රටක මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලූ පුරවැසියන් උදෙසා සමාන අවස්ථා සම්පාදනය කරන්නක් විය යුතුය. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේදී සියලූ ජන කොට්ඨාශයන් නියෝජනය වන පරිදි අදහස් විමසමින් ව්‍යවස්ථා සම්පාදන කාර්යය ඉටුකිරීමට ගන්නා සෑම උත්සාහයක්ම පැසසිය යුතු වන්නේද එහෙයිනි. මේ වනවිට සිදුවෙමින් පවතින ව්‍යවස්ථා සම්පාදන කාර්යයෙහි එක් වැදගත් පියවරක් ලෙස පත්කරන ලද අනුකමිටුවක් මගින් මහජන අදහස් විමසීම උදෙසා පියවර ගනු ලැබූ අතර දිවයින පුරා ඒ ඒ දිස්ත්‍රික්ක වලදී මහජනතාවට මේ කමිටුව හමුවේ සිය අදහස් දැක්වීමට අවස්ථාව දෙනු ලැබිණ. එහෙත් රටෙහි සෙසු ජනපිරිස් වලට වඩා ආන්තික හා අනවබෝධ ජන පිරිසක් ලෙස සැළකීමට හේතු ඇති වතුකරයේ දෙමළ ජනතාවගේ අදහස් නියෝජනය වීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් එම හමුවලදී ලැබී ඇති දැයි යන්න සැක සහිතය. හේතුව බහුතර වතු ආශි්‍රත ජනයා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙමින් පවතින බව තබා ව්‍යවස්ථාවකින් ඇති ප්‍රයෝජනය පිළිබඳවත් ප්‍රමාණවත් අවබෝධයක් නොමැති පිරිසක් බව පැහැදිලි වන හෙයිනි. මේ තෝරාගත් නිදසුන් වලින් පැහැදිලි වන්නේ එයයි.

එන්. ජෙයරාජ්

ඔහු හපුතලේ දඹේතැන්න වත්තේ සුවිසල් තේ කර්මාන්ත ශාලාවේ මුරකරුවාය. අවුරුදු 25 ක් තිස්සේ ජෙයරාජ්ගේ දවස ගෙවෙන්නේ කම්හල මුර කිරීමට, ඉහළ නිලධාරින්ට සහයවීමට හා නැරඹීමට එන සංචාරකයින් විමසීම් කවුන්ටරය වෙත යොමුකිරීමට ආදී කාර්යන් සඳහා වෙහෙස වෙමිනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙමින් පවතින බව දන්නේදැයි විමසූ කළ ඔහු ලබාදුන් ප්‍රතිචාරය බොහෝ වතුකර ජනයාගේ අවබෝධය පෙන්වන සුලූය.
—මේ රටට අලූතෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදමින් ඉන්නවා කියලා මම නම් දන්නෙ නෑ. රූපවාහිනිය බලන නිසා මං දන්නවා අලූතෙන් ආණ්ඩුවක් ආවා. අලූත් ජනාධිපති කෙනෙක් පත් වුණා කියලා. ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලත් මම දන්නෙ නෑ.˜

ජෙයරාජ්ගේ මේ පිළිතුර නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රට පාලනය කරන මූලික නීතිය බවත් වෙනස් කරන්නට උත්සාහ ගන්නේ එය බවත් අපි පැහැදලි කළෙමු.

“එහෙම අලූතෙන් හදනවා නම් අපි වෙනුවෙන් කරන්න දේවල් තියෙනවා. වත්තෙ මිනිස්සු මේ තේ ගස් එක්ක හැප්පිලා ජීවත් වෙන්නෙ පඩිය සොච්චමයි. අපිට ජීවත් වෙන්න තියෙන පහසුකම් ප්‍රමාණවත් නෑ. අන්න ඒව ගැන නීති හදලා දානවා නම් හොඳයි. වැඩ කරන මිනිස්සු ඉන්නෙ සුද්දා හදපු ලැයිම් වල. දැන් ඒවා කොම්පැනි වලින් හරියට සුද්ද කරන්නෙ නෑ. වතු ආණ්ඩුවට තිබ්බ කාලෙ මිනිස්සුන්ට හොඳයි. කොම්පැනි බලන්නෙ ලාභය විතරයි. අපි ආසයි අපේ ගෙයක ඉඩමක නිදහසේ ජීවත් වෙන්න. අන්න ඒවා තමයි ඔය කියන ව්‍යවස්ථාවෙන් අපි වෙනුවෙන් කරන්න ඕන. හැබැයි ඉතිං ඕවා වතුවලට ඇවිත් අපෙන් නම් මං කියන්නේ අපේ වත්තෙ මිනිස්සුන්ගෙන් නම් ඇහුවෙ නෑ.˜

ශිව කාර්තික්.

තරුණයෙකු වන ශිව කාර්තික් වතුකරයේ තැපැල් සේවකයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමින් හඳුන්වන ලියවිල්ලකින් රට පාලනය කෙරෙන බව ඔහු දනියි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් වෙනසක් සිදු කිරීමට හෝ අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට උත්සාහ ගනිමින් පවතින බවද ඔහුට රූපවාහිනියෙන් අසන්නට ලැබී ඇත. එහෙත් ඒ වෙනුවෙන් මහජන අදහස් විමසූ බව නොදන්නා ඔහු තමන් වැනි පුරවැසියන්ගේ අදහස් වලට කිසියම්ම හෝ ඉඩක් ලබා දෙන්නට උත්සාහ කළ බවද නොදනී. කාර්තික් පවසන්නේ කිසිවෙකු අදහස් විමසීම සඳහා වතු කම්කරු ජනයා මුණ ගැසුණේද යන්න තමන් නොදන්නා බවයි.

“මගේ අදහස දැන් හරි කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යමක් එකතු කරන කොට මුලින්ම බලන්න ඕන මිනිස්සුන්ට ඕන මොනවද, එපා මොනවද කියලා. මං දන්නෙ නෑ මේ අලූත් එකේ තියෙන්නෙ මොනවද කියලා. හැබැයි මිනිස්සුන්ට සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙන තත්ත්වයක් ඇති වෙන්න ඕන. පොලීසියේදී හෙම ලොකු අයට එක විදියක් පොඩි අයට එක විදියක් වෙන්න බෑ. අපි දකිනවා දැන් තත්ත්වය නරකයි කියලා. රැකියා එහෙම හැමෝටම එක වගේ ලැඛෙන්න ඕන. දේශපාලන අයිතිවාසිකම්, අධ්‍යාපනය වතුකරයට සමානව ලැඛෙන්න ඕන. මේ මිනිස්සුන්ගේ ජීවිතය වත්තටම සින්න වෙලා. ලංකාවෙ නීතිය බලන්න පොඩි මිනිහට කිසිම සාධාරණයක් නෑ.˜

සිව පෙරුමාල්

43 හැවිරිදි සිව පෙරුමාල් උපන්දා සිට පිටරත්මලේ වත්තේ ජීවත් වන්නෙකි. මේ වනවිට ඔහු තේ දලූ නෙලන්නෙක් ලෙස ජීවිකාව ගෙන යයි.

“රට පාලනය වෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා එකකින් බව මං දන්නෙ නෑ. මට මාසෙට හම්බ වෙන්නෙ හත් අට දාහයි. කෑම කන්න ළමයි ඉස්කෝලෙ යවන්න තියෙන ප්‍රශ්න ගැන විතරයි මං කල්පනා කරන්නෙ. අලූතෙන් ව්‍යවස්ථාවක් කියලා එකක් හදනවා නම් අපි ගැන කල්පනා කරලා කරන්න ඕන බඩු මිළ, අපේ පඩි ගැන මොකක් හරි සාධාරණයක් ඇති කරන එක. අපිට ඉන්න ඉඩම් වලට ඔප්පු දෙනවා කව්වට තවම ඒක වුණේ නෑ. නීතිය වගේ දේවල් අයිතිවාසිකම් බලන කොට රටේ අනෙක් මිනිස්සුන්ට තරම් අයිතියක් වත්තෙ ඉන්න අපිට නෑ වගේ දැනෙනවා. අපි ඉන්නෙ පහළම. ඒ ගැනත් බලනවා නම් හොඳයි. අපෙන් මේවා ගැන කුවුරුවත් ඇහුවද කියලා මම දන්නෙ නෑ. ඒත් එක්කම ඇහුවට වැඩක් වෙයිද˜