ඔබේ ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරයා හැටියට මට වගකීමක් තියෙනවා ව්‍යවස්ථා සම්පාදන සභාවක් බවට පත් කරලා තියෙන පාර්ලිමේන්තුවට මේ යෝජනා ඉදිරිපත් කරන්න. අනික වැල්ලවායේ නැත්නම් මේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෙනෙක් හැටියට මම දන්නවා මේ යෝජනා බොහෝම හරවත් සහ ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී සළකා බැලිය යුතු තරමේ ඒවා කියලා.˜

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි පසුගියදා එසේ ප්‍රකාශ කළේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ රැස්ව සිටි ගොවීන් හා ගෙවිලියන් තුන්සියයකට වැඩි පිරිසක් ඉදිරියේ ය. ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ ඇරයුමෙන් මේ ගොවි ජනයා එලෙස රැස්ව සිටියේ ජාතික ගොවි දින සැමරුමට සමගාමීව ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම උදෙසා පදනම් වන හා යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගොවීන් වෙනුවෙන් විශේෂායනය වූ අයිතීන් ඇතුළත් යෝජනාවලියක් ප්‍රසිද්ධ කිරීමේ අරමුණෙනි. මේ අවස්ථාවට මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙත ස්වකීය යෝජනා මාලාව ඉදිරිපත් කරමින් ගොවීන් ඉල්ලා සිටියේ ඒවා පාර්ලිමේන්තුවේ සළකා බැලීමට යොමු කරන ලෙසයි. මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත ගම් දනව් වන හම්ඛෙගමුව, ගෝනගං ආර වැනි ප්‍රදේශ වලින් පැමිණි ගොවීන් හා ගොවි කතුන් මෙහිදී අදහස් දක්වමින් මෙවැනි යෝජනාවක් සකස් කරන්නට හේතු වූ පසුබිම පැහැදිලි කිරීම විශේෂත්වයක් විය.

ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානයේ සභාපති කේ. පී සෝමලතා සඳහන් කරන අන්දමට මේ යෝජනාවලිය සකස් ව ඇත්තේ තුන් සියයකට අධික මේ ගොවි පිරිස තම තමන්ගේ ගම් ආශ්‍රිතව කළ පුලූල් සංවාද වලදී මතු වූ කරුණු හා මතවාද ආශ්‍රයෙනි. ඒවා දෙස විමසංනීයව බලන කල දක්නට ලැඛෙන්නේ එදිනෙදා ජීවිතයේ ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා ආශ්‍රයෙන් පැන නගින අත්දැකීම් විෂය කොටගෙන පැන නැගි යෝජනා බවයි. ඒ අනුව මේ යෝජනා සමාජ, ආර්ථීක හා සංස්කෘතික අයිතිවාසිකම් ගණයෙහි ලා සැළකිය හැකිය. එලෙස සළකා බැලිමේදී දක්නට ලැඛෙන විශේෂත්වයක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සමාජ ආර්ථීක අයිතිවාසිකම් ඇතුළත් වීම වනාහී වඩාත් ඉදිරිගාමී පියවරක් වන අතර අගනුවරින් බැහැර ගොවි ජනතාව එවැන්නකට දායක වීමම ප්‍රගතිශීලී පුරවැසි සමාජයක් පිළිබඳ අනාගත පෙර නිමිති ප්‍රකට කරවන බවයි. මූලික ක්ෂේත්‍ර හතරක් ඔස්සේ තමන්ගේ අයිතිවාසිකම් යළි සකස් විය යුතු බව මෙහිලා ගොවීන් පෙන්වා දුන් අතර ඒවා නම්,

ඉඩම් අයිතිය
ජල අයිතිය
බීජ අයිතිය
කාබනික කෘෂිකර්මය
වෙළඳපොල අයිතිය
යන ඒවායි.

මෙලෙස ප්‍රවර්ගාත්මකව සිය යෝජනා ඉදිරිපත් කරන්නට ගොවීන්ට සිදුව ඇත්තේ ඇයිදැයි යන්න පැහැදිලි කර ගැනීම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ කාර්යය පිළිබඳ උනන්දු වන සියලූ පාර්ශව වලට වැදගත් වේ.

ඉඩම් අයිතිය.

සමස්ත ශ්‍රී ලංකාවේම ඉඩම් හිමිකම පිළිබඳ බරපතල ගැටලූ තිබියදී ප්‍රමුඛ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වන මොනරාගල ජනයාද ඒ පීඩාවේ වින්දිතයන්ය. ජනයාගෙන් අතිමහත් බහුතරයක් තමන් පදිංචි සහ වගා කරන ඉඩම් වලට කිසිම හිමිකමක් නොමැතිව සිටියදී බහුජාතික සමාගම් වලට දීර්ඝ කාලීන බදු පදනම යටතේ අක්කර දහස් ගණනක ඉඩම් පවරා දෙනු ලැබ ඇත. තවදුරටත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වීම නොඉවසන ගොවියෝ යෝජනා කරන්නේ, ජාතික හා පළාත්බදව ජනතා හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරවන අතර විදේශීය සමාගම් වලට ඉඩම් විකිණීම නවතා දැමිය යුතු බවයි. එසේම පරිසර සංවේදි බිම් සංරක්ෂණයට පියවර ගත යුතුය. විශේෂයෙන් ඉඩම් හිමිකම් සම්බන්ධව කාන්තාවන්ට ඇති නීතිමය සීමාවන් හා සංස්කෘතික අවහිරතා අහෝසි කළ යුතු බවද මෙහිලා අවධාරණය කෙරේ.

ජල අයිතිය.

දැවැන්ත සමාගම් සඳහා ජලය සැපයෙමින් තිබියදී කුඩා පරිමාණ ගොවීන්ට වගාවට ප්‍රමාණවත් ජලය නොලැබීම හා පිරිසුදු පානීය ජලය බහුතර ජනයාට අහිමි වීම යන කරුණු සැළකිල්ලට ගනිමින් සැමට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමේ අයිතියක් ඇතැයි යන්න මෙහිලා ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන් ඒ තුළ ප්‍රමාණවත් ජල පහසුකම් සැපයීම සඳහා ප්‍රතිපාදන සම්පාදනය කළ යුතුය.

බීජ අයිතිය.

දේශීය හා පාරම්පරික බීජ භාවිත ක්‍රම අහෝසි කිරීම දිරිගන්වන බීජ ප්‍රතිපත්ති හා ඒ ආශ්‍රිත පනත් නිසා ඇතිවිය හැකි අනාගත අවධානම මේ තුළ සළකා බලා ඇත. එහිලා ගොවීන් ප්‍රකාශ කරන්නේ බීජ සඳහා විදේශීය සමාගම් මත යැපෙන්නට සිදුවීමෙන් අනාගත ආහාර අර්බුද වලට ගොදුරුවීමේ අවධානමක් ඇති බවයි. ඒ නිසා පාරම්පරික බීජ භාවිත අයිතීන් ව්‍යවස්ථාව තුළ තහවුරු විය යුතු බව ඔවුහු පෙන්වා දෙති.

කාබනික කෘෂිකර්මාන්තය.

මෙහි අදහස රසායනික කෘෂිකර්මාන්තය අහෝසි කර දැමීම නොවේ. සමගාමීව කාබනික යෙදවුම් ද භාවිත කෙරෙන උසස් කෘෂිකර්මාන්තයක් සඳහා වන අයිතිය තහවුරු කිරීමයි. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් රසායන ද්‍රව්‍ය අධිභාවිතාව නිසා විශාල පිරිසක් වකුගඩු රෝග වැනි ජීවිත අහිමි වීමට හේතු වන තත්ත්වයන්ට ගොදුරුව සිටියදී දැවැන්ත පාරිසරික අර්බුද මතු වී තිබීමයි.

වෙළඳපොල අයිතිය

පවත්නා වෙළඳපොල තුළ අතරමැදියා බලවත් වීම නිසා ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාටද සිදුව ඇත්තේ බරපතල අසාධාරණයකට ගොදුරු වීමටයි. එම නිසා සිය වෙළඳ පොල අයිතීන්ද ව්‍යවස්ථාපිත විය යුතු බව ඔවුන්ගේ අදහසයි.

මෙසේ සංක්ෂේපයෙන් දැක්විය හැකි මේ යෝජනා මාලාව සළකා බැලිය යුත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට අදාල සුවිශේෂී කරුණු ලෙස ගෙන නොවේ. ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය වෙනුවෙන් කේ. පී. සෝමලතා පෙන්වා දෙන පරිදි සමස්ත රටේම බහුතරයක් ජනයාට බලපාන කරුණු ලෙස සළකාය. එසේම ව්‍යවස්ථා සම්පාදන කාර්යය වෙනුවෙන් මහජන අදහස් විමසීමට සකස් වූ වැඩපිළිවෙලක් තිබියදී හා ඒ වෙනුවෙන් කිසියම් යාන්ත්‍රණයක් දියත් ව තිබියදී එහි ඇස නොගැටුණු මෙවැනි පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව අදහස් දැක්වීමද පැසසිය යුතුය.