ශ්‍රී ලාංකීය ජනතාව සාමයෙන් හා සමඟියෙන් ඇද බැඳ තැබිය හැකි ජාති,ආගම්,වර්ග ‍හෝ සමාජ පසුබිම පිළිබඳ කිසිදු භේදයක් නොසැලකෙන්නාවූ නව ව්‍යවස්ථාක අවශ්‍යතාව මෙරට ජනතාවට දැනී තිබුණේ දශක ගණනාවකට ඉහත සිටය.පසුගිය ජනපතිවරණය සමයේදී රටට ගැලපෙන නව ව්‍යවස්ථාක් සකස් කරන බවට පොදු අපේක්ෂක හා ඔහු වටා ගොනුවූ පක්ෂ නායකයින්ද සිවිල් සංවිධානද ජනතාවට පොරොන්දුවක් ලබාදුන් අතර දීර්ඝ ක්‍රියාවලිවක ප්‍රතිපලයක් ලෙස දැන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන යෝජනාව අගමැතිවරයා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මස 09 දිනය.පාර්ලිමේන්තුව විසින් එම යෝජනාව ඒකඡන්දයෙන් සම්මත කිරීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්ථනය විය.එම කටයුත්ත සිදුව වසර එකහමාරකට ආසන්න කාලයකට පසු දැන් අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර මෙය යළිත් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීද සාකච්ඡාවට බඳුන්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන මට්ටම දක්වා පැමිණිය යුත්තේ සමස්ථය සම්බන්ධව අති බහුතරයකගේ පොදු එකඟතාවක් ඇතිකර ගැනීම තුළය.ඒ සඳහා අතුරු වාර්තාවේ ඇති කරුණු සාමාන්‍යය ජනතාව අතරට ගෙන යමින් ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කොටස් කරුවන් බවට පත්කර ගැනීම අතිශයින් වැදගත්ය.මෙහිදී මෙරට විද්‍යුත්,මුද්‍රිත මාධ්‍යය මෙන්ම සමාජ ජාලා මාධ්‍යය වලටද සුවිශාල කාර්යභාරයක් පැවරෙයි.

ජනතාවගේ අවශ්‍යතාවයක්

ශ්‍රී ලංකාවට නව නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් අවශ්‍යය බව පිළිගෙන එවැනි ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස කටයුතු කරන බව පිළිගෙන තිබේ. පාර්ලිමේන්තුවේ කතානායක වරයා ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයාය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන විසි එක් දෙනකු ගෙන් යුත් මෙහෙයුම් කමිටුවේ සභාපති වූයේ අගමැතිවරයායි.ව්‍යවස්ථායක සභාව යටතේ අනු කමිටු හයක් ක්‍රියාත්මක විය.මූලික අයිතිවාසිකම්,අධිකරණ පද්ධතිය,නීතිය හා සාමය,රාජ්‍යය මූල්‍යය,රාජ්‍යය සේවය, මධ්‍ය පර්යන්ත සබඳතා ලෙස ඒම කමිටු බෙදී ගොස් තිබූ අතර එවා මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් සකස් කිරීම සඳහා සාමාන්‍යය ජනතාව,සිවිල් සංවිධාන,විද්වතුන් ඇතුළු නොයෙක් සංවිධාන මගින් ලබාදුන් යෝජනා හා අදහස් වෙන් වෙන් වශයෙන් ගෙන සමාලෝචනය කරනු ලැබීය.පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂ වල නියෝජිතයින් මෙම කමිටු වල සාමාජිකයින් ලෙස කටයුතු කළ අතර රාජ්‍යය හා මූල්‍යය කමිටුවේ සභාපතිවරයා වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝනය කරන බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයායි.ඔහු සභාපතීත්වය දැරූ කමිටුව මගින්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව සඳහා වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබේ.එහෙත් අවාසනව නම් එකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු මෙම කමිටු වල නියෝජිතයන් ලෙස කටයුතු කරමින් සිදුවන ක්‍රියාවලිය සම්බන්ධව වැරදි චිත්‍රයක් රටට පෙන්වීමට උත්සහ කිරීමය.

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් කිරීම සඳහා සමස්ත පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කිරීමට සියලු මන්ත්‍රීවරු කැමැත්ත පල කිරීම නිසා එය සම්මත වූයේ ඒකච්ඡන්දයෙනි.විමල් වීරවංශ මහතාද මෙය සම්මත කිරීමේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි නමුත් ඔහු පර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කරන්නේ ඊට හාස්පසින් වෙනස්වූ ස්වරූපකකයිනි.මොවුන් මෙවැනි දෙබිඩි චරිත රඟපෑම තුළින් අපේක්ෂා කරන්නේ පෞද්ගලික දේශපාලන වාසි පමණි.මැතිවරණ ක්‍රමය සංශෝදනය කිරීම,විධායක ජනපති ධූරය අහෝසි කිරීම,බලය බෙදීම යන කරුණු සම්බන්ධව දැන් වඩාත් පුළුල් ලෙස කතා බහට ලක් කළ හැකිය.ශ්‍රී ලංකාවේ ඒකීය භාවය ආරක්ෂා වීමත් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි වීම සම්බන්ධවත් අතුරු වාර්තාව තුළින් සියලු කණ්ඩායම් එකඟතාවකට පැමිණ ඇති බැවින් තව දුරටත් ජාතී බේද හෝ ආගම් වාද මතු කරමින් ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වන ක්‍රියාවලිය අකර්මණ්‍යය කිරීමට කිසිවකුටත් කළ නොහැකිය.

උතූරේත් දකුණේත් එකඟතාවය

අගමැතිවරයා මෙම අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙම කරුණු සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් රටට කළේය.
විධායක ජනපති ධූරය මෙලෙසම පැවැතිය යුතුද නැද්ද යන්න සම්බන්ධව තව දුරටත් සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුව ඇත.ශ්‍රීලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබෙන්නේ රටේම ජනතා කැමැත්ත මත ජනපති ධූරය සඳහා ඡන්දයෙන් කෙනකු පත්කර ගැනීම සුදුසු බවයි.අගමැතිවරයා පත්කර ගැනීම සඳහා වෙස්ට්මිනිස්ටර් ආකෘතිය යොදාගත යුතු බවද එම පක්ෂයේ අදහසයි.දෙමළ ජනතාව‍ගේ අදහස් නිසි ලෙස සිංහල නායකයින් පිළි නොගැනීම නිසා රට ලේ ගංගාවක් බව‍ට පත්වූ බව ඩග්ලස් දේවානන්ද මහතා අතුරු වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ කතාවක් කරමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.දෙමළ සන්ධානය වෙනුවෙන් ආර්.සම්බන්ධන් මහතාද කරුණු දක්වා තිබිණි.මේ අකාරයට ජනතාවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂත් සම්බන්ධ කර ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාක් මෙරට සකස් කරනු ලබන්නේ ප්‍රථම වතාවටය.මෙයට ප්‍රථම නිදහස් ශ්‍රී ලංකාවේ සම්මතවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම ඒ වනවි‍ට බලයේ සිටි පක්ෂයේ හෝ පක්ෂවල අවශ්‍යතාව මත සකස් කළ ඒවාය.

ජනතාවදී ව්‍යවස්ථාවක්

මේ නිසා එම ව්‍යස්ථා සියලු ශ්‍රී ලංකිකයින්ට පොදු නොවූ ව්‍යවස්ථාවන් බවට පත් විය.එහි ප්‍රතිපලය වූයේ සංශෝධන පිට සංශෝධන ගෙන එමින් රටේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට සිදු වීමය.මෙම අණ්ඩ දැමීමෙන් එක් ප්‍රශ්නයක් යටපත් වන විට තවත් ප්‍රශ්නයක් මතුවන තත්ත්වයක් දක්නට ලැබුණු අතර නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව බරපතල ලෙස පැන නැඟීමට එය ප්‍රධානතම හේතුවක් විය.

රට බෙදන,බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය වෙනුවට සියලු ආගම් වලට සම තැන දෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවට විපක්ෂයේ ඇතැම් පිරිස් කළ ප්‍රකාශ දැන් පුස්සක් බවට පත්ව ති‍බේ.ඇමරිකාවට අවශ්‍යය ලෙස නව ව්‍යවස්ථාව සකස් කර අවසන් බවත් එය සම්මත කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් තවත් මන්ත්‍රීවරයකු පසුගියදා පැවසුවේය.මේවා කිසිදු පදනමක් නොමැතිව මුළුමනින්ම ජනතාව නොමඟ යැවීම සඳහා කරනු ලබන ප්‍රකාශ බව දැන් තේරුම් ගැනීමට පුළුවන.අනුකමිටු දුන් යෝජනා අනුව සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඊට ඇතුළත් විය යුතු බවට යෝජනාවූ කරුණු සම්බනධව පැවැති එකඟතා,විරෝධතා,මතබේදයට තුඩුදුන් කරුණු හා විකල්ප යෝජනාද අන්තර්ගතය.

පොදු ජන වගකීම

මෙය හොඳින් අධ්‍යන්‍යය කර අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම මහජනතාවගේ වගකීමකි.රජය ඒ සඳහා අවකාශ සලසා තිබියදී ඉන් උපරිම ප්‍රායෝජන ගැනීම ජනතාවගේද වගකීමකි.මෙය රටේ අභිවෘද්ධිය පිණිස සකස් කරන්නාවූ ව්‍යවස්ථාවක් ලෙස සිතා කටයුතු කිරීම සෑම පුරවැසියකුගේම යුතුකමකි. මේ නිසා තමන්ගේ වගකීම උපරිමයෙන් ඉ‍ටු කිරීම පුරවැසි වගකීමකි.

‍මහජනතාවට තම යෝජනා හා අදහස් අතිරේක ලේකම්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණය ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය.එම කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් සැලකිල්ලට ගත්තේද යන්න පිළිබඳව පසුවිපරමක් කිරීමේ හැකියාවද ජනතාවට ලබේ.යළිත් මහජනතාව අතරට ගොස් අදහස් වීමසීමක් නොකෙරෛන බැවින් ජනතාව මෙහිදී සක්‍රීය දායකත්වයක් ලබා දීමට උනන්දු වීම වැදගත්ය.දිස්ත්‍රික් හා ආසන මට්ටමින් ගමින් ගමට ගොස් ව්‍යවස්ථා මණ්ඩල කමිටු වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත බැවින් ජනතාවගේ උනන්දුව මේ සම්බන්ධව ඉදිරියේදී තවත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

වාසියට කරන වැඩ

හිටපු ජනපතිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය නොමැති ගානට කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන වාසි සඳහාය.ඒ වෙනුවෙන් ඔහු ඇතුළු කණ්ඩායමක් ජාති හා ආගම් වාදය පතුරවමින් සිටිති.තමන් 2005 දී හා 2010 ජනපතිවරණ දෙකේදීම විධායක ජනපති ධූරය අ‍හෝසි කරමින් ව්‍යවස්වේ වෙනසක් සිදුකරන බවට ජනතාවට පොරොන්දු දුන් බව අද ඔහුට අමතක වීම පුදුමයකි.බලයට පැමිණි පසු ඔහු කළේ තව තවත් විධායක ජනපති ධූරය ශක්තිමත් කරමින් තම බලය අඛණ්ඩව තබා ගැනීමට 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය.

රටේ ඒකීය භාවය හා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවීම යන කරුණු සම්බන්ධව දෙමළ සන්ධානය ඇතුළු සියලු පක්ෂ ගැටලුවකින් තොරව එකඟතාවන්ට එළඹ තිබෙන බව අතුරු වාර්තාව අධ්‍යන්‍යය කිරීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබේ.මෙම කරුණු විකෘති කර ජනතාව නොමග යැවීම පිණිස පිරිසක් කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම බලය පිළිබඳ උමතුවෙන් මිස රට ගැන හැඟීමකින් නොවන බව අප තේරුම් ගැනීම වැදගත්ය.රට ගැන නොසිතා බලය පිළිබඳව පමණක් සිතන දේශපාලන සංස්කෘතියක් පවතිත්දී ජනතාව ජාති,පක්ෂ හා ආගම් බේදයෙන් තොරව එක‍ට එකතු කර එක් ගමනක් යෑම අසීරුය.මෙවැනි කුහක දේශපාලන සංස්කෘතියක් මතුවීම සඳහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ප්‍රතිපාදන සපයා තිබේ.මෙය වෙනස් කර ගැනීම තුළින් යහපත්වූ දේශපාලන ගමනකට මාර්ගය සැලසෙන බව දන්නා බල ලෝභි දේශපාලනඥයින් කිහිප දෙනකු මෙම වැඩිපිළිවෙළ අවුල් කිරීමට පියවර ගනිමින් සිටිති.ඊට ඇතැම් භික්ෂූන් වහන්සේගේද සහය ලැබී තිබීම ඇත්තෙන්ම කණගා‍ටුවට කරුණකි.

යහපත් පාර්ලිමේන්තුවක් සකස් වීම සඳහා පවතින මැතිවරණ ක්‍රමයේ වෙනසක් අත්‍යවශ්‍යය.එම වෙනස සඳහා යෝජනා මෙහෙයුම් කමිටු වාර්තාවේ පැහැදිලිව දක්වා තිබේ.මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම පිණිස සියලු පක්ෂ එකඟතාව පලකර ඇත.පවතින මනාප ඡන්ද ක්‍රමය යටතේ ධන බලය හා මැර බලය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවට පැමිණි පිරිස් අද පාර්ලිමේන්තුවේ ගෞරවය සම්පූර්ණයෙන්ම බිඳ දමමින් සිටිති.සාකච්ඡා,මතවාද ඔස්සේ එකඟතාවන්ට එනු වෙනුවට අද බොහෝ විට සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුව තුළ කුණු හරුප කියමින් ගහමරා ගැනීමට උත්සය කිරීමය.

පාර්ලිමේන්තුවේ තත්වය

අද පාර්ලිමේන්තුව තුළ වැදගත් සංවාද වෙනුවට ඇත්තේ සටන් පාඨ කියමින් එකිනෙකාට අපහාස කිරීම්ය.මැතිවරණ ක්‍රමය සම්බන්ධ නව යෝජන ඇතුළත්ව නව ආණඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් මෙම තත්ත්වය අහෝසිවී ගොස් ජනතාවට වග කියන මන්ත්‍රීවරු බිහිවනු ඇත.පනහ,හැට හා හැත්තෑව දශකයන්හි දක්නට ලැබුණු විද්වත් පාර්ලිමේනතුවක අසිරිය මෙරට ජනතාවට යළිත් දකින්නට එමඟින් මඟ පෑදෙනු නොඅනුමානය.

සිංහල දේශපාලඥයින් බොහෝ දෙනකු අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ මතය උතුරේ ජනතාවට එම දේශපාලනඥයින් විසින් පැවසිය යුතු බවයි.එය වැරදිය.ඔවුන් නියෝජනය කරන්නේ උතුරේ ජනතාව බව අප අමතක නොකළ යුතුය.අපේ මතය බලහත්කාරයෙන් ඔවුන් මත පැටවිය නොහැකිය.සම්බන්ධන් මහතා පාර්ලිමේනතුවට මෙහෙයුම් කමිටු වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ පැවසුවේ බලය බෙදා එකම රටක ජීවත් වෙමු යන්නයි.මෙය වැරදි කොනින් අල්ලා නොගත යුතුය.ඔවුන්ටද අවශ්‍යයව ඇත්තේ නොබෙදුණු රටක් තුළ එකට ජීවත් වීමටය.ඔවුන් අපෙන් ඈත් කරන්නට උත්සහ කරන්නේ බල ලෝභී දේශපාලනය කර පින්නා ගත් දේශපාලනඥයින් කිහිප දෙනකි. ඔවුන්ගේ සහයට භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද එකතුවී සිටිති.මෙහෙයුම් කමිටු වාර්තාව සාකච්ඡාවට බඳුන් වීමෙන් පසු පොදු එකඟතාවන් ඔස්සේ සකස් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මතවී අවසානයේ ජනමත විචාරණයකට යායුතුය.එවැනි පරිච්ඡේද ගණනාවක් පසුකර මේ රටේ සියලු පුරවැසියන්ට බලපාන්නාවූ මූලික නීතිය අඩංගු ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වන අතර එ‍තෙක් කොරහේ කිඹුල්ලු දකින්නට උත්සහ නොකර සිටීම වැදගත්ය.