පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,මහචාර්ය උපුල් අබේරත්න

මෙරට හයවන විධායක ජනපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා 2015 වසරේ ජනවාරී මස 08 දින පැවැත්වූ මැතිවරණය කරුණු කිහිපයක් හේතුවෙන් ශ්‍රීලංකා ඉතිහාසයේ සුවිශේෂී එකක් බවට පත්වෙයි.බලයේ සිටි විධායක ජනපතිවරයා තම ධූර කාලය තවත් වසර දෙකක කාලයක් ඉදිරියට තිබියදී මැතිවරණයකට ගොස් පරාජය වීම එකකි.මේ ආකාරයට බලයේ සිටි විධායක ජනපතිවරයකු මෙරට ඉතිහාසය තුළ පරාජයට පත්ව නොමැත.ප්‍රතිවාදී අපේක්ෂකයා විධායක ජනපතිවරයා නියෝජනය කළ පක්ෂයේ ලේකම් වරයාව සිට පොදු අපේක්ෂ ලෙස ඉදිරිපත්ව තම පක්ෂයේම සභාපතිවරයා පරාජය කිරීම තවත් එකකි.මේ සියල්ලට වඩා වැදගත් වන්නේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්නට සිවිල් සමාජය පෙර කිසිදු මැතිවරණයකදී නොදැක්වූ ආකාරයේ සක්‍රීය දායකත්වයක් ලබා දීමය.තිස් වරසක් පැවැති ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම ඔස්සේ පැවති ජනප්‍රියත්වය, රාජ්‍යය යාන්ත්‍රණය මෙන්ම මාධ්‍යයද සියතට ගනිමින් විධායක ජනපතිවරයා ගෙන ගිය සටන ජන බලවේග විසින් පරාජය කරනු ලැබුවේ සියල්ලට වඩා නිදහස හා ප්‍රජතන්ත්‍රවාදය වටිනා බව තහවුරු කරමිනි.සමාජ මාධ්‍යය උපරිම අයුරින් එම රජයේ වංචා,දූෂණ වලට එරෙහිව ක්‍රියාත්මක වීම තුළින් අවධිවූ සමාජය මහින්දට ගෙන ආවේ නොසිතූ පරාජයක් වන අතර ඔහු අදද එය පිළිගැනීමට නොහැකි තත්ත්වයෙන් ක්‍රියා කරන ස්වභාවයක් දක්නට ලැබෙයි.

වත්මන් රජය පිහිටු වීම සදහා මූලික අඩිතාලම වැටුණේ මෙම ජනපතිවරණ ජයග්‍රහණයත් සමග පිහිටවූ දින සියයේ ආණ්ඩුව ගත් යහපත් ක්‍රියාමාර්ග වලින් බව අප අමතක නොකළ යුතුය.ඉන්ධන මිල අඩු කරමින් අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ 15 ක මිල අඩු කරමින් ජනතාවට සහන රැසක් ලබා දෙමින් ඇරඹි ආණ්ඩුව 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ගෙන ආ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනපති ධුරයේ අසීමිත බලතල කප්පාදු කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පිණිස බලපාන්නාවූ තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.දිනාගත් නිදහස සුරක්ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තවත් තහවුරු කිරීම පිණිස රජය මගින් ජනතාව බොහෝ දේ අපේක්ෂා කළේ වසර 10 ක් පුරා පැවැති මහින්ද රාජපක්ෂ පාලනය තුළ ඉස්මතුවූ ඒකාධිපතීත්වය ඇතුළු කරුණු ගණනාවක් පිටු දැකීමේ අරමුණිනි.මහින්ද රාජපක්ෂ දේශපාලන ක්‍රියාවලියේ දිගුවක් මෙම රජයෙන් ජනතාව කිසිසේත් අපේක්ෂා නොකරයි.අධිකරණයේ,පොලීසියේ ස්වාධීන්ත්වය පිළිබදව සැක සහිතව බලන්නට කරුණු ඉතිරි කිරීම රජයේ වගකීම නොවන්නේය.යහපාලන ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන මොහොතේ එහි ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුට ඇමැති ධූර අහිමිවී තිබේ.මුදල් ඇමැති ධූරය හොබවමින් සිට පසුව විදේශ ඇමැති ධූරය දැරූ රවී කරුණානායක මහතා ඉල්ලා අස්වී ඇත.අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා ජනපතිවරයා විසින් අමාත්‍යය ධූරවලින් නෙරපා හැරියේ එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම සලකා බලාය.මේ ආණ්ඩුව තුළින් වංචා,දූෂණ,සොරකම් ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවන අතර එසේ සිදුවන්නේ නම් එය ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ඒකරාශීවූ සමාජ බලවේගයන්ට පිටුපා යෑමකි.
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වත්දී ඒ සම්බන්ධයෙන් ජනපති කොමිසමක් පත් කිරීම අගය කළ යුතුය.මහින්ද රාජපක්ෂ යටතේ මෙවැන්නක් කිසි විටෙකත් සිදු නොවන බව ඔහුගේ වසර 10 ක පාලන කාලය විමර්ශනය කිරීමේදී පැහැදිලි වෙයි.සෑම විටම වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලද පිරිස් ආරක්ෂා කිරීම ඔහුගේ ප්‍රතිපත්තියක් බව එම කාලය තුළ පැහැදිලිව පෙනෙන්නට තිබිණි.රවී කරුණානායක වැනි රජයේ ප්‍රබල ඇමැතිවරයකුට පවා චෝදනා එල්ලවූ අවස්ථාවේ ඇමැති ධූරයෙන් ඉවත් වීමට සිදුවූ අතර මහින්ද පාලනය යටතේ මෙවැන්නක් කිසි විටෙකක් සිදු නොවන බව විවාදයකින් තොරව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.අද වන විට ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍යය පසුබිම නිර්මාණයවී තිබේ.එය යහපත් ප්‍රවණතාවකි.ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කරන්නට වෙර දරන කණ්ඩායම් තවමත් රට තුළ දක්නට ලැබෙන මුත් පසුගිය රජය මෙන් ඒම බලවේග පෝෂණය කරන්නට වත්මන් යහපාලන රජය කටයුතු නොකරයි.විවිධවූ දේශපාලනික අරමුණු වෙනුවෙන් ඇතැම් කණ්ඩායම් නැගී සිටින්නට උත්සහ කරන බවක් දක්නට ලැබුණත් ඒවාහි බලපෑම අවමවී ඇත්තේ රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නාවූ ක්‍රියා පිළිවෙත නිසාවෙනි. පසුගිය රජය සමයේ සිදුවූයේ මේ අකාර ජාතිවාදී කණ්ඩායම් රාජ්‍යය අනුග්‍රහය යටතේ පෝෂණය වීමය.
පසුගිය රජයට එල්ලවූ ප්‍රධානතම චෝදනා අතර මූල්‍යය අවභාවිතය සම්බවන්ධ චෝදනාව වඩා ප්‍රබල විය.මහජන මුදල් භාවිතයේදී පාරදෘෂ්‍යය විනිවිද භාවයක් ඇතිව සිදුකළ යුතුය යන්න වත්මන් රජය බලයට ගෙන ඒමට දායකවූ ජන බලවේගයන්ගේ අපේක්ෂාව විය.එය ඒ ලෙසින්ම තහවුරු කිරීම ජනපති අගමැති මෙන්ම රජයේ මැති ඇමැතිවරුන්ගේ වගකීමය.පසුගිය රජයේ ප්‍රබල ඇමැති ධූර හෙබවූ පුද්ගලයින් රැසක් වත්මන් ආණ්ඩුවේද අමාත්‍යය ධූර හොබවති.ඔවුන් 2015 මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීමට දායකවූ ජනතාව දැරූ මතය හා සමපාත මතයක් දැරුවෝ නොවෙති.මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මෙම පිරිස් ආණ්ඩුව හා එකතුවූ අතර යහ පාලන ආණ්ඩුව තුළ නොයෙක් පරස්පරතා නිර්මාණය වීමට මෙම කණ්ඩායමේ ඇතැම් අයගේ මතවාද හේතුවී තිබේ.

විධායක ජනපති ධූරය අහෝසි කළ යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතියේ සිට දැරූ ස්ථාවරයයි.මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මෙම මතයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බැහැරවූ අතර එහිදී සිදුවූයේ මෙහි බලතල තවත් පෝෂණය කරමින් එය ඉදිරියට ගෙන යෑමට පසුබිම සකස් වීමය.ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ විධායක ජනපති ධූරය අහෝසි කරන බවට ප්‍රකාශයක් රටට කළ අතර මේ වන විට එතුමා නියෝජනය කරන පක්ෂය තුළ මෙම මතයට එරෙහි මතයක් පෝෂණය වෙමින් පැවතී.එය පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්ෂක ජයග්‍රහණය කරවීමට ඡන්දය දුන් ජනතාවගේ මතයට එක්තරා ආකාරයකින් පිටු පෑමකි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද කිව යුතුව ඇත්තේ එයමය.අද මේ සඳහා වන ආණ්ඩුවේ වුවමනාව ඉතා පහත අඩියක තිබෙන බව යහපාලන රජයේ මැති ඇමැතිවරුන්ගේ කතා තුළින් පැහැදිලි වෙයි.රටේ සියලු ප්‍රදේශ ආවරණය වනසේ ජනතා අදහස් ලබා ගැනීම අරමුණු කර ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවක් රජය පත්කළේ ජනපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් ඉෂ්ඨ කිරීමටය.රටේ සියලු ජන කොටස් එක් ධජයක් යටතට ගොනුකර සාර්ථක ඉදිරි ගමනක් යෑම සඳහා උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම කෙරෙහි මුලින් තිබූ උනන්දුව ක්‍රමයෙන් හීනව යෑම තුළින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ජනමතය නොතකා හිරිමින් සිටින බව විනා අන් කිසිවක් නොවන්නේය.

මෙරට අධිකරණය පරම පවිත්‍ර ආයතනයක් නොවන්නේය.නීතිපති දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන්ද එම ප්‍රකාශය එලෙසින්ම වලංගුය.රටක නීතිය සැමට සාධාරණ විය යුතුය.සාධාරණ කාලයක් තුළ නඩු අසා තීන්දු ලබා දීමද අතිශයින් වැදගත්ය.යුක්තිය ඉටුවීම සඳහා පවතින ප්‍රමාදයද එක් අකාරයකින් වරදකි.සාධාරණ කාලයක් තුළ නඩු විභාග කර අවසන් කිරීම ජනතාව අපේක්ෂා කරන්නකි.එහෙත් මේවා බලාපොරොත්තු වූ අකාරයට ඉටුව නොමැත. නීතියට අසු නොවෙන ලෙස සොරකම් කිරීම ගැටලුවක් නොමැති බව මහින්ද රාජපක්ෂ පාලනය අනුමත කළ බවක් පැහැදිලිව පෙනෙන්ට තිබේ.නීතිය උල්ලංඝනය කළ බව සාධක සහිතව ඔප්පු නොවන ආකාරයට ඕනෑම පාදඩ හෝ ජඩ වැඩක් කළාට කමක් නැතිය යන මතය එම යුගයේ ස්ථාවර විය.මහින්ද අදද සොරකම් නොකළ බවක් නොකියයි.ඔහු ආඩම්බරයෙන් කියන්නේ පුළුවන් නම් හොරකම් ඔප්පු කරපන් කියායි.සොරකම් කළ බව තහවුරු කරන්නට කිසිදු සාධකයක් ඉතිරි නොකර සොරකම් කිරීමට සැලසුම් සහගත බවක් තිබිය යුතුය.පසුගිය රජය සමයේ සිදුවූ බව කියන බොහෝ වංචා හා දූෂණ ඉතා සැලසුම් සහගතව සිදුකර තිබීම නිසා අද ඒවා ඔප්පු කිරීම පවා රජයට අභියෝගයක් වී තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වීම සැබවින්ම ජනතා ජයග්‍රහණයකි.මෙරට තුළ සිදුවන සංවර්ධන කටයුතු වල මුදල් ඇස්තමේන්තු සම්බන්ධව ජනතාවට ගැටලු තිබේ.ටෙන්ඩර් ලබාදීමේ සිටම මුදල් අවභාවිත වන බව ජනතාවගේ පිළිගැනීමය.මෙම පනත සම්මත වීම සමාජ ප්‍රගමනයට කෙතරම්වූ යහපත් බලපෑමක් සිදු කරන්නේද යන්න පැහැදිලිව අතිවිඳින්නට ලැබෙන්නේ ඉදිරි කාලයේදීය.රජය මෙය සම්මත කිරීම සඳහා කිසියම්වූ ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම අගය කළ යුතුය.මෙරට බලයේ සිටි සෑම රජයකටම නොයෙක් ආකාරයේ වංචා,දූෂණ චෝදනා එල්ල විය.මෙවන් පනතක් සම්මත කිරීමෙන් යහ පාලන රජය කිසියම්වූ පාරදෘෂ්‍යය භාවයකින් කටයුතු කරන්නට උත්සහ කරන බවක් පෙන්නුම් කරයි.අද වනවිට භාෂණ නිදහස සැලකිය යුතු මට්ටමකට රටේ ආරක්ෂා වී තිබේ.පැහැර ගැනීම් හා අතුරුදන් වීම් සම්බන්ධ චෝදනා රජයට ඉදිරිපත් වන්නේ නැත.මෙය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමේ ප්‍රතිපලයකි.

හම්බන්තොට වරාය,මත්තල ගුවන් තොටුපොළ ඉදි කරන්නට පසුගිය රජය සම්ප්‍රදායික නොවන අධික පොළී සහිත මූලාශ්‍ර වලින් ණය ලබා ගෙන තිබේ.එම ණය මෙරට ජනතාව ගෙවිය යුතුය.රටේ දළ දේශීය ආදායමද ඉක්මවා යන ආකාරයේ ණය පොළී වාරික ගෙවීමට තිබියදී ඒවා ගෙවා දැමීම සඳහා නොයෙක් ක්‍රම අනුගමනය කරනන්ට රජයකට සිදුවෙයි.ජනතාව මත බදු නොපටවා සහන ලබා දෙන අතර තුර මෙය සිදු කිරීම අතිශයින් අභියෝගයකි.බලය ගිලිහී ගිය මහින්ද රාජපක්ෂ අද වරාය බදු දීම සම්බන්ධව නොයෙක් ප්‍රකාශ කළත් ඔහු බලයේ සිටියේ නම් මුලින්ම කරන්නේ මෙම වරයා බදු දීම බව කිව යුතුමයි.ඒ හැර වෙනත් විකල්ප තිබේද යන්න ප්‍රශ්නයකි.මහින්ද කරන්නේ මී පැණි සමඟ තවරා ජනතාවට වස කැවීමය.රනිල් එසේ නොවී පවතින තිත්ත ඇත්ත ප්‍රකාශ කරයි.අධික ණය පොළී ලබා ගනිමින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති මගින් ආදායම් ඉපැද්දවිය නොහැකි නම් ඒවා මහජනතාවට බරක් වන ලෙස පවත්වා ගෙන යෑම අනුවණ ක්‍රියාවකි.ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ සම්බන්ධව ජනතාවට නිසි අවබෝධයක් ලබා දීමට ආණ්ඩුව දක්වන අඩු සැලකිල්ල ඒකාබද්ධ විපකෂය වාසියට හරවා ගන්නා අන්දම පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී දක්නට ලැබිණි.හම්බන්තොට වාරයා බදු දීමේ සිද්ධිය එහි ප්‍රමුඛතම අවස්ථාවකි.එය නිසි අවබෝධයෙන් යුතුව කළේ නම් මහින්ද හා විජේදාස මතුකළ තර්ත නිකන්ම ශුන්වී යනු ඇත.

ආගම හා දේශපාලනය කාරනා දෙකකි.එය පටලවා ගතහොත් නැති ගැටලු මතුවෙයි.ආගම් බැහැර කර අපට ගමනක් යානොහැකි බව සත්‍යයකි.එසේ වුවත් ආගමික කරුණු මුල් කර ගනිමින් සෑම කාරනයකදීම තීන්දු තීරණ ගැනීමට යෑම ගැටලුවකි.විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගොඩනැගී ඇත්තේ විෂය මූලික කාරනා මත පදනම්ව මිස ආගමික කාරනා මත නොවන්නේය.විශ්ව විද්‍යාල පද්ධිතය තුළ ඊටම ආවේනිකවූ ඉගැන්වීමේ හා ඉගෙන ගැනීමේ කාලාවක් නිර්මාණය වී ති‍බේ.එය මෙරට පාසැල් අධ්‍යාපන ක්‍රමය හා සැසදීමේදී තරමක් වෙනස් ආකාරයට සිදු වන්නකි.සිකුරාදා දිනවල පස්වරුවේ විශ්ව විද්‍යාල වල පන්ති පැවැත් වීම,විභාග පැවැත් වීම තුළින් මුස්ලිම් දරුවන්ට ගැටලුවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම චක්‍ර ලේඛණයක් විශ්ව විද්‍යාල වලට යොමු කර තිබේ.මෙය ඇත්තෙන්ම නැති ගැටලුවක් නිර්මාණය කිරීමකි.මුස්ලිම් ප්‍රජාව වෙතින් එවැනි ඉල්ලීමක් හෝ නොමැති අවස්ථාවක් මෙවැනි දේ කරන්නට යෑමෙන් ඉදිරියේ තවත් ප්‍රශ්න ඇති වීම වැලක්විය නොහැකියි.විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ සෑම දිනකට පෙරුවරු 11.00 සිට 1.00 දක්වා දානය වැළඳීමට අවශ්‍යය බව කියමින් පන්ති නොපවත්වන ලෙස ඉල්ලීමක් කළ හොත් එය අහක දැමිය හැකිද යන්න ප්‍රශ්නයකි.අනෙක් පැත්තෙන් මේවන විට මෙරට ජනමාධ්‍යය මිත්‍යදෘෂ්ඨික ජන සමාජයක් බිහි කිරීම පිණිස කටයුතු කරන බවක් දකින්නට ලැබෙයි.නොයෙක් මන්ත්‍ර,ගුරුකම් ඇතුළු නොපෙනන බලවේග හඹා ගොස් ජීවිතය ජයගත හැකි බවට මත මාධ්‍යය මගින් සමාජය පුරා වපුරනු ලබයි.මේවා පිළිබඳ රජය දෙවසර්ෂය සපුරන මේ මොහොතේ හෝ නිසි සොයා බැලීමක් නොකළ හොත් තත්ත්වය ඉදිරියේදී තවත් දරුණු වනු ඇත.
සටහන-අසේල කුරුළුවංශ