජනා ඉදිරිපත් කළා.මේවා නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී සාකච්ඡාවට ගත්තද කියලා අපි දන්නේ නැහැ.මාධ්‍යය මගින් මේ ගැන නොයෙක් කතා යනවා.රට බෙදන බව කියනවා.අනාගාමී රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වෙන්න මේ ව්‍යවස්ථාවෙන් ඉඩක් තියෙනවා කියලා කියනවා.මේ ඔක්කොම කියන්නේ පහුගිය කාලයේ බලයේ ඉඳපා පැරදුණු අය.ආණ්ඩුව කියන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. මම නම් හිතන්නේ මේ ව්‍යවස්ථාව හදන වැඩපිළිවෙළේදී හැම පක්ෂයක්ම රට වෙනුවෙන් හිතලා කතා කරන්න ඕන කියලයි.තමන්ගේ බලය රැක ගන්නවත් බලය නැති අය බලයට එන්න පාර කපා ගන්නත් ව්‍යවස්ථා ප්‍රශ්නය ඉදිරියට ගන්න හොඳ නැහැ.මම අහලා තියෙන්නේ ව්‍යවස්ථාව කියන්නේ රටක උත්තරීතර නීතිය කියලයි.මේක වැරදුණොත් ඔක්කොම ඉවරයි.මේ නිසා මහජන නියෝජිතයෝ හැමෝගෙම වගකීම වෙන්නේ රට ගැන හිතලා තීන්දු තීරණ ගන්න එකයි.

ප්‍රශ්නය-මෙහෙයුහම් කමිටු වාර්තාව හා එහි අන්තර්ගතය පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිතුර-පාර්ලිමේන්තු වල කමිටු වල සාකච්ඡා කෙරුණු කරුණු වලින් හදපු මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා.දැන ගන්න තියෙන විදිහට මේකේ යෝජනා අදහස් සියල්ලම අන්තර්ගතයි.කමිටු වාර්තාව නම් තාම දකින්න ලැබුණේ නැහැ.

ප්‍රශ්නය-ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ඕනද?

පිළිතුර-නව ව්‍යවස්ථාවක් ඕන කියන ස්ථාවරයේ මම ඉන්නවා.මේ තියෙන ව්‍යවස්ථාව දැන් 19 වතාවක් සංශෝධනය කරලා තිබෙනවා.මීට කලින් ව්‍යවස්ථා වලට සාමාන්‍යය ජනතාවගේ අදහස් ලබා ගෙන නැහැ. මේ නිසා ජනතාවගේ අදහස් ඇතිව හොඳ ව්‍යවස්ථාවක් එනවා නම් වරදක් නැහැ.

ප්‍රශ්නය-ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද?

පිළිතුර-මේ තියෙන ඡන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන.මනාප ඡන්ද ක්‍රමය දැන් එපා වෙලා.සල්ලි වලින් තමයි හැමදේම තීරණය වන්නේ.අද පාර්ලිමේන්තුවට යන ‍ගොඩක් අය එතන්ට ගැ‍ලපෙන්නේ නැහැ.ඡන්දේ ගන්නකං අපිට දෙයියන්ට වගේ.පස්සේ පැත්ත පළාතේ එන්නේ නැහැ.කලින් තිබුණු ආසන ක්‍රමය තමයි රටට ගැලපෙන්නේ.ව්‍යවස්ථාවෙන් මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන එක හොඳයි.

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී මතුවිය හැකි ගැටලු හා අභියෝග මොනවාද ?

පිළිතුර-රට බෙදෙනාවද?බුද්ධාගමට හිමි තැන නැති වෙනවාද කියන කාරණය තමයි දැන් මතුවෙලා තිබෙන්නේ.අනෙක් කාරනා ගැන සමාජය තුළ ලොකු කතා බහක් නැහැ.මේ ප්‍රශ්න දෙකට ස්ථිර පිළිතුරක් රජය දෙන්න ඕන.නැත්නම් ව්‍යවස්ථාව ගේන එක එතරම් පහසු වෙන්නේ නැහැ.

කොත්මලේ ජලාශ ව්‍යාපෘතියේ හිටපු මහජන සම්බන්ධතා නිලධාරී, ලලිත් ද සිල්වා :68* මහතා
LALITH N DE SILVA

ප්‍රශ්නය-ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව ඔබ දැනුවත්ද?

පිළිතුර-ඔව්. මම මේ ගැන නිරන්තර අවධියෙන් ඉන්නේ. මේ සම්බන්ධව මාධ්‍යය වල පලවන දේවල් සම්බන්ධව මම උනන්දුයි. සියලු ජාතීන් එකට එකතු කරගෙන හොඳ ශක්තිමත් ගමනක් යන්න හොඳ ව්‍යවස්ථාවක් ඕන. ඇත්තටම රටකට ව්‍යවස්ථාව කියන්නේ වාහනයකට ඇන්ජිම වගේ.ඇන්ජිම හොඳ නැත්නම් කොච්චර හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හිටියත් වාහනේ ඉස්සරහට යන්නේ නැහැ.

ප්‍රශ්නය-මෙහෙයුහම් කමිටු වාර්තාව හා එහි අන්තර්ගතය පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිතුර-පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්ථනය කළාට පස්සේ ව්‍යවස්ථාව සම්බන්ධ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න කමිටු හයක් පත්කළා.විපක්ෂය පවා මේ කමිටුවල හිටියා.ඒ කමිටු ලබාදුන් යෝජනා අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සකස් කළ ලියවිල්ල තමයි අතුරු වාර්තාව ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ති‍බෙන්නේ.මේකේ රට ඒකීය කියන එක වගේම රට ෆෙඩරල් කියන යෝජනාත් තිබෙනවා.බුද්ධාගමට හිමිතැන සම්බන්ධවත් අවසන් එකඟතාවන්ට නොඑළඹුණු කරුණු මෙහි අන්තර්ගතයි. දැන් තිබෙන්නේ කරුණු සාකච්ඡා කරලා හාමෝම එකඟ වන කරුණු මුලින් වෙන්කර හඳුනා ගැනීමයි.මතබේද ඇති කරුණු සම්බන්ධව ඊළඟ ව‍ටයේදී සාකච්ඡා කිරීමට පුළුවන්. ජනතාව වැඩි උනන්දුවක් දක්වන්නේ රටේ ඒකීය භාවය ගැනයි.මේ කාරණය පිළිබඳව මුලින්ම රජය රටට ස්ථිර ප්‍රකාශයක් කිරීම වැදගත්.

ප්‍රශ්නය-ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ඕනද?

පිළිතුර-නව ව්‍යවස්ථාවක් සකස් කිරීම වරදක් නැහැ.ඒත් තියෙන ව්‍යවස්ථාවේ යහපත් දේ සුරක්ෂිත විය යුතුයි.අලුත් ව්‍යවස්ථාවක් ගේන එකේ අරමුණ වෙන්න ඕන ප්‍රශ්න විසඳන එක මිස අලුත් ප්‍රශ්න ඇති වෙන එක නොවෙයි.

ප්‍රශ්නය-ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද?

පිළිතුර-වසර තිහක් මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුණා.යළිත් මේ රටේ ඒ වගේ යුද්ධයක් ඇති නොවෙන්න ජාතික සමඟිය ආරක්ෂා වන ව්‍යවස්ථාක් ඕන.බෙදුණු රටකට අනාගතයක් නැහැ.අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම අපි තුළ තියෙන්න ඕන.බලය යම් ප්‍රමාණයකට බෙදන එක හොඳයි.මේ රටේ බහුතරය බෞද්ධ.ඒක අමතක කරලා ව්‍යවස්ථාවක් හදන්න බැහැ.

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී මතුවිය හැකි ගැටලු හා අභියෝග මොනවාද ?

පිළිතුර-දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ අතුරු කමිටු වාර්තාවේ සිංහල එකේ ඒකීය, දෙමළ එකේ ෆෙඩරල් කියන එක.ආණ්ඩුව ඒකීය භාවයට හානියක් නොවෙන බව කියනවා නම් ඇයි දෙමළෙන් ඒ අදහස වෙනස් කරන්නේ.මේවා නැති ප්‍රශ්න.ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව ආයුධ දෙනවා තමන්ට ගහන්න.මේවගේ දේවල් වලින් ජනතාව තුළත් සැක මතු වෙනවා.මම කියන‍්නේ ව්‍යවස්ථාව සකස් කිරීමේදී මතුවන ලොකුම ප්‍රශ්නය ආණ්ඩුව එක ස්ථාවරයක සිට කටයුතු නොකිරීමයි.

මහනුවර හීරැස්සගල පදිංචි ඒ.වයි ගුණරත්න -ත්‍රිරෝද රථ රියදුරු.
A.Y. GUNARATHNE

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව ඔබ දැනුවත්ද?

පිළිතුර-ව්‍යවස්ථාවක් ගේනන හදන එක නම් දන්නවා.ඒත් අලුත් ව්‍යවස්ථාවක් මොකටද කියන එක ප්‍රශ්නයක්.මම හිතන්නේ දැන් තියෙන ව්‍යවස්ථාවත් හොඳයි.එක එක සංශෝධන ගෙනත් බලය බෙදාහරින ඒවත් කළානේ.සමහර ඒවා ව්‍යවස්ථාවට විතරක් සීමා වෙලා.මොන ව්‍යවස්ථාව ගෙනාවත් වැඩක් නැහැ ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.

ප්‍රශ්නය-මෙහෙයුහම් කමිටු වාර්තාව හා එහි අන්තර්ගතය පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිතුර-ඒ ගැන වැඩි දැනුමක් නැහැ.

ප්‍රශ්නය-ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ඕනද?

පිළිතුර-මම හිතන්නේ දැන් තියෙන ව්‍යවස්ථාව හොඳයි.වෙන ඒවා ගෙනත් මොනවා වෙයිද කවුද දන්නේ.දැන් මේ රටේ මිනිස්සු හොඳට ඉන්නවනේ.

ප්‍රශ්නය-ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද?

පිළිතුර-මොන ව්‍යවස්ථාව ආවත් රට දෙකඩ වෙන තීන්දු තීරණ ගන්න බැහැ.උතුරට වෙනම පාලනයක් දෙන ව්‍යවස්ථාවක් ගෙනාවොත් අපි විරුද්ධයි.

මිලින්ද කස්තුරි ආරච්චි-මහනුවර නගරයේ පදික වෙළෙඳාම-කටුගස්තොට දෙමටගොල්ල
MILINDA KASTHURIARRACHI

ප්‍රශ්නය-ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව ඔබ දැනුවත්ද?

පිළිතුර-ඔව්.මම මහනුවර නගර සභාවට ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් වරක් තරඟ කළා.මම දේශපාලනය ගැන ටිකක් උනන්දුයි.මේ ආණ්ඩුව බලයට ආවේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සකස් කරනවා කියලයි.ඒ වැඩපිළිවෙළ ටිකක් හිමින් තමයි සිද්ධ වුණේ.දැන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රට හොඳ තැනකට ඇවිත් කියලා මම හිතනවා.

ප්‍රශ්නය-මෙහෙයුහම් කමිටු වාර්තාව හා එහි අන්තර්ගතය පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිතුර-මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නකොට ප්‍රධාන පක්ෂවල වගකීම වෙන්නේ තියන ප්‍රශ්න සම්බන්ධයෙන් හොඳ කතිකාවක් ගොඩනැගීමයි.ඒ සංවාදයත් නිකන් ගහ මරා ගැනිල්ලක් වුණොත් වැඩක් නැහැ.රටේ ඒකීය භාවය,ආගම පිළිබඳ ප්‍රශ්න,විධායක ජනපති ක්‍රමය වැනි ප්‍රධාන කාරනා පිළිබඳව හොඳ සංවාදයක් පාර්ලිමේන්තුවේ ඇති වුණොත් ඒක හොඳ ව්‍යවස්ථාවක් හදාගන්න හේතුවක් වෙයි.

ප්‍රශ්නය-ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාක් ඕනද?

පිළිතුර-මම හිතනවා අපේ රටේ ගොඩක් ප්‍රශ්න වලට ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු බලපෑවා.තිස් වසරක යුද්ධය නිමවෙලා වසර අටක් ගතවෙලා තාමත් ජාතීන් අතර අපි බලාපොරොත්තු වන විශ්වාසය ගොඩනැගිලා නැහැ.අවිශ්වාසය තාමත් තියෙනවා.මේවා ගැන හිතලා කාටත් පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදා ගන්නවා නම් ඒක අනාගත පරපුරට යහපතක් වෙන්න හේතු වේවි.

ප්‍රශ්නය-ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද?

පිළිතුර-මම හිත්න්නේ විධායක ජනපති ක්‍රමය මේ තියෙන විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕන.මොකද අපේ රටේ සියලු ජනතාව ඡන්දය ලබා දෙන්නේ විධායක ජනපති තෝරන්න විතරයි.රටේම කේන්ද්‍රය බවට ජනපති ධූරය පත් වෙනවා.

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී මතුවිය හැකි ගැටලු හා අභියෝග මොනවාද ?

පිළිතුර-ප්‍රධාන ගැටලුව ප්‍රධාන පක්ෂ එක මතයකට නොඒමයි.දැන් ඉන්න විපක්ෂයේ අය ආණ්ඩු පක්ෂයේ ඉන්න‍ කොට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හැදුවා.දැන් ඒ අය විපක්ෂයට ගියාම වෙන එකක් කියනවා.මේ දේශපානය තමයි මොනදේ කරන්න ගියත් හරහට හිටින්නේ.

දොළොස්භාගේ මොස්විල් වත්තේ හිමිකරු දේශබන්දු බැසිල් හාලි (65)
BASIL HALI

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධව ඔබ දැනුවත්ද?

පිළිතුර-ඔව්.රජය මේ වනවිට ඒ සඳහා කිසියම්වූ උන්නදුවකින් කටයුතු කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා.

ප්‍රශ්නය-මෙහෙයුහම් කමිටු වාර්තාව හා එහි අන්තර්ගතය පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිතුර-මෙහෙයුම් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.මේ මසේ අන්තිමට එය ව්‍යවස්ථාදායක සභාව තුළ සාකච්ඡාවට ගැනෙනවා.

ප්‍රශ්නය-ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාක් ඕනද?

පිළිතුර-අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයයි.දැන් තියෙන්නේ පැලැස්තර දාපු ව්‍යවස්ථාවක්.සංශෝධන වැඩි වෙනවා කියන්නේ ව්‍යවස්ථාව දුර්වලයි කියන එක.

ප්‍රශ්නය-ආමන්ත්‍රණය කළ යුතු ප්‍රධාන කරුණු මොනවාද?

පිළිතුර-පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන ව්‍යවස්ථාවක් රටට ඕන.විධායක ජනපති ධූරය අහෝසි කරන්න ඕන.මැතිවරණ ක්‍රමය වෙනස් කරලා පැරණි කොට්ඨාශ ක්‍රමය ගේන්න ඕන.

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියේදී මතුවිය හැකි ගැටලු හා අභියෝග මොනවාද ?

පිළිතුර-මම හිතනවා අපේ රටේ බහුතරයක් ජනතාව මේ ව්‍යස්ථා සම්පාදන ක්‍රියාවලියේ වැදගත්කම තේරුම් ගෙන නැහැ.ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍යය බලය හිමිව තිබෙන්නේ ජනතාවට.ජනතාව මේබව තේරුම් ගෙන කටයුතු කරන බවක් පේන්න නැහැ.කවුරුත් හදලා අපි මත පටවන දේකට වඩා අපේ දායකත්වය ඇතිව ව්‍යවස්ථාව හැදුනොත් ඒක හොඳයි.හැදුවට පස්සේ අඩුපාඩු කියනවාට වඩා වැදගත් වන්නේ හදන්න කලින් අඩුපාඩු කියන එකයි.