ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දහසයක් සදහා සිසුන් ඇතුළත් කැරගැනීම පිණිස වාර්ෂිකව පවත්වනු ලබන උසස් පෙළ විභාගය තරම් තරඟකාරී වෙනත් විභාගයක් මෙරට තවත් නොමැති අතර ඒ සඳහා වසරක‍ට පාසැල් හා භාහිර අපේක්ෂකයින් ලෙස පෙනී සිටින සිසු සංඛ්‍යාව ලක්ෂ තුනහමාරකට ආසන්නය.

පාසැල් හා භාහිර අයඳුම්කරුවන් ලෙස විභාගයට පෙනීසිටින මෙම සිසුන් අතරින් විභාග දෙපාර්තුමේන්තුවේ වසර 2015 දත්ත වලට අනුව විෂයන් තුනම සමත්වී ඇති පිරිස එක් ලක්ෂ පනස් පන් දහස් හාරසිය හතකි (155407) .ප්‍රතිශතයක් ලෙස එය 60.91% කි. මෙම සිසු පිරිස විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබූවද ඉන් විශ්ව විද්‍යාලයන්ට ඇතුළුව අධ්‍යාපනය ලැබීමේ වරම් හිමිවන්නේ 25700 ක් තරම්වූ සුළු ශිෂ්‍යය සංඛ්‍යාවකට පමණි.මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ රජයට පහසුකම් ලබාදීමේ හැකියාව ඇත්තේ එවැනි සිසු පිරිසකට පමණක් වීම හේතුවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළුවීම පිණිස සිසුන් අතර ඇත්තේ දැඩි තරඟකාරීත්වයකි.වෛද්‍යය හා ඉංජිනේරූ පීඨයන්ට වාර්ෂිකව පිළිවෙළින් 1255 ක් හා 1505 ක් වැනි සිසු පිරිසක් තෝරාගැනීම තුළ එම පිරිස අතරට එක්වීම පිණිස සිසුන් අතර ඇත්තේ පෙරකී තත්ත්වයද ඉක්මවා යන්නාවූ තරඟකාරීත්වයකි.වෛද්‍ය හා ඉංජිනේරු උපාධි සමත්වීමෙන් පසු රැකියා ප්‍රශ්නයක් මතු නොවීමත් එම වෘත්තීන් සඳහා සමාජයේ පවත්නා ඉහළ පිළිගැනීමත් හේතුවෙන් තම දරුවන් කෙසේ හෝ වෛද්‍යවරුන් හෝ ඉංජිනේරුවන් කිරීමට දෙමව්පියන් සිහින දකිති.

මෙම සිහින පසුපස දරුවන් සමග හඹායන ඇතැම් දෙමව්පියන් දුෂ්කරයැයි සම්මත දිස්ත්‍රික්කවල ජීවත්වන දරුවන්ගේ හා දෙමව්පියන්ගේ අහිංසක සිහින කොල්ලකෑමේ තත්ත්වයක්ද මතුව තිබේ. මොවුන් විසින් කොල්ලකනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දුෂ්කරයැයි හඳුනාගෙන එම ප්‍රදේශවල දරුවන්ට විශ්ව විද්‍යාලයන්‍ට ඇතුළුවීමට ලබාදී තිබෙන සහනයයි.හිත කීරී ගැහෙන හීතලේ මහා ගුරු හිඟයක් පවතින පාසැල්වල අධ්‍යාපනය ලබන නුවරඑළියේ දරුවන්ගේ මෙම අයිතිය කොල්ලකෑමට මෙවර පෙළගැසී සිටින සිසු පිරිස දහසකට ආසන්නය. වෛද්‍ය හා ඉංජිනේරු උපාධිය හැදෑරීම පිණිස නුවරඑළියට හිමිවන 70 ක් පමණ වන විශ්ව විද්‍යාල කෝටාව ඩැහැ ගැනීමට අධ්‍යාපන බලධාරීන්ගේ හා කාර්සේල් හිමිකරුවන්ගේද දරුවන්ද ඇතුළුව මෙවර නුවරඑළියට පැමිණි තිබෙන පිට පළාත් සිසු පිරිස 305 ක් බව පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මේවනවිට හඳුනාගෙන තිබේ.පුත්තලම දිස්ත්‍රික්කයේ පාසැල් 09 කද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් 19 කද අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් පාසැලකද මෙම මංකොල්ලය සිදුව තිබෙන බව ලංකා විදුහල්පති සංගමය පවසයි.මෙම සියලු පාසැල් වලින් විද්‍යා,ගණිත, කළමණාකරණ හා කලා විෂයන් වෙනුවෙන් පෙනීසිට ඇති බවට අනුමාන කරන ශිෂ්‍යය සංඛ්‍යාව දහස ඉක්මවන බව අධ්‍යාපන රාජ්‍යය ඇමැති වී.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

මෙරට තුළ සම අධ්‍යාපන අයිතිවාසිකම් සෑම දිස්ත්‍රික්ක් තුළම එකලෙස ආරක්ෂාවී නොමැති බව අධ්‍යාපන දෙපාර්තුමේන්තුව පිළිගෙන තිබීම නිසා ඔවුන් පහසුකම් සහිත දිස්ත්‍රික්කවල හා දුෂ්කර දිස්ත්‍රික්කවල අධ්‍යාපනය ලබන්නන් ලෙස කාණ්ඩ දෙකක් යටතේ සිසුන් වර්ගකර තිබේ.දිවයිනේ පවත්නා දිස්ත්‍රික්ක 25 ක් අතරින් දිස්ත්‍රික්ක 16 ක් දුෂ්කර දිස්ත්‍රික්ක ලෙස පිළිගැනෙන අතර අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් නිකුත්කළ චක්‍රලේඛණයට අනුව නුවරඑළිය,අනුරාධපුර,පුත්තලම,හම්බන්තොට,මාතලේ,පොළොන්නරුව,මොණරාගල,වව්නියාව,බදුල්ල,යාපනය,කිළිනොච්චිය,මුලතිව්,ත්‍රිකුණාමළය, මඩකළපුව,රත්නපුර,අම්පාර යන දිස්ත්‍රික්ක එම ගණයට වැටෙයි.මෙම දිස්ත්‍රික්යන්හි පාසැල් වල පවත්නා ගුරු හිඟය මෙන්ම අවම පහසුකම් සැලකිල්ලට ගෙන මෙම වර්ගී කරණය සිදුකර තිබෙන අතර අති තරගකාරී උසස් පෙළ විභාග කඩඉම ජයගෙන විශ්ව විද්‍යාල වරම් ලබාගැනීමේදී මෙම සිසුන්ට සිදුවන අසාධාරණය වැලැක්වීම පිණිස ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක්ද අධ්‍යාපන අමාත්‍යාංශය හදුන්වාදී තිබේ.පෝෂිත දිස්ත්‍රික්ක වල අධ්‍යාපනය ලබන සිසුන් හා දුෂ්කර දිස්ත්‍රික්කවල අධ්‍යාපනය ලබන සිසුන් අතරින් විශ්ව විද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීමේදී සිදුවිය හැකි අසාධාරණය අවම කිරීම පිණිස අධ්‍යාපන දෙපාර්තුමේන්තුව දීප ව්‍යාප්ත කුසලතා හා දිස්ත්‍රික් කුසලතා යන පදනම් දෙකක් යටතේ සිසුන් තෝරාගනු ලබයි.දීප ව්‍යාප්ත කුසලතා යටතේ විශ්ව විද්‍යාලයට ඇතුළු කරගන්නා සමස්ථ ශිෂ්‍යය සංඛ්‍යාවෙන් 40 % ක් ද දිස්ත්‍රික් කුසලතා පදනම යටතේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි 55 % ක් ද තෝරාගනු ලබති.මෙහිදී අදාළ දිස්ත්‍රික්කයේ ජනගහණයට සමානුපාතිකව විශ්ව විද්‍යාලයට තෝරාගන්නා ශිෂ්‍යය සංඛ්‍යාව තීරණය කෙරෙයි.ඉතිරි 5 % ක ප්‍රමාණය අධ්‍යාපන පහසුකම් අඩු දුෂ්කර දිස්ත්‍රික්ක 16 අතර බෙදා දෙනු ලබන්නේ එම දිස්ත්‍රික්කයන්හි ජන අනුපාතයට අනුවය.

දුෂ්කර යැයි පිළිගැනෙන දිස්ත්‍රික්කවල කොළඹ,මහනුවර,ගාල්ල,මාතර,ගම්පහ,කුරුණෑගල,කළුතර,කෑගල්ල වැනි පෝෂිත ප්‍රදේශවල තරම් විශ්ව විද්‍යාල වරම් ලැබීම සදහා තරගකාරීත්වයක් නොතිබීම තුළ අඩු ඉසෙඩ් ලකුණු අගයක් මත විශ්ව විද්‍යාලයට ඇතුළුවිය හැකි පසුබිමක් නිර්මාණයවී තිබේ.‍සියලු පහසුකම් මධ්‍යයේ සුපිරි පාසැලක අධ්‍යාපනය ලැබ උසස් පෙළ පන්තියක් හෝ නොමැති දුෂ්කර ප්‍රදේශයක පාසැලකින් උසස් පෙළට පෙනීසිට සමාජයේ ඉහළ රැකියාවන්හි නිරත දෙමව්පියන්ගේ මෙන්ම සුපිරි ධනවතුන්ගේද දරුවන්ද කොල්ලකනු ලබන්නේ දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට ලැබී ඇති මෙම අයිතියයි. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම විභාග වංචාව වලකනු පිණිස චක්‍රලේඛණ නිකුත්කර තිබුණද ඒවා කිසිදු අයුරකින් මායිම් නොකර වසර පහක පමණ කාලයක සිට එය සිදුකෙරෙමින් පවතින බව නුවරඑළිය හා පුත්තලම දිස්ත්‍රික්කයන්හි අපකළ ගවේෂණයකදී පැහැදිලි විය.වසර 2011 දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවැනි විභාග වංචාවක් සිදුවන බව කියමින් එවකට කැකිරාව අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ.ඩී උපාලි මහතා අධ්‍යාපන බලධාරීන්ටද මානව හිමිකම් ‍කොමිෂන් සභාවටද පැමිණිලිකර තිබේ.එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ඉදිරි පියවරක් නොගැනීමේ ප්‍රතිපලයක් ලෙස අදද එම වරද පෙරටත් වඩා සංවිධානාත්මකව සිදුවෙමින් පවතියි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා..දුෂ්කර ප්‍රදේශවල‍ දරුවන්ට විශ්ව විද්‍යාල වරම් ලැබාගැනීමට ලබාදී තිබෙන ඉසෙඩ් ස්කෝර් සහනය පහසුකම් සහිත ප්‍රදේශවල සිට පැමිණෙන ළමුන් විසින් කොල්ලකෑම කලක පටන්ම සිදුවෙනවා.මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර විභාග වංචා සඳහා ඍජුව හා වක්‍රව සහයෝගය දැක්වූවන් සියලු දෙනාට දඬුවම් දිය යුතුයි.පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් මෙම වරද සිදුකළ පාසැල් 09 ක්තිබෙනවා.මේ පාසැල් අතිරින් ඇතැම් ඒවාගේ උසස් පෙළ විද්‍යා විෂයන් ඉගැන්වීමට පන්තියක් කවදාවත්ම තිබිලා නැහැ.හැබැයිගම්පහ,ගාල්ල,මාතර,කුරුණෑගල,මහනුවර,කොළඹ ආදි ප්‍රදේශවල දරුවෝ මේ විදුහල් මගින් මෙවර උසස් පෙළ විභාගයට අයඳුම්කර තිබෙනවා.නුවරඑළියේ තත්ත්වයත් එහෙමයි.මේවන විට විභාග අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ මැදිහත්වීම මත පළාත් අධ්‍යාපන අධ්‍යක්වරුන් විසින් පරීක්ෂණ සිදුකර විදුහල්පතිවරු තිදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.පාසැල් 30 ක පමණ මේ වංචාව සිදුව තිබෙන බවට අප පෙන්වාදී තිබියදී විදුහල්පතිවරු තිදෙනකුගේ පමණක් වැඩ තහනම් කිරීමෙන් ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ නැහැ.එදා සිට මෙයට ස්ථිර විසඳුමක් නොදී තාවකාලික විසඳුම් ලබාදීම‍ට අධ්‍යාපන බලධාරීන් ක්‍රියා කිරීම නිසා අද ප්‍රශ්නය වඩාත් බැරෑරුම් තත්ත්වයකට පත්ව තිබෙනවා.ඇතැම් දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති වරුන්‍ට පහසුකම් සහිත ප්‍රදේශවල දරුවන් ඇතුළත් කරගන්නා ලෙස ලියුම් ලබාදී තිබෙන්නේ ප්‍රබල දේශපාලනඥයින්. දේශපාලනඥයින් ලිපි දුන්නත් එම වරද නිවැරදි කරන්න විදුහල්පති වරුන්‍ට වගකීමක් තිබෙනවා.ඒ නිසා මේ ප්‍රශ්නයේදී විදුහල්පතිවරු නිවැරදි කරුවන් කියන්න අපි කොහොමත් සූදානම් නැහැ.මේ පසුපස සමාජයේ ඉහළම පිරිස් සිටින නිසා පරීක්ෂණ සාධාරණව සිදුකෙරෙයිද කියන සැකය අපට තිබෙනවා.මේනිසා ජනපතිතුමන් හෝ මැදිහත්වී මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදිය යුතුයි.අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම දුෂ්කර ළමයින් සඳහා ඇති සහනය කොල්ලකෑම වැලැක්වීම සඳහා චක්‍රලේඛණ මගින් පියවර ගෙන තිබුණත් එහි අඩුපාඩු තිබෙනවා.මේනිසා අපි ඊට සංශෝධනයක් යෝජනාකර තිබෙනවා.අපි කියන්නේ යම් අපේක්ෂකයකු කිහිප වතාවක් උසස් පෙළ විභාගයට පෙනී සිටියද අදාළවන දිස්ත්‍රික්කය සැළැකීමේදී එම අපේක්ෂකයා පාසැල් අයඳුම්කරුවෙකු නම් සාමාන්‍යය පෙළ විභාගයට පෙනීසිට ඇති දිස්ත්‍රික්කය අදාළ කරගත යුතුයි.යම් අපේක්ෂකයකු එක් දිස්ත්‍රික්කයකින් පාසැල් අයඳුම් කරුවෙකු ලෙස සාමාන්‍යය පෙළ විභාගයට පෙනීසිට වෙනත් දිස්ත්‍රික්කයකින් උසස් පෙළ විභාගයට පෙනීසිටින අවස්ථාවක එම අපේක්ෂකයා එකී දිස්ත්‍රික්ක දෙකින් වැඩි ලකුණු සීමාව ඇති දිස්ත්‍රික්කයට ඇතුළත් විය යුතුය යන්න එම යෝජනාවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛණ උල්ලංඝනය කරමින් පෝෂිත ප්‍රදේශවල දරුවන්ට තම විදුහල් වලින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් නාත්තන්ඩිය කොට්ටරම් මුල්ල අල්හිරා විදුහලේත් නුවරඑළිය ශාන්ත සේවියර් විදුහලේත් අනුරාධපුර කහටගස්දිගිලිය මුස්ල්ම් විදුහලේත් විදුහල්පති වරුන්ගේ සේවය මේවන වි‍ට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අත්හිටුවා තිබේ.වසර 2014 සිට නුවරඑළිය ශාන්ත සේවියර් විදුහලේ උසස් පෙළ විද්‍යා විෂයන් සඳහා පන්තියක් නොපැවැත්වුණු නමුත් මෙවර උසස් පෙළට විද්‍යා අංශයෙන් පාසැල් අයඳුම් කරුවන් ලෙස එම විදුහලෙන් ළමුන් විශාල පිරිසක් ඉදිරිපත්වූ බව විදුහලේ සිංහල අංශයේ උපවිදුහල්පතිවයා ලෙස කටයුතු කළ ජයදේව සිසිල් ජාලියගොඩ මහතා දිව්රුම් ප්‍රකාශයක් මගින් ප්‍රකාශකර තිබේ.

මේවන වි‍ට වැඩ තහනමට ලක්ව සිටින නාත්තන්ඩිය කොට්ටරන් මුල්ල අල්හිරා විදුහලේ හිටපු විදුහල්පතිවරයා මගේ පාසැලේ ළමුන් 21 ක් මේ පාර උස්ස පෙළ විභාගයට පෙනී සිටියා.ඒ ළමයින්ගෙන් 18 දෙනකු දිස්ත්‍රික්කයෙන් පිට අයයි.ගාල්ල,මාතර,ගම්පහ වැනි ප්‍රදේශවල ළමයි මේ අතර සිටිනවා.අධ්‍යාපන අමාත්‍යාංශය කළ වැරදි දැන් අපේ පිටින් යවන්න හදනවා.මේක වැරදියි. ඒ අය කියපු නිසයි මේ ළමයි ඇතුළත් කරගත්තේ.මම විභාග ශාලාධිපති ලෙස 2013 දී මාදම්පේ සේනානායක විදුහලේ කටයුතු කරත්දී පුත්තලම අල්බිෂ්මා මුස්ලිම් විදුහලේ ළමයි එහි විභාගයට පෙනී හිටියා.ඒ ළමයි හැමෝගෙම අයි ඩී වල ඇඩ්‍රස් පුත්තලමෙන් පිට ඒවා.මම මේබව විභාග ජර්නලයේ සටහන් කරලා වංචනික කවරයේ දාලා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකටත් වාර්තා කළා.මේ ගැන අඩුතරමින් පරික්ෂණයක් වත් කළේ නැහැ.මම දෙමළ මාධ්‍ය ගුරුවරයෙක්.මගේ වැඩ තහනම් ලිපිය මට ලැබෙන්නේ සිංහල භාෂාවෙන්.මේක රාජ්‍යය භාෂා ප්‍රතිපත්තියත් උල්ලංඝනය කිරීමක්.මම අපේ පාසැලට උසස් පෙළ විද්‍යා පන්ති සඳහා ලිඛිතව ගුරුවරු ඉල්ලුවා.දුන්නේ නැහැ.එදා මේ විභාග වංචාව හෙළිකළ මගේ වැඩ තහනම් කරන නිලධාරින් වෙනත් විදුහල්පතිවරුන්ව ආරක්ෂා කරනවා.මම වරදක් කළානම් ඒ අයත් ඒ වරද කරලා තිබෙනවා.මේ පරීක්ෂණ කරන ඇතැම් නිලධාරීන්ගේ දරුවෝ ඒ ඉස්කෝල වල ඉගෙන ගන්නවා.මේ නිලධාරීන් කල්මරන්නේ ඒ අයට අවශ්‍යය විදිහට දැන් ලේඛණ වෙනස් කරගන්න අවශ්‍යය පසුබිම හදන්නයි.

නුවරඑළිය සිසු දරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ගාමීණී සේනානායක මහතා..කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියක් මේපාර නුවරඑළියේ බාලිකා පාසලකින් විභාගයට පෙනී සිටියා.ඇය නුවරඑළියේ රජයේ ඉහළ තනතුරක් දරන නිලධාරීනියකගේ ඥාති දියණියක්.අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් දරන නිලධාරීනියකගේ දියණියක් තමන්ගේ අම්මයි තාත්තයි එක්ක නුවරඑළියේ බොන්විස්ට් ප්‍රදේශයේ හෝටලයක නැවතිලා විභාගයට පෙනී හිටියා.මේ අය දවස් 15 ක් හෝටලේ නතරවෙලා ඉඳලා තිබෙනවා.එක දවසකට රුපියල් 4000.00 ගානේ කාමර කුළිය විතරක් 60000.00 මේ අය ‍ගෙවලා තියෙන බවට තොරතුරු තිබෙනවා.මේ වගේ සුපිරි ජීවිත ගතකරන අය තමයි නුවරඑළියේ ඉපදිලා මේ කටුක පරිසරයේ හැදිලා පහසුකම් අඩු පාසැල් වලට ගිහින් නුවරඑළියෙන්ම සාමාන්‍යය පෙළ කරලා උසස් පෙළත් කරන දරුවන්ගේ අයිතිය කොල්ල කන්නේ.මේ කූඨ ලේඛණ හදලා කරන මංකොල්ලය ගැන පොලිස්පතිට පවා දැනුම් දුන්නා.තාම කාගෙන්වත් ප්‍රකාශයක් හරි අරගෙන නැහැ.
නුවරඑළියෙන් විභාගයට පෙනී සිටීම සඳහා පැමිණෙන බහුතරයක් යාපනය,මඩකළපුව ආදී ප්‍රදේශවල අයයි.දුෂ්කර යැයි සම්මත ප්‍රදේශවල සිටින ඔවුන් නුවරඑළියට පැමිණීම ප්‍රශ්නාර්තයක් වන බැවින් ඒ පිළිබඳ තොරතුරු සොයා යෑමේදී අනාවරණය වූයේ යාපනය හා මඩකළපුවට වඩා පහසුවෙන් නුවරඑළියෙන් ඔවුන්ට වෛද්‍ය හෝ ඉංජිනේරූ පීඨයන්ට ඇතුළත් විය හැකි ප්‍රවනතාවක් පවතින බවයි.යාපනයේ සිට ගුරුවරු පැමිණ මෙම සිසුන්ට උසස් පෙළ පෞද්ගලික පන්ති පවා පවත්වා තිබෙන අතර ප්‍රදේශයේ සිසු විරෝධය පාලනය කිරීම පිණිස එම සිසුන්ටද පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ පන්ති සඳහා නොමිලේ සහභාගීවීමේ අවස්ථාව ලබාදී තිබෙන බවට තොරතුරු වාර්තාවන බව නීතීඥ ගාමිණී සේනානායක මහතා පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරය,ආචාර්ය මාලක රණතිලක මහතා – උස්ස පෙළ විභාගයට පෙනී සිටින දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට විශ්ව විද්‍යාලයට එන්න ලබාදී තිබෙන සහනය කොල්ලකන්න කාටවත් ඉඩක් දෙන්න හොඳ නැහැ.මේක කාලයක ඉඳලම කරන දෙයක්.තමන්ගේ දරුවෝ වැරදි වැඩවලට යොමුකරන්නේ දෙමව්පියන්.මේ විදිහට හොරපාරවල් වලින් විශ්ව විද්‍යාලයට එන ළමයි මේක ඇතුළෙත් කරන්නේ ඒ හොරවැඩ.ඇයි මුල ඉඳලම පුරුද්ද ඒකනේ.විශ්ව විද්‍යාලය ඇතුළෙ විභාග සමත්වෙන්න ‍නොයෙක් කූඨ වැඩ කරන්න උත්සහකරන්නේ මේ විදහට තවත් කෙනෙකුගේ අයිතිය කොලලකාපූ අයයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහචාර්ය මොහාන්ද සිල්වා මහතා…උසස් පෙළ සමත්වූ දරුවන් ඉසෙඩ් ස්කෝර් අගයන් මත විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කළ පසු බඳවා ගැනීම් අප කරනවා.ඉසෙඩ් ස්කෝර් අගයන් සකස් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය.සිසුවෙක් හෝ සිසුවියක් විශ්ව විද්‍යාලයට ඉල්ලුම් කිරීමේදී සත්‍යය තොරතුරු ලබාදිය යුතුයි.එහි වරදක් ඇත්නම් ඒ සම්බන්ධව අපට ක්‍රියාත්මක විය හැකියි.ශ්‍රෙෂ්ඨාධිකරණය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය අපට කියනවා නම් යම් අයෙක් විභාගයට පෙනීසිට ඇත්තේ වංචාකාරී ලෙස කියලා අපිට පුළුවන් ඒ ගැන අවධානය යොමුකරන්න.කවුරුන් හෝ චෝදනා කළ පමණින් සුදුසුකම් සපිරූ ළමයෙකු විශ්ව විද්‍යාලයට බඳවා නොගෙන ඉන්න බැහැ.මේක සුළුපටු කාරණයක් නොවේ.පරීක්ෂණය කාලයක් ගතවන පුළුල් එකක්.දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ විශ්ව විද්‍යාල වරම කවුරුන් හෝ කොල්ල කනවා නම් ඒකට වැටක් බැඳිය යුතුයි.මෙහිදී වඩා වැදගත් වන්නේ සංවේදී වීමට වඩා ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන මෙවැනි දේ යළි නොවීමට ඇති ඉඩ සැකසීමයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා –මේවන විට ලැබුණු තොරතුරු මත අදාළ ප්‍රදේශවල අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් පරීක්ෂණ පවත්වා අධ්‍යාපන දෙපාර්තුමේන්තු චක්‍රලේඛණ උල්ලංඝනය කළ විදුහල්පතිවරුන් තිදෙනකුගේ වැඩ තහනම්කර තිබෙනවා.විභාග දෙපාර්තුමේන්තුව,අධ්‍යාපන අමාත්‍යාංශය හා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව එක්ව මේගැන පරීක්ෂණ සිදුකරනවා.දැනට නුවරඑළිය,පුත්තලම හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක වලින් මේගැන පැමිණිල ලැබී තිබෙනවා.පිටින් ඇවිත් විභාගේ ලිව්වා කියා කරන ප්‍රකාශයක් පදනම් කරගෙන අපට තීරණ ගන්න‍ බැහැ.ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කෙරනවා.ළමයි පහසුකම් සහිත වෙනත් දිස්ත්‍රික්ක වලින් ඇවිත් දුෂ්කර පළාත් වල ඉස්කෝල වලින් විභාගයට පෙනීසිටි බව අපි සාක්කි සහිතව තහවුරු කරගන්න ඕන.විදුහල්පතිවරු චක්‍රලේඛණ උල්ලංඝනය කරලා මේ සිසුන්ට තමන්ගේ පාසැලෙන් විභාගයට පෙනී ඉන්න දුන්නා නම් එය වැරදියි.කොහොම වුණත් දුෂ්කර ප්‍රදේශයකට අයිති පාසලකින් විභාගයට පෙනීසිටි සිසුවකු පෝෂිත ප්‍රදේශයකට අයත් පාසලක උසස්පෙළ හදාරා තිබෙන බව පරීක්ෂණ මගින් තහවුරු වුණොත් ඒ ළමයට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී සලකා බලන්නේ පෝෂිත ප්‍රදේශයේ ලකුණු මට්ටම්.මේ සම්බන්ධව අවසන් තීරණය ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය,විභාග දෙපාර්තුමේන්තුව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක්වයි.මේ සිද්ධිය පදනම් කරගෙන සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් සිදුවන්නේ නැහැ.

පහසුකම් ඇති ප්‍රදේශවල සිට පැමිණ උසස් පෙළ පන්තියක් හෝ නොමැති දුෂ්කර ප්‍රදේශ විදුහල් වලින් උසස් පෙළට පෙනීසිට විශ්ව විද්‍යාල වරම් ලබන සිසුන් සැබවින්ම සිදුකරන්නේ කොල්ලයකි.එය සුදු කරපටි අපරාධයක් ලෙසින් හැඳින්වීමද වරදක් නොවේ.පාසලක විදුහල්පතිවරයකු ස්ථාන මාරුකළ විට දෙමව්පියන් හා දරුවන් පාරට බැස උද්ඝෝෂණය කිරීම අද විලාසිතාවක් බවට පත්ව තිබේ.එහෙත් පහසුකම් ඇති දිස්ත්‍රික්කවල සිට පැරෂූට් ක්‍රමයට පැමිණ ධනවතුන්ගේ හා රජයේ ඉහළ නිලධාරීන්ගේ දරුවන් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය කොල්ලකා යත්දී ඊට එරෙහිව ඔවුන් කිසිවකුත් මෙතෙක් හඬ නොනැගීම පුදුමයට කරුණකි.නුවරඑළියේ සමස්ථ ජන ගහණයෙන් උපාධීධාරීන් සිටිනුයේ 1.1 % ක් පමණ සංඛ්‍යාවකි.ඊට හේතුව නුවරඑළියෙන් බිහිවන උපාධිධාරීන්ගෙන් අති බහුතරය එම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නොවීමය.එහි ප්‍රතිපල ලෙස නුවරඑළිය සෞඛ්‍යය හා අධ්‍යාපන දත්ත වලින් රටේ සෙසු ප්‍රදේශ අතරින් පහළට ඇද වැටී තිබේ.පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්ක මෙම කොල්ලයේ ප්‍රධාන ගොදුරු බවට පත්ව තිබෙන අතර ඒවාහි ගුරු හිඟය ඉතා ඉහළය.ඉසෙඩ් ස්කොර් අගය පදනම් කරගනිමින් විද්‍යා පීඨ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමද සිදුකරන බැවින් මෙම ගැටලුව අදට වඩා හෙට දුෂ්කර ප්‍රදේශවල ජනතාවට තවත් තදින් දැනෙනු ඇත.

prin-3

prin-4-1

prin-6

p-2

p-3

p-4

p-5-1

p-6

p-7-1

p-9-1