මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් උඩරට වතු අංශයෙන් හිමිවත්දී ඒ සඳහා අත්‍යවශ්‍යය විශාලතම ශ්‍රම දායකත්වය සපයනු ලබන්නේ වතුකම්කරු ප්‍රජාව විසිනි.ස්ත්‍රී පුරුෂ බේදයෙන් තොරව හරිහරියට තේවතු ආශ්‍රීත රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාව තේ අපන‍යනයෙන් ලොව උස්තැනක් වෙත ගෙනයෑමට ප්‍රබල දායකත්වයක් සපයන මෙම ජනතාවගේ ජීවිත දිනෙන් දින පහළට ඇදවැටීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි.

මත්වතුරට ඇති ගිජුකම විසින් ඔවුන්ගේ ජීවිතවලට කැන්දාගෙන විත් අවසානයේ ඉතිරිකර තිබෙන්නේ දුක,වේදනාව,තනිකම,අසරණබව වැනි අපි පිටුදකින්නට උත්සහකරන්නාවූ කරුණු කාරනාය.පනින රිලවුන්නට ඉණිමං බඳින්නාක් මෙන් වතුකරයේ ඇතැම් දේශපාලනඥයින්ද මෙම ජනතාව ඉන් ගලවාගනු වෙනුවට ඔවුන්ට මත්පැන් සපයමින් තම දේශපාලනික අරමුණු කෙසේහෝ මුදුන් පමුණුවා ගැනීමට උත්සහකිරීම අවාසනාවකි. බීමට අතේ මුදලක් නොමැතිවිට තම ජාතික හැඳුනුම්පත,විදේශගත බිරිඳගේ බැංකු ගිණුම් පොත පමණක් නොව දරුවාගේ කොටහළුවේදී පැළඳූ මාලය හෝ කරාඹු ජෝඩුව වුව බාර් එකක උකසට තබා සුරාපානය කරන්නාවූ වතුකම්කරුවෝ සිටිනබව අප පසක්කර ගත්තේ එහිකළ සංචාරයකින් අනතුරුවය.දින දෙකක් පුරා වතුකරයේ රැඳීසිටිමින් ඔවුන්ගේ ජීවිතවලට කළ එඹීබැලීම්වලදී දක්නට ලැබුණේ මත්පැන් විසින් ඔවුන්ගේ වටිනා බොහෝදේ උදුරාගෙන ගොස් ඇතිබවයි. ඇතමුන්ගේ වටිනා ජීවිත දිවිගමනේ කෙළවර පේනමානයට පැමිණීමටත්පෙර මත්වතුරේ ගිලී නොපෙනී ගොස් තිබේ. පවුලේ සාමයත්,දරුවන්ගේ අධ්‍යාපනයත් බිඳවැටී ඇත්තේ මතට වියදම්කරන්නාවූ මුදල විසින් පවුලේ ආර්ථිකය පොඩිපට්ටම් කිරීමේ අතුරු ප්‍රතිපලයක් ලෙසිනි.

නුවරඑළිය,මස්කෙළිය,ගිනිගත්හේන,කොත්මලේ,වලපනේ,නවතිස්පනේ,කොටගල,ආගරපතන,මතුරට,රාගල,බගවන්තලාව,හඟුරන්කෙත යන ප්‍රදේශවල 56% ක් ජීවත්වනනේ වතුප්‍රජාවයි.මේ අතරින් වයස අවුරුදු 18 ට වැඩි වතුකම්කරුවන්ගෙන් 60 % ත් 70% ත් අතර සංඛ්‍යාවක් මත්පැන් පානයට යොමුව තිබෙන බව මත්පැන් හා මත්ද්‍රව්‍යය පිළිබද තොරතුරු මධ්‍යස්ථාන වාර්තා පෙන්වාදෙයි.එහි සඳහන් දත්ත අනුව ජාතික වශයෙන් මෙම අගය දැක්වෙන්නේ 37 % ක් පමණවූ මට්ටමකය.වතුකරය තුළ පවත්නාවූ මත් ලොල්කම විසින් නුවරඑළිය මෙරට වැඩිම මත්පැන් පානයක් සිදුවන දිස්ත්‍රික්ක අතර තෙවැනි තැනට ඔසවා තබන්නට සමත්වී තිබෙන අතර ඊට වතුකරයේ ඇතැම් දේශපාලකයින්ද උඩගෙඩිදීම වතුජනතාවගේ අවාසනාවකි. මාතෘ හා ළදරු මරණ,අඩුබර දරුඋපත්,ආබාධ සහිත ළමුන්,පාසැල් නොයන ළමුන්, මව්වරු වැඩිම ප්‍රමාණයක් විදේශගතවීම,ගෘහස්ත ප්‍රචන්ඩත්වය,ළමා හිංසනය හා සම්බන්ධ ජාතික දර්ශකවල මුල්ස්ථාන තුනතුළ නුවරඑළිය රඳවා තබන්නට වතුජනතාවගේ බීමත්කම ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙන බව පාළාත් සෞඛ්‍යය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,පරිවාස හා ළමා රක්ෂණ දෙපාර්තුමේන්තුව,විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණක් නොව තවත් රාජ්‍යය නොවන ආයතන මගින්ද කළ සමීක්ෂණ හා දත්ත එක්රැස්කිරීම් මගින් තහවුරුව තිබේ.

සීතල නුවරඑළියේ සුන්දරත්වය අත්විඳින්නට පැමිණෙන දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනතාවද සමඟ වතුප්‍රජාවද එක්ව පසුගිය වසර තුනක කාලය තුළ සෑම වසරකම අරක්කු,බියර් හා රා ලීටර ලක්ෂ 150 ක ප්‍රමාණයක් ඉක්මවා පානයකර තිබෙන බව සුරාබදු දෙපාර්තුමේන්තු වාර්තා පෙන්වාදෙයි.විශේෂයෙන් අරක්කු තරම් ඉහළ මිලක් නොමැති නිසාවෙන් රා පානය වතුකම්කරුවන් අතර ප්‍රචලිතව පවතින අතර පසුගිය වසරේ පමණක් නුවරඑළියේ අළෙවිවී ඇති රා ලීටර් ප්‍රමාණය ලීටර ලක්ෂ 38 කට ආසන්නය. සුරාබදු දෙපාර්තුමේන්තුවේ වසර 2015 දත්තවලට අනුව තේවතුබහුලව පවතින හැටන් ප්‍රදේශයේ අළෙවිවී ඇති රා ලීටර ප්‍රමාණය ලීටර විසිපන්ලක්ෂ හැත්තෑ දෙදහසකි.වතු ප්‍රජාව බහුලව ජීවත්වන අඹගමුව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේ දෙලක්ෂ විසිදහසක (240469) පමණ ජනතාවක් ජීවත්වන අතර වසර 2015 එම ප්‍රදේශයේ අළෙවි දත්ත අනුව අරක්කු,බියර් හා රා ලීටර ලක්ෂ 62 ක් පමණ විකිණී ඇත.ඒ අනුව අඹගමුවේ ඒකපුද්ගල මත්පාන අගය වර්ෂයකට බෝතල් 26 කට කට ආසන්නය.එම ආසනයේ පිරිමි ගහණය 114982 ක් වන අතර එම සංඛ්‍යාවට අනුරූපව එක් පුද්ගලයකු පරිභෝජනය කරන්නාවූ මත්පැන් ප්‍රමාණය වසරක‍ට ලීටර 50 ඉක්මවයි. නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ එම අගය ලීටර 21 ක් පමණ වන අතර ඒතුළ වසන්ත සැණකෙළිය ඇතුළු උත්සව සඳහා දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව පානයකරන්නාවූ මත්පැන් ප්‍රමාණයද අන්තරගතය.මහනුවර දිස්ත්‍රික්කයේ ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය වාර්ෂිකව ලීටර 12 ක් වන අතර මාතලේ මෙම අගය 13 කි. නීත්‍යානුකූල මත්පැන් අළෙවිසැල් නුවරඑළියේ 202ක්ද මහනුවර 214 ක්ද මාතලේ 87 ක්ද ඇත.මෙම දත්ත අනුව මහනුවර පුද්ගලයින් 7000 කටත් මාතලේ පුද්ගලයින් 6000 කටත් එක් බාර් එකක් පිහිටත්දී එම අගය නුවරඑළියේදී පුද්ගලයින් 4000 කට අඩුවෙයි. හැටන් සුරාබදු බලප්‍රදේශය තුළ බලපත්‍ර සහිත මත්පැන් අළෙවිසැල් 108 ක් තිබේ. එම බලප්‍රදේශයට අයත් අඹගමුව හා කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන සමස්ත ජනසංඛ්‍යාව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය 2105 වර්ෂයේ දත්ත වලට අනුව 323000 කි.මේ අනුව වතුකම්කරුවන් බහුල එම කළාපයේ පුද්ගලයින් 2900 කට එක් මත්පැන් අළෙවිසැළක් පිහිටා ඇත.

මස්කෙළිය,ගිනිගත්හේන,වටවල,හැටන්,කුඩාගම,බගවන්තලාව,නොර්වුඩ්,සාමිමලේ,නොර්ටන්බ්‍රිජ්,ලක්ෂපාන,ආගරපිටිය හා ආගරපතන කොටසක් අයත්වන අඹගමුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ග්‍රාමසේවා වසම් 67 ක් පවතින අතර එහි මත්පැන් අළෙවිසැල් පමණක් 68 ක් තිබේ.මස්කෙළිය නගරය තුළ බාර් 08 ක් පවතින අතර ඉන් එකක දෙවසරක් සේවයකර වර්තමානයේ ලොරි රථ රියදුරෙකුලෙස කටයුතුකරන මස්කෙළිය පුංචිමැද වත්තේ පදිංචි ජී.සුරේෂ්කුමාර් වතුප්‍රජාවගේ මත්පැන් පානය කිරීම පිළිබඳව මෙසේ කීවේය.වත්තේ මිනිස්සු ගාන අඩුනිසා ගොඩක් බොන්නේ රා. අරක්කු කාලක් ගන්න මුදලට රා බෝතල් දෙකක් බොන්න පුළුවන්.බාර් එක අරින්න ඕන උදේ 9.00 ට උනත් වතුකරයේ බාර් උදේ ඉඳලම අරිනවා.සමහරු උදේ හයට දොරට තට්ටු කරනවා.දවසකට එක බාර් එකක රා බෝතල් 400 ක් විතර වි‍කිණෙනවා.සතියකට එක බාර් එකකට රා ලොරියක් දෙකක් බානවාමයි.ලොරියක බෝතල් 1500 ක් ගේනවා.තුන්වේල කනවා වගේ බොන අයත් ඉන්නවා.රත්තරන් බඩු,අයිඩී කාඩ්,බැංකු පොත්,ෆෝන් තියලා සමහරු බොනවා.මම බාර් එකෙන් අයින්වෙනකොටත් ඒකේ අයි.ඩී 15 ක් විතර තිබුණා.පොඩි අයට බඩු දෙන්නේ නැතිනිසා වතුවල පොඩි ළමයි ටවුමේ නාටාමිලාට කීයක් හරි දීලා අරක්කු රා ගන්නවා.මේ වසංගතය දැන් අපේ ජනතාව සෑහෙන දුරට විනාශකරලා.බාර්වල බෝතල් කඩලා ලූස් විකුණන්න තහනම්.ඒත් වතුකරයේ බාර්වලට ඒ නීති වලංගු නැහැ.බෝතල් කඩලා වක්කරලා වීදුරු ගානට දෙනවා.ඒකෙන් බාර් එකට ලාභයි. වතුඇතුලේ අරක්කු බිස්නස් ජයට කරනවා.ටවුමේ බාර්වලින් බෝතල් පහ දහය අරන් ඇවිත් හොරට විකුණන තැන් ඕනතරම් තියනවා.පෝය දවස්වලට තමා මේක වැඩිපුරම කෙරෙන්නේ.

මස්කෙළිය වත්තේ එස්.මින්නෝලි පනස් පස් හැවිරිදිය.ඇය වතු සේවයෙන් විශ්‍රාම ගොස්ය.වතුවල ගොඩක් අය බොනවා. සමහර ගෑණු අයත් මේකට පුරුදුවෙලා.බීගෙන ඇවිත් ළමයින්ට ගහලා රණ්ඩු වෙනවා.වත්තේ වැඩකරලා රුපියල් 10000.00 ක් පඩි ගත්තම ඒකෙන් 4000.00 ක් විතර සමහරු බොන්න වියදම් කරනවා.තව ණයටත් බොනවා.වතුවල ළමයි දූෂණය වෙන එකටත් මේ අරක්කු හොඳටම බලපානවා.තාත්තලා බීගෙන ඇවිත් කරදර කරන නිසාම සමහර ළමයි පෝසත් ගෙවල්වල වැඩට ‍යවනවා. බොන්නම ඇබ්බැහිවුණු අය තමන්ගේ දරුවා කොහේහරි ගෙදරක වැඩට හිටවලා මාසේ අන්තිමට ඒ ළමයාගේ පඩිය ඉල්ල‍ගෙන බොනවා.මේ බීමත්කම නිසා සමහර ළමයින්ට අකුරක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ.බොන්නේ නැති හොඳ අය ඉන්නවා.ඒ අයට ප්‍රශ්න අඩුයි. ඒකෙන් පේනවා ඔක්කොම ප්‍රශ්නවලට මුල බීමත්කම කියලා.ළමයි ඉස්කෝලෙට පොතක් ඕන කිව්වම සල්ලි නැහැ කියනවා.එතකොට ළමයා ඉස්කෝලේ යන්නේ නැහැ.එහෙම අතරමග ඉස්කෝලේ ගමන නතර කරගත්ත ළමයි ගොඩක් වත්තේ ඉන්නවා.හැබැයි අඩුවක් නැතුව බොන්න මේඅය වියදම් කරනවා..

වතුකරයෙන් අධ්‍යාපනය ලැබ වර්තමානයේ යාපනය ලංකා සිද්ධි ආයූර්වේද වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සුබ්‍රමනියම් රමේෂ්කුමාර්…මේ බීමත්කම නිසා වතු ජනතාවගේ සෞඛ්‍යය හොඳටම පිරිහෙනවා.අවුරුදු 60 කට එහා ජීවත්වෙන්නේ ඉතාම අඩු පිරිසක්. සමහර දේශපාලකයෝ ඡන්දකාලෙට මේ ජනතාවට නිකන් බොන්න දෙනවා.තමන්ට බලයට එන්න උදව්වුන ජනතාවට ඉදිරියට එන්න අතදෙන්න දේශපාලනඥයින් දැනගන්න ඕන.ඒත් ඒ අය කරන්නේ මේඅයට වලකපන එකයි.ඉන්දියානු චිත්‍රපට වතුජනතාව සැටලයිට් මගින් බලනවා.ඒවගේ නළුවෝ අරක්කු බීලා වී‍රයෝ වගේ හැසිරෙන ඒවා බලලා මේ අයත් ඒවා කරනවා.ළඟදී ආව මාරි කියන ෆිල්ම් එක මේකට හොඳ උදාහරණයක්.මම ලංකාවේ චැනල්වලටත් මේවා පෙන්වනවා.මම ඒ අයට කතාකරලා කිව්වා මේවා පෙන්වන්න එපා කියලා.එයාලා ගණන් ගන්නේ නැහැ.ළඟදී ආව ගංවතුරට යටවුණු බියර් කොම්පැණිලට ආණ්ඩුව බදු සහන දුන්නා. වැස්සට වතුකරයේ නායගිය තැන් බලන්න කවුරුත් නැහැ.මේවා බලනකොට ආණ්ඩුව බලන්නෙත් ජනතාවට බොන්න දීලා බදු මුදල් එකතු කරගන්න එකද කියලා අපිට සාධාරණ සැකයක් මතුවෙනවා..

නල්ලතන්නයේ ව්‍යාපාරිකයකුවන නල්ලතම්බි රාමලිංගම්…වතුකරයේ ගොඩක් කාන්තාවෝ රට යවන්නේ එයාලගේ මහත්තුරුයි.අම්මා රට ගියාම දරුවෝ අනාථයි.නෝනා එවන සල්ලිවලින් පිරිමියා බොනවා.ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ.ගොඩක් ළමයි ඉන්නේ ආච්චි සීයා ළඟ.ආරක්ෂාවක් නැහැ.මොකද ඒ අය වයසයි.ළමයි කීදෙනෙක් වගා ලිං වලට වැටිලා පහුගිය කාලේ මැරුණද?.ළමයි කීදෙනෙක් දූෂණය වුණාද?පියා අතින් තමන්ගේම දුවව අතවරයට ලක්වන සිද්ධි කොච්චර වතුකරයේ තියෙනවද.. බීලා ඇවිත් තාත්තලා ළමයින්ය පුච්චනවා. මේවගේ සිද්ධි ඕනතරම් පොලීසිවලින් දැනගන්න පුළුවන්.මේ හැමදේටම ප්‍රධාන හේතුවක්වී තිබෙන්නේ බීමත්කමයි.මස්කෙළියේ සමහර බාර්වලින් 10000.00 ෆෝන් එකක් දෙදහට තුන්දහට ගන්න පුළුවන්.මොකද බොන්න බාර් එකේ උකස් තියපු ෆෝන් බේර නොගත්තම ඒවගේ වැඩකරන අය අඩු ගානට ඒවා විකුණනවා.සමහරු ඒ.ටී.එම් කාඩ් එක බාර් එකේ තියලා බොනවා..රටේ නීතියක් නැහැ.බාර්වල නීතී අමුඅමුවේ කඩනවා.කවුරුත් බලන්නේ නැහැ.වතුජනතාව තවත් බොන පැත්තට තමයි හැමෝම පාරකපන්නේ..සමහර දේශපාලනඥයෝ එයාලගේ ප්‍රබල ආධාරකරුවන්ට බාර්වලින් බොන්න කාඩ් ඉෂූකරලා තිබෙන්නේ.අරක්කු කාලක් බිව්වම බාර් එකෙන් එක කොටුවක් කපනවා.දේශපානඥයින් සෑහෙන් පිරිසක‍ට බාර් තියනවා.වතු ජනතාව බිව්වොත් තමයි මේ අයට ලාභ.ආණ්ඩුව බීමත්කම නැතිකරන්න වැඩකළාට‍ මේ අය ජනතාව ‍බොනවට කැමතියි. ළමයි කැමැති නැහැ ඉස්කෝලේ යන්න.අම්මලා තාත්තලා ගෙදර බීගෙන රණ්ඩු වෙනඑක තමයි ළමයි දකින්නේ.හොඳට ජීවත්වන අය ඉන්නවා.ඉගෙන ගන්න දරුවෝ නැහැ කියලා මම කියන්නේ නැහැ.ඒත් සමහර තාත්තලා දරුවට පොත් බෑගයක් අරන්දෙන්න සල්ලි නැහැ කියලා ඒක ඉල්ලපු දරුවට බැණලා අරක්කු බෝතලයක් ගෙනල්ලා බොනවා.මේ ප්‍රදේශවල ගොඩක් අය හින්දු ආගමිකයින්.මස්කෙළියට ගිහින් බලන්න පෝය දවසට කවුරුත් නහැ පාළුයි.මොකද බාර් වහලා නිසා…

කදුරට ගුරු පෙරමුණේ සම්බන්ධීකාරක ටී.ජනනාතන්…වතු ජනතාවගේ ඡන්දය තීරණය වන්නේ ප්‍රතිපත්ති මත නෙවෙයි.ලැබෙන අරක්කු බෝතල් ප්‍රමාණය මතයි.දේශපානඥයෝ මේක දැන් හුරුකරලා.මැයි දිනයට මොනතරම් අරක්කු බොන්න දෙනවද?.වතුවල වැඩකරන සමහරු උදේ වත්තේ වැඩකරලා සල්ලි හොයාගෙන බීලා හවස එළවළු කොටුවක වැඩකරලා ඒකෙන් හවසත් බීලා‍ ගෙදරට පොඩි ගානක් ගිහින් දෙනාවා.හරිය‍ට බැලුවොත් නුවරඑළිය ප්‍රදේශයේ කම්කරුවෙක් දවසකට රුපියල් 2000.00 ක් විතර හොයනවා.පහුවදාට මේ ගොඩක් අය ළග සතයක් අතේ නැහැ.සේරමගේම බොනවා.වතුකරයේ අධ්‍යාපන මට්ටම හුගක් පහත් මට්ටමක තිබෙන්නේ..ඇයි හම්බකරන එකේ බීලා දරුවට ඉගෙන ගන්න ඕන පහසුකම් දෙන්න සමහරුන්ට බැහැ.ඊට පස්සේ දරුවා ගෙදර නැවතිලා තාත්තා එක්ක වැඩට යනවා..

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංඛ්‍යාලේඛණ වලට අනුව එම බලප්‍රදේශයේ පමණක් වසර 2014 දී කාන්තාවන් 441 දෙනකු විදේශගතව තිබේ.ඉන් 09 දෙනකු වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුය.වසර 2015 දී මව්වරු 831 ක්ද ගෘහ සේවය සදහා විදේශගත වෙත්දී ඉන් හත්දෙනකුම තම අවුරුදු 05 අඩු දරුවන් අතහැර නීතීවිරෝධී අයුරින් රටහැර ගොස් ඇත.මෙම වසරේ අගෝස්තුවන විට 565 ස් දෙනකු විදේශගතව තිබෙන බව අඹගමුව ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී එම්.ජී.එස් මනවර්ධන මහතා පවසයි.

වතුකරයේ බීමත්කම ඉතා ඉහළ අගයක පවතිනවා.වතුකරයේ නීත්‍යානුකූල නොවන මත්පැන් අළෙවිය තදින්ම තිබෙනවා.මේවන විට දිස්ත්‍රික් ලේකම් හෙළන් මීගස්මුල්ල මහත්මිය‍ගේ උපදෙස් මත අඹගමුව ප්‍රාදේශීය ලේකම්තුමන් ආර්.පී.පී සුමනසේකර මහතාගේ මෙහෙයවීමෙන් වතුජනතාවගේ දත්ත එක්රැස් කිරීමක් සිදුකරනවා.අඹගමුව කළාපයේ උප්පැන්න සහතික නැති ළමුන් 725 දෙනකු හඳුනාගත්තා.දැනට ග්‍රාම නිලධාරී වසම් 19 ක පාසැල් නොයන ළමුන් 73 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තාවී තිබෙනවා. පියා,මව නැතිනම් මව පියා දෙදෙනාගේම බීමත්කම හේතුවෙන් නිවෙස්වල ඇතිව තිබෙන ප්‍රශ්න මෙම ළමුන් පාසැල් නොයෑමට එක් ප්‍රධාන හේතුවක්වී තිබෙන බව හඳුන්ගෙන තිබෙනවා.වතුවල තිබෙන බාර් වලට නීතී වලංගු නැහැ.මෑතක සිට වතුප්‍රජාව අතර මව සහ පියා දෙදෙනාම මත්පැන් පානය කරන ප්‍රවනතාව වැඩිවී තිබෙනවා.අවධානම් සහිත ළමුන් පිළිබඳ වතුකරයේ සමීක්ෂණයක් අපි කරනවා.එහිදී එලෙස අවධානම් තත්ත්වයට පත්වූ ළමුන්ලෙස හඳුනාගන්නා අය වැඩිදෙනකුගේ පියා හෝ මව නැත්නම් දෙදෙනාම මත්පැන්වලට ඇබ්බැහිවී තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.වයස අවුරුදු 16-18 අතර වතුකරයේ ළමුන් කොළඹ නුවර වැනි තදාසන්න ප්‍රදේශවල ගෘහසේවයේ නැත්නම් අවධානම් සහිත රැකියාවල යෙදවීම සිදුවෙනවා.අනිත් කාරණය විදේශ රටවල ගෘහ සේවය.මොකද මහත්තයා තමයි නෝනව එක්කරගෙන එන්නේ රට යවන්න.වතුවල පුරුෂාධිපත්‍යය ඉතා වැඩියි.කාන්තාවගේ පඩිය ගන්නෙත් සැමියා.එයා බොන්න පටන්ගත්තම බිරිඳ හා දරුවන්ව ආර්ථික කටයුතුවල යොදවනවා.දැනට වසර දෙකකට කලින් පැවැති වර්තා අනුව අඹගමුව කෝරළේ පාසැල් අධ්‍යාපනය ගිලිහුණ ළමුන් 725 ක් සිටියා.දැන් ඒක ගොඩක් අඩුකරන්න පුළුවන්වී තිබෙනවා.නිවස තුළ මත්ද්‍රව්‍යය පාවිච්චිය හා එමඟින් ඇතිවූ ගෘහස්ථ ප්‍රචන්ඩත්වය මෙම ළමුන්ගේ පාසැල් ගමන අතරමඟ නතරවීමට ප්‍රධාන හේතුවක්වී තිබෙනබව පැහැදිලිව දක්නට ලැබුණා.ඇත්තටම වාර්තාවන සිද්ධීන්වලට වඩා සිදුවීම් රැසක් වතුකරයේ තිබෙනවා. වතුජනතාව අතර අනියම් සබඳතා ඉහළ මට්ටමක පවතින අතර ඊටද මත්පැන් ඍජුව බලපා තිබෙනවා… මනවර්ධන මහතා පවසයි.

හැටන් පරිවාස කාර්යාලයට වසර 2015 දී පැමිණිලි 152 ක් ලැබී තිබේ.ළමා හිංසනය ඇතුළු මෙම ලැබුණු පැමිණිලි රැසකට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පියාගේ බීමත්කමය.මෙම වසර තුළ එවැනි පැමිණිලි මේවනවිට 41 ක් ලැබී ඇත.වතුකම්කරු පවුල්වල‍ට අයත් දරුවන් 21 දෙනකු 2015 වසරේත් 19 දෙනකු මෙම වසරේ ගෙවුණු මාස 08 ක කාලය තුළත් ළමානිවාස ගතකර තිබේ.මෙය දිවයිනේ සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා සැසඳීමේදී ඉහළ අගයක්වන අතර ඊට ඍජුවම මත්පැන් වල බලපෑමක් බවතින බව තහවුරුව ඇත.

මත්පැන් හා මත්ද්‍රව්‍යය පිළිබද තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර -වතු ජනතාවගෙන් අතිබහුතරයකගේ ජීවන චර්යාවේ කොටසක් බවට මේ මත්පැන් පානය පත්ව තිබෙනවා.දැනුවත්කිරීමේ වැඩසටහන් මගින් බීමත්කමේ ආදීනව පිළිබඳව මේ අයට යම් අවබෝධයක් දැන් ඇතිවී තිබෙනවා..ශීතල හා අධික වෙහෙස වගේම ප්‍රශ්න අමතකකරන්න මත්පැන් බොනවා කියන එක වැරදි මතයක්.ඒකෙන් එහෙම දෙයක් වෙනවා කියලා විද්‍යාත්මකව කොහේවත් තහවුරුකරලා නහැ. වතු ජනතාවගේ වැටුප් වැඩිකිරීම හොඳයි.ඒත් පඩි වැඩිවුණොත් ඒ වැඩිවන මුදල යන්නේ බාර් වලටයි.වතුප්‍රජාවගේ වැටුප් වැඩිකරන්න කියා කෑගහන දේශපාලන පක්ෂ,වෘත්තීය සමිති මේ තත්ත්වයෙන් ජනතාව මුදවාගන්න හඬ අවධි කිරීමයි කළ යුත්තේ.දැන් පවතින පසුබිම තුළ වතු සේවක වැටුප් වැඩිකළොත් වක්‍රාකාරව පොහොසත් වන්නේ මත්පැන් මුදලාලිලයි.වතුවල වැටුප් ගෙවන දිනයට පසුදින බාර් මගින් බැංකුවල පවත්වාගෙන යන ගිණුම් පරීක්ෂා කළොත් බලාගන්න පුළුවන් කොපමණ මුදලක් ආපසු එම ගිණුම්වලට එකතුවෙනවද කියලා.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාමීණී අධිකාරී–වතුකරයේ මත්පැන් භාවිතය ඉතා ඉහළ අගයක පවතින බව දෙපාර්තුමේන්තු වාර්තාවලින් පැහැදිලි වෙනවා.ඒ ප්‍රදේශවල බාර්වල බෝතල් කඩලා අළෙවිකරන එකගැන පැමිණිලි අපටත් ලැබෙනවා.ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා.අරක්කු බෝතල්වල සීල්කඩලා වෙනත් ස්ප්‍රීතු කලවංකරලා අළෙවිකිරීමේ ජාවාරමක් ටික කලක‍ට ඉහත අපේ නිලධාරීන් අනාවරණය කරගත්තා.මෙයට අමතරව වතුකරය තුළ බලපත්‍ර නොමැතිව මත්පැන් අළෙවිය සිදුවෙනවා.මේවා නතරකරන්න උපරිම උත්සහය ගන්නවා.මේ වසරේ වැටලීම් 500 ක් පමණ සිදුකර බලපත්‍ර කොන්දේසී කඩකල හා බලපත්‍ර නොමැතිව මත්පැන් අළෙවිකළ පුද්ගලයින්ට එරෙහිව නීතීමගින් කටයුතුකර තිබෙනවා.වසර 30 ක සේවා පලපුරුද්දෙන් මා කියන්නේ වතුකරයේ මත්පැන් පානය සම්බන්ධ කරනය ඉතා සංවේදී එකක්.බාර්වල බෝතල් කඩලා බොන්න දෙනවා කියන එක ඇත්තටම පාලනය කලා කියලා බොන එක අඩුවෙනවද?.අපේ අරමුණ විය යුත්තේ මේ ජනතාව මත්පැන්වලින් ඈත් කිරීමයි.බාර්එකේ කඩලා නොදුන්නත් අරන් ගිහින් බොනවනේ.මේක හොදයි පොලීසියට අවශ්‍යය නඩුගන්න එක් පියවරක් විදිහට.සීමාවක් නොමැතිව මත්පැන් නිෂ්පාදනය කරලා හැමෝම ලාභ ගනිත්දී ඒවා බොන මිනිහට හිරිහැර කිරීම කොතෙක් දුරට සාධාරණද කියලා අපි සංවේදීව හිතන්න ඕන.ඇයි මේඅය බොන්නේ කියලා අපි කල්පනාකර බලලා අපි තීන්දු තීරණ ගතයුතුයි.ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්නොකර මේවා පාලනය කරන්න බැහැ.වතුජනතාවට හොද නිවසක්,පරිසරයක් දෙන්න ඕන.අද පවතින තත්ත්වය තුළ ඔවුන්ගේ ජීවිතයේ එකම විනෝදය වී තිබෙන්නේ මත්පැන් පානයයි.මත්පැන් ව්‍යාපාරයෙන් හැමෝම ලාභ ගන්නවා.හැබැයි බොන මනුස්සයාගේ අයිතීන් ගැන කවුරුත් කතාකරනවද?.බාර් එකෙන් බීලා එළියට එද්දී බෙල්ලෙන් අල්ලගෙන ගිහින් උසාවියට දානවා.මේකෙන් බොන එක අඩුවෙනවද?.සල්ලි තියෙන අය රෙස්ට්ටුරන්ට් වලට ගිහින් බොනවා.අහිංසක මිනිහව පොලීසිය අල්ලගෙන යනවා.පවතින පැරණි නීතී යාවත්කාලීන වියයුතුයි.නුවරඑළියේ බාර් ප්‍රමාණය අනෙක් ප්‍රදේශවලට වඩා වැඩිවී ඇත්තේ මත්පැන් අළෙවිය ඉහළ නිසයි.වතුකරයේ අතිබහුතරය හින්දු ආගමිකයින්.බුද්ධාගමේ හෝ ඉස්ලාම් ආගමේ මෙන් හින්දු ආගමේ මත්පැන් වලට දැඩි එරෙහිවීමක් නැහැ.වතු ජනතාව මත්පැන් සඳහා වැඩිපුර යොමුවීමට මේ සමාජ හා ආගමික කාරනාද බලපානවා…

වතු ජනතාව හම්බකරන මුදල්වලින් වැඩි කොටසක් ගිලී යන්නේ මත්වතුරේය.ඔවුන්ගේ ඇති මතට ලොල්බවින් ප්‍රයෝජන ගන්නා ඇතැම් දේශපාලනඥයින් තම බලය තහවුරුකර ගැනීම පිණිස වැඩිවශයෙන් උපයෝගිකරගන්නේ මත්පැන්ය.එහෙත් දේශපානඥයින් තබා ඔවුන්ගේ නියෝජිතයින්ද එය පිළිගැනීමට අකමැතිය.ඒ ඔවුන් කරනාදෙය වැරදිබව ඔවුන් දන්නා නිසාය.මත්පැන් බෝතලයකට වසන්ව යමින් තිබෙන ජීවිතය සොයාගැනීම වතුකම්කරුවන්‍ට අභියෝගයකි.එය අභියෝගයක් නොවන තැනක්වෙත වතුප්‍රජාව තල්ලුකරගෙන ගොස් ඔවුන්ට ජීවිතය දකින්නට ඉඩදීම වගකිව යුත්තන්ගේ යුතුකමය.මෙතෙක් එය ඉටුනොවීම වතු ජනතාවගේ පමණක් නොව ‍රටේද අභාග්‍යයකි.රටේ ආර්ථිකය ශක්තිමක් කිරීමට අවශ්‍යය විදේශ විනිමය උපයාදීම පිණිස තේ නිෂ්පාදන කාර්යය ඉහළ දැමීම වෙනුවෙන් වතුකම්කරුවන් ලබාදෙන දායකත්වය ඉතා ඉහළය.තේ නිපදවීමට උරදී ඉන් ලැබෙන මුදලින් මත්පැන් පානයට යොමුවන වතුජනතාව ඉන් මුදවා ගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුණහොත් ඔවුනට සිදුවන්නේ තේ වක්කළ පසු තේකොළ වලට සිදුවන දේට නොදෙවෙනි දෙයක් බව සක්සුදක්සේ පැහැදිලිය.

මධ්‍යම පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය.-වතුකරයේ ජනතාව සෙසු පළාත්වල ජනතාවට වඩා මත්පැන් පානයට ඇබ්බැහිවී තිබීම ඔවුන්ගේ සෞඛ්‍යය මට්ටම සෙසු පළාත්වලට වඩා අඩුවීමට ප්‍රධානතම හේතුවක් බව ලෝක සෞඛ්‍යය සංවිධානය මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් සිදුකළ පරීක්ෂණ මගින් පැහැදිලි වෙනවා.ගැබිණි මව්වරුන්ගේ පෝෂණ ඌනතාවය,අඩුබර දරු උපත්, මන්දපෝෂණය ආදී කරුණු රැසකට මේ බීමත්කම ප්‍රධාන සාධකයක් බව හෙළිවී තිබෙනවා.විශේෂයෙන්ම වතුකරයේ සැමියා හා බිරිඳ දෙදෙනාම මත්පැන් බීමට හුරුවී සිටින තත්ත්වය අනෙක් පළාත්වලට වඩා වැඩියෙන් දැකිය හැකියි.පවුලේ ආදායමෙන් වැඩි කොටසක් බීමට ගියාම කෑමට බීමට හා වෙනත් අවශ්‍යතාවන්‍ වෙනුවෙන් වියදම් කිරීමට මුදලක් ඉතිරිවෙන්නේ නැහැ.මේ නිසා හොඳ ආහාර වේලක් ගන්න මව් වරුන්ටත් දරුවන්ටත් ලැබෙන අවස්ථාව අඩුයි.මේ නිසා විවාහවන කාන්තාවන් ගොඩ දෙනෙක් ඉන්නේ පෝෂණ මට්ටම අඩු තත්ත්වයකයි.එයාලා බිහිකරන දරුවන්ට මේක ඍජුවම බලපානවා.අඩුබර දරු උපත් වැඩිම වතුකරය ආශ්‍රීතවයි.මහනුවර අඩුබර දරුඋපත් ප්‍රතිශතය 12% ක් පමණ වුවත් නුවරඑළියේ එම අගය 20 % කට ආසන්නයි.මාතෘ මරණ සජීවී දරු උපත් ලක්ෂයකට මහනුවර මව්වරු 30 දෙනකු පමණ මියගියත් නුවරඑළියේ මෙම අගය 60 කට ආසන්න අගයක පවතිනවා.මේ දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරු වැඩිම පිරිසක් සියදිවි නසා ගැනීමත් මෙම අගය ඉහළ යෑමට බලපානවා.මධ්‍යම පළාතේ අධ්‍යාපන හා සෞඛ්‍යය දර්ශක ජාතික මට්ටමේ අගයන් හා සැසඳීමේදී පහළ මට්ටමක පැවතීමට ප්‍රධානමතම හේතුව වතුකරයේ සෞඛ්‍යය හා අධ්‍යාපන දර්ශකවල අගයන් අඩු අගයක් ගැනීමයි.පළාතේ සමස්ථ දර්ශකය ජාතික මට්ටමේදී පහළට ඇද වැටීමට තරම් මෙම තත්ත්වය ප්‍රබලයි.දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක හා සැසඳීමේදී වතුප්‍රජාව අතර මානසික රෝගවලට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාවද ඉහළයි.පසුගිය වසර වසර හතරක කාලයකුළ වතුකරයේ ගැබිණි මව්වරු 39 දෙනකු සියදිවි නසාගෙන තිබෙන බවට දත්ත තිබෙනවා.මෙම මරණ වලින් 99% කටම මත්පැන් ප්‍රධාන හේතුවක් බව පැහැදිලි වුණා.දිස්ත්‍රික්කයේ ළමා අපචාර සිද්ධි වැඩිවීමටද අරක්කු පානය බලපා තිබෙන බව ලෝක සෞඛ්‍යය සංවිධානයද පෙන්වා දෙනවා.මෙම තත්ත්වය හේතුවෙන් රජය මෙම වතු ප්‍රජාව මත්පැන් ගැටලුවෙන් මුදවා ගැනීම පිණිස දැනුවත් කිරීම් රැසක් ක්‍රියාත්මක කරනවා.එහි යම් ප්‍රගතියත් දක්නට ලැබී තිබෙනවා.