“මේ රටේ නීතියක් කියල එකක් තියනවද ?…එහෙම තියනවා නම් අපිට අද මෙහෙම වෙයිද ? අද අපිට බොන්න වතුර ටිකක් නැහැ . අපේ ළින් හිදිලා .. ඇයි අපිට මෙහෙම වූනේ.. ප්‍රශ්න වැලක් ..” මේ ප්‍රශ්නාවලිය මට යොමු කලේ , හිරුෂ ඩිල්ෂාන් . දහාහතර හැවිරිදි හිරුෂ ඩිල්ෂාන් මට මුලින්ම හමු වුනේ පන්නල සදලංකාව ප්‍රදේශයේ පැවති උද්ගෝෂණයකදියි.

තම ප්‍රදේශයේ භූගත ජලය ආරක්ෂාකර දෙන ලෙස ඉල්ලමින් පැවති මේ උද්ගොෂණයේදී වැඩිහිටියන් සමග හරි ,හරියට සටන් පාධ කියමින් තම අයිතිය වෙනුවෙන් පෙනී සිටි හිරුෂ ඩිල්ෂාන්ගේ වටිනාකම ගමේ ජනතාවට අවබෝධ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

“කවුද කතා කරන්නේ ? ..මට ප්‍රමාද වෙන්න බැහැ …” මගේ ඉල්ලීමට ගමේ වැඩිහිටියන් ඉදිරියට එනු වෙනුවට, නිශ්ශබ්දව පිටුපසට ගමන් කරද්දී කුඩා හිරුෂ ඉදිරියට පැමිණ කලේ, මගෙන් ප්‍රශ්න කිරීමයි .

“අල්ලපු ගෙදර මාමා, දැනට අවුරුදු දෙකකට පමණ පෙර ඉදල භූගත නළ හයක් ගහලා වතුර උඩට ඇදලා විකුණනවා. මේ නළ හයෙන් වතුර උඩට අදිද්දී අපේ ළිං ටික හිදිලා යනවා . අපිට බොන්න වතුර කදුලක්වත් ඉතුරු වෙන්නේ නැහැ .”

හිරුෂ කියා ගෙන ,කියාගෙන ගිය දේ මට අවබෝධ වීමට වැඩි වෙලාවක් ගත වුනේ නැහැ . හිරුෂගෙන් තවත් ප්‍රශ්නයක් මා වෙත යොමු වීමට පෙර මම හිරුෂ ගෙන් ප්‍රශ්න කළා. “ඇයි මේ ගැන බලධාරීනට කිව්වේ නැද්ද ? ”

“පසුගිය අවුරුදු දෙක තිස්සෙම කිව්වා තමයි, එත් ඵලක් උනේ නැහැ. ඒ අය කියනවා, තියන නීතිරීති මදියිලු, මේ ගැටලුවට විසදුම් දෙන්න . පන්නල ප්‍රාදේශීය සභාවට කිව්වා . පන්නල පොලිසියේ පැමිණිලි දාලා ඇති සියක් විතර. ගමේ ඉන්න ඇමතිලා දෙන්නටම කිව්වා . එක්කෙනෙක් ජයවික්‍රම මහත්තය .අනෙක් කෙනා අනුර ප්‍රියදර්ශන මහත්තය . අනුර මහත්තයා මේ රටේ ඉන්න අපදා කළමනාකරණ ඇමතිවරයා .වතුර නැතිව අපි ආපදාවට ලක් වෙලා ඉද්දි , අනුර මහත්තයට පුළුවන් උනේ නැහැ අපි වෙනුවෙන් යමක් කරන්න ? මේ දෙන්නත් කියන්නේ නීතිරීති මදි කියල. අපේ ගමේ වතුර නඩු කීපයක්ම කුලියාපිටිය අධිකරණයේ තියනවා. අපේ ගමේ, ගීතා නැන්දා, මානව හිමිකම් කොමිසමටත් ගියා . ඒ කියන්නේ රටේ යන්න තියන හැම තැනකටම අපි ගිහින් ඉවරයි . නමුත් අපිට සාධාරණයක් උනාද ?… ඇයි එහෙම වූනේ ? …..”

හිරුෂට මම යොමු කලේ එක් ප්‍රශ්නයක් . නමුත් හිරුෂ මට යොමු කලේ ප්‍රශ්න වැළක් .

හිරුෂ මා වෙත හැරී නැවතත් මෙහෙම කිව්වා. “ඔයාටත් මේවට උත්තර නැහැ නේද ? .. දැන් බලන්න ..අද හරි, හෙට හරි අපේ ගමේ මාමල නැන්දලා කීප දෙනෙක්ම පොලිසියෙන් අල්ලන් යනවා . දැන් කීප පාරක්ම ආව ,අපි හැන්ගුනා . මේ පොඩි මටත් පොලිසියට එන්න කියලා තියනවා . අපේ ගෙදරටත් පොලිසියෙන් ආව , මාව හොයල. මොකද්ද මම කරපු වැරැද්ද . වතුර ඉල්ලලා උද්ගෝෂණ කල එක . වෙන වැරැද්දක් මම කලේ නැහැ . මට අයිතියක් නැද්ද මගේ මුලික අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න.”

පුංචි වූනත් හිරුෂගෙන් නික්මෙන වචනවල තිබුනේ ගැඹූරූ අර්ථයක්.

“වතුර විකුණන මාමා මේ ජාවාරම කරන්නේ වටෙටම සි.සි.ටි.වී. කැමරා හයි කර ගෙන . එයා කරන්නේ, පාරේ යද්දී අපේ ගමේ අයට බනින එක . එහෙම කළාම ගමේ අයත් බනිනවා . එතකොට මෙයා කැමරාවලින් ගත්තු වීඩියෝ අරගෙන පොලිසියට යනවා , ඒ ගිහින් ගමේ අය බනින එක විතරක් පොලිසියට දෙනවා .පොලිසියත් හැරෙන තැපෑලෙන් ගමට එනවා .ඇවිල්ල ගමේ මනුස්සයන්ට පොලිසියට එන්න කියනවා නැත්නම් අරන් යනවා . මෙයා කියන්නේ සතියට දෙන්නෙක් වාරියපොළ යවනවා කියල .ඒ කියන්නේ හිරේට , හිරේට යන මිනිස්සු තීරණය කරන්නේ මේ වතුර විකුණන මාමා තමයි . ඉතින් මේ රටේ නීතියක් තියනවද ?…”

ඔහුගේ අන්තිම වචන ඊතලමෙන් පැමිණ මගේ හදවත පාසරූ කළා..

“මිට ඉස්සරලත් ගොඩක් වාර්තාකාර මහත්තුරු ආව . නමුත් ඒවා මාධ්‍ය වල ප්‍රචාරය වෙනවා නම් අපි දැක්කේ නැහැ”

“මහත්තයෝ ඔය ළමය කියන ඒවා ගණන් ගන්න එපා .. එයා දුකට කියන කතා . ඔය .. මොකද ඔය ළමය වතුර නැති නිසා ඉස්කෝලේ නොගිය දවස් අනන්තයි .” මා අස්වසන්නට ඉදිරිපත් වුනේ කොරලේවත්ත පදිංචිකාරිකාරිනියක් වන ගීතානි ධම්මිකායි .

“පන්නල ප්‍රාදේශීය සභා සිමාවේ මේ වෙන කොට වතුර විකුණන ස්ථාන විසි දෙකක් විතර තියනවා . මේ එක තැනක නළ හය, හත ගහල තියනවා . මේවට කිසිම නීතියක් නැහැ. අපි පහුගිය අවුරුදු දෙකට උද්ගෝෂණ කියක් නම් කෙරුවද ,නමුත් ඇහුණ කෙනෙක්වත් ,දැනුන කෙනෙක්වත් හිටියේ නැහැ .අපි අන්තිමට කරපු උද්ගොෂණයට නායකත්වය දුන්නු පුද්ගලයාවත් අභිරහස් විදිහට මරලා දැම්ම . අපේ සැකේ තියෙන්නේ මේ මරණෙටත් ප්‍රධාන හේතුව වතුර කියල .මොකද මේ මැරුණු කෙනා අපේ ගමේ වතුර විකිණීම කොහොම හරි නවත්වනවා කියල අන්තිම උද්ගෝෂණයෙදී දිව්රලා පොරොන්දු වුණා. මේ හැම දෙකින්ම කියන්නේ වතුර සම්බන්ධයෙන් තියන නීතිරීතිවල ලිහිල් කම. ”

“වතුර කියන්නේ මනුස්සයාගේ මුලික ම අවශ්‍යතාවය .වතුර නැත්නම් මිනිසාගේ පැවැත්ම එතනින්ම නවතිනවා . වතුර සම්බන්ධයෙන් තියන නීතිරීති රටේ මුලික නීතියට ඇතුල් කරන්න ඕනෑ කියල තමයි මගේ අදහස . ”

ගිතානිගේ කතාව නිම වෙනවාත් සමග හඩ අවදි කළ වැටකෙයාව පදිංචි රත්න ජයතිලක, ගිතානිගේ කතාවට එකතු කළේ ලොකු ගැඹුරක්.

” මේ වෙනකොට රටේ අලුතින් ව්‍යවස්ථාවක් හැදෙන්න යනවා හැබැයි අපි දැනුවත් වුනේ මේ ළගදි , අපිටත් මේකට යෝජනා දෙන්න පුළුවන් කියල . නමුත් ඒකට නියමිත කාලේ ඉවරයි නේ . ඒ නිසා අපිට එකටත් අවස්ථාවක් නැහැ .නමුත් අපි හිතනවා මේකට ඇතුල් වෙලා ඇති කියල ජල කළමනාකරණය ගැන . විශේෂයෙන්ම මහා පරිමාණයෙන් භූගත ජලය විකිණීම ගැන . ඒ වගේම නියං තත්වයකදී ජලය කළමනාකරණය කිරීම ගැන . අලුතෙන් ව්‍යවස්ථාව හදනවනම් මේ ගැන බලධාරීන්ගේ අවධානය ලක් විය යුතුමයි.මේ ගැන හොයල බලන්න නීති සකස් කරන්න ජල කළමනාකරණ ඇමතිවරයට වගේම අපේ ප්‍රදේශයේ ඉන්න අපදා කළමනාකරණ අමාත්‍යවරයාටත් යුතුකමක් තියනවා .”

ලංකාවේ ජල කළමනාකරණය පිලිබදව තියෙන්නේ අවම නීතියක් .මේ නිසා ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් තමන්ගේ වත්තේ නළ ළිදක් ගහගෙන ඕනෑ තරම් ජලය ගන්න “..මේකෙන් ඉඩෝරේ කාලෙට ලොකු ගැටළු ඇති වෙනවා . මේ නළලින් වලට අහල පහල තියන ජලය සියල්ල ඇදල ගන්නවා . ” මෙහෙම කිව්වේ අනුර ප්‍රයදර්ශන යාපා අපදා කළමනාකරණ අමාත්‍යවරයා .

වෟත්තීයෙන් ලිං පිරිසිදු කරන්නෙක් වන ජේ. ඒ. සිරිවර්ධන මේ කතාවේ කතා නායකයා කිව්වොත් නිවැරදියි .ඒ නිසාම ඔහු හමුවන්නට ගිය මට ඔහුගෙන් ලැබුනේ මෙවන් ප්‍රතිචාරයක් .

“මම වතුර මුදලට විකුනන්නේ නැහැ. මම මේ වැඩේ කරන්නේ පිං තකා . මේ වතුර නොමිලේ දෙන්නේ . බලපත්‍ර ඕනැ වතුර අලවි කරන්නනේ. ”

මා එතනට යනවිටත් බවුසර් කීපයක් හා වතුර ටැංකි පටවා ගත් රථ කීපයක් නවතා තිබුනා ., වතුර ලබා ගත් කීප දෙනෙක් මුදල් ලබා දෙනවාත් මට පෙනුනා . මේ වෙන කොට ගමේ සැහෙන පිරිසක් මේ ස්ථානයේ එක්රැස් වෙලා හිටියා . විනාඩි පහක් දහයක් ඇතුලත ගම්වැසියෝ ජල බවුසර්වලට පිටව යා නොහැකි පරිදි දැක්වුයේ ලොකු විරෝධතාවයක්. මෙහිදී විනාඩි කීපයක් ඇතුලත පන්නල පොලිසියේ නිලධාරීන් මේ ස්ථානයට ලගා වුණා.
පන්නල පොලිස් නිලධාරීනට ජනතාවගෙන් ලැබුනේ මෙවන් ප්‍රතිචාරයක් .

“නිතිය ඉටු කරන්න , අපිට අයින් වෙන්න කියල වැඩක් නැහැ . අද අපි අයින් වෙන්නේ නැහැ . කෝ වතුර විකුනන්න බලපත්‍ර .”

ජනතාව ට අලුත් ජවයක් ලෑබී තිබුනේ මගේ කැමරා කාචයයි.

“සර් අද නම් මේ අය අයින් කරන්න බැහැ .සර් ට එන්න වෙයි . පොලිස් සැරයන්වරයෙකු ලබා දුන් ඇමතුමකින් විනාඩි කීපයකින් පැමිණි පන්නල පොලිස් ස්ථානාධිපතිවරයා , තමුන් කවුද ? මෙතන මොනවාද කරන්නේ .විමසුවේ මගෙන් . නිතිය ඉටු කරන්නේ නැහැ කියල ජනතාව කිව්වට රාජ්‍ය නිලධාරියෙකු හැල්ලුවට ලක් කිරීම නොකළ යුතු බැවින් මා කවුදැයි යන්න ඔහුට පැහැදිලි කලේ මගේ නිළ හැදුනුම් පතද පෙන්වමින් . ”

පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඊලග නියෝගය ජනතාවටයි . “අයින් වෙන්න, අයින් වෙන්න, නැත්නම් ඔක්කෝටම යන්න වෙන්නේ වාරියපොළ තමයි.” වාරියපොළ ලෙස ඔහු හැදින්වුයේ හිරගේදරයි .

“අද අපි යන්නේ නැහැ. අපිව මැරුවත් අපිට යන්න බැහැ . මොකද අපිට ජිවත් වෙන්න වතුර නැහැ.” පොලිස් ස්ථානාධිපතිවරයාට ජනතාවගෙන් ලැබුනේ එවන් පිළිතුරක් .

“ඇයි මේ අය මොකද්ද කරන වැරැද්ද ?” මම පොලිස් ස්ථානාධිපතිවරයාගේන් විමසා සිටියදී ඊට පිළිතුරක් ඔහුට නොතිබුන අතර , මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීනට නියෝග කලේ වහාම ජලය විකුනන පුද්ගලයා හා ජලය ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් පොලිසියට රැගෙන යන්න කියලයි ..

මේ තත්වය ජනතා ජයග්‍රහණයක් ලෙස ප්‍රදේශයේ ජනතාව හදුන්වා දුන්නත් එය සිමා වුනේ එක දවසකටයි. පසුවදා සිටම සුපුරුදු ජල සෙල්ලම නැවත පටන් අරන් තිබුනා .

ශ්‍රී ලංකාවේ ජලය ස්භාවික සම්පතක් විදිහටයි නම් වෙන්නේ. මේ , ජගත් ගුණවර්ධන පරිසරවේදියා ජලය පිළිබද ලංකාවේ පවතින නීතිරීති විග්‍රහය ආරම්භ කළ අයුරුයි.

“මම කැමති නැහැ .ජලය සම්බන්ධව තියන නීතිරීතිවල අඩු ලුහුඩු කම් පෙන්නල දෙන්න ,මොකද ජාවාරම් කාරයෝ මේ අඩු ලුහුඩු කම් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.”

“ඒ කියන්නේ නීතිරීති මදි කියන එකද ? ”

“මම කිවේ, මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ . දැනට පවතින්නේ ස්භාවික සම්පත් ආරක්ෂා කර ගැනීම පිලිබදව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිහත්වන ව්‍යවස්ථාවේ දහාහතරවෙනි අනු ව්‍යවස්ථාවේ සදහන් කරුණු තමයි .මෙහි පැහැදිලිවම කියල තියනවා , ස්භාවික සම්පත් රජය විසින් ප්‍රජාවගේ යහපත සදහා සංරක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම ,සංවර්ධනය කිරීම ට , කටයුතු යෙදිය යුතූයි කියල . ඒ අනුව රජයට හා ඊට අදාළ රජයේ ආයතනවලට විශේෂ යුතුකමක් වගකිමක් තියනවා , ජලය පොදු සම්පතක් ලෙස සලකලා එක පාර්ශවයකට පමණක් අයුතු ලාභ ලැබීමටත් අනෙකුත් පාර්ශවයනට අයතු හිගයක් ඇතිවීම වැළැක්වීමට .
ඒ වගේම භූගත නළලින් නිසා ලොකු පරිසර විනාශයක් සිදු වෙනවා .මේ නිසා වන පළමුවෙනි දේ තමයි ප්‍රදේශයේ භූගත ජලය සිදීම ඒ වගේම එම ජලය ලබා ගෙන ජිවත් වන ජනතාවගේ අවශ්‍යතා වලට ජලය හිගවිමක් සිදු වීම . මේ විදිහට ජලය ලබා ගත්තම නැවත ජලය පිරීමක් වෙන්නේ මන්දගාමීව මේ නිසා පස් තට්ටු වේලි යනවා .විධ්‍යත්මකව පෙන්නලා දී තිබෙනවා මෙලෙස වියලි යන පස් තට්ටු තෙරපීමකට ලක්වෙලා පස් තට්ටු එකිනෙකට තද වීම නිසා ඊලග අවස්ථාවේ ප්‍රතිස්ථාපනය වීමේ ඉඩ කඩ අඩු වෙනවා කියල . මේකෙන් වෙන්නේ දීර්ගකාලීනව ප්‍රදේශයේ තිබෙන ජල සම්පත අඩුවීම .
මේ සියල්ල ගැන හිතල ජලය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ පනවන ලද නිතිරිතිත් අතීතයේ සිට පවතින නීතිත් කාලයට සුදුසු අයුරින් ක්‍රියාත්මක කල යුතයි .”

මේ ප්‍රශ්නය පන්නලට පමණක් සිමාවුවක් නොවේ . ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ දිවුලපිටිය මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ කන්ජුක්කුලිය , මුගුනුවටවන හා දන්කොටුව ආදී ප්‍රදේශවලටත් දැඩිව බලපා තිබෙනවා . මේ නිසා ජනතාව මේ ප්‍රදේශ අත්හැරලා යන්න පවා පෙළඹිලා තියනවා . මේ තත්වය රටේ තවත් ප්‍රදේශ වලත් තියෙන්නත් පුළුවන් . අදාළ බලධාරීනට අචාධාරණය කරන්න වෙන්නේ, අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ කියලයි . ඒ නිසා මේ සියලු තත්වයන් අවබෝධ කර ගනිමින් ඉක්මනින් මේ පිලිබදව පියවරක් ගැනීමට වගකිවයුත්තන්ට යුතුකමක් ඇත .

ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න