මනහර කඳුවැටියකින් හා නිල්වන් කැලෑ රොදකින් වටවූ අරනායක ගම්තුනේ අවුරුදු 81ක් තිස්සේ සතුටින් ජීවත් වන පී බී කරුණාදාස දැන් සිටිනුයේ ලොකු බයකිනි. ඔහු මෙන්ම ගංතුන ගම්මානයේ තව බොහෝ දෙනෙක් හයියෙන් එන සුළඟටත් බිය වෙති.

තරිඳු ජයවර්ධන
ඡායාරූප අමන්ත පෙරේරා සහ තරිඳු ජයවර්ධන
(අරණායක ගංතුනේ සංචාරයකින් පසු)

අවුරුදු ගණනක් ජීවත් වූ අලංකාර පරිසරය දමා යෑමට තැනැක් නැති නිසා සමහරු තවමත් ජීවත් වන්නේ ඉරි තලා බිත්ති ඈත්වුණු නිවාසවලය.
මාවනැල්ලේ සිට අරනායකට ගොස් අම්බල කන්ද පසුකරමින් ගිය විට හුළංකපොල්ල හමුවෙයි. හුලං කපොල්ලෙන් දකුණට දිවෙන මාර්ගයේ යන ගංතුන වැසියන් දකුණු පසින් ගෙවල් දහයක් විනාශ කරගෙන නාය ගිය ඉස්තානය දර්ශනය වෙත්ම ඉරි තලා ගිය තම නිවාසවලට යන්නේ චංචල සිතිනි.
ගංතුනට යන මාර්ගය ද තැනින් දැන ගිලා බැස තිබුණු අතර තැන් දෙකක පමණ කඩා වැටුණු පස් කඳු හරි හැටි ඉවත් කර නොතිබිණි.

ගම්තුනේ ආර් පී සෝමරත්න මහතා සහ හේමන්ත අමරනාත් සුරවීර මහතා සංස්කරණය කළ ‘මෙහෙවර‘ නම් කෘතියට අනුව ගම්තුනේ ඉතිහාසය වලගම්බා රජ දවස තෙක් දිවෙයි. උඩගම, පල්ලෙගම හා බෙලිහුල්වාන යන ගම් ත්‍රිත්වය ඈඳීමෙන් ගම්තුන යන නාමය පට බැඳී ඇති බව ජනප්‍රවාදයේ කියැවෙයි.

දීර්ඝ ඉතිහාසයකට උරුම කම් කියන ගම්තුනේ අනාගතය ගැන ගමේ බොහෝ දෙනෙකු කතා කරනුයේ කුකුසකිනි.
එස් පී ලෝචන (34)ගේ නිවස ද ඉරි තලා ගොසිනි. කොයි වෙලේ බිත්ති බිමට පතිතවේදෝයි ඔහු මෙන්ම ඔහුගේ දරු දෙදෙනා ද බියෙන් සිටිති.
‘අපේ ගෙදර ඉරි තලලා. ළමයින් දෙන්නා බයෙන් ඉන්නේ. රෑට හුළඟක් ආවත් ළමයින් දෙන්නා බය වෙනවා.‘ යැයි ලෝචන කීවේය.
ආර් පී සෝමරත්න සහ කාන්ති විජේසිංය යුවළ ද ලෝචන මෙන්ම කුකුසකින් ජීවත් වන අතර ඔවුන්ගේ ආර්ථිකයද කෙමෙන් කෙමෙන් පරිහානිය කරා යන්නේ ස්වභාවික නස්පැත්තිය මෙන්ම වගකිව යුත්තන්ගේ ප්‍රමාදය නිසා බව ඔවුහු පවසති.

‘අරනායක රාමසර කන්ද නාය ගියාට පස්සේ හැමෝම බයෙන් ඉන්නේ. ඒ සිදුවීමෙන් පස්සේ ගංතුනට එන මාර්ගය තැනින් තැන ගිලා බැහැලා. අපේ මහ ගෙවල් පුපුරලා.‘ යැයි කාන්ති විජේසිංහ කීවාය.

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් පැමිණ පරීක්ෂා කළත් හරි උත්තරයක් නුදුන් බවත්, මෙය අධි අවදානම් කලාපයක් බව කියමින් ඇතැමුන් ගිය බවත්, දැන් ගමේ පාසලද වෙනත් තැනකට ගෙන යෑමේ වෑයමක් ඇති බවත් ඇය කියන්නීය.

‘වැඩිපුර කටකතාත් යනවා. ඉහළින් පෙනෙන කකුළුපිටිය ගල පෙරලෙනවා කියලත් කට කතාවක් ගිහින් කට්ටියක් පැනලා දිව්වා. යන්න තැනක් නැති නිසා අපි දිව්වේ නෑ. මෙහෙට එන පාරේ ගෙවල් දහයක් පමණ නාය ගියා. මේ ගම ගැන බලන්න ජනමාධ්‍යයෙන්වත් එන්නේ නෑ. ගමේ පාසලත් වෙන තැනකට ගෙනියන්න යනවා. මොනවා වෙනවද කියලා අපටවත් හිතා ගන්න බෑ. අපිව හරියට දැනුම්වත් කරන්නෙත් නෑ. දැන් අපෙත් ඔළුව හොඳ නෑ වගේ. ඉන්නවට ඉන්නවා.‘ යැයි කාන්ති පැවසුවාය.

ගමේ සිල්ලර කඩයක් කරගෙන ජීවත් වන කාන්තිගේ සැමියා ආර් පී සෝමරත්න කියනුයේ දැන් පෙරට වඩා වෙළෙඳාම අඩු බවයි. ගම ගැන ලියැවුණු පොතේ සංස්කාරක ඔහුය.

‘ගමේ බොහෝ දෙනෙක් නැහැ. අනාරක්ෂිතයි කියා වෙනත් තැන්වලට ගිහින්. ඒ නිසා කඩේ වෙළඳාමක් නෑ. ‘ සෝමරත්න කීවේය.
ගමේ වැඩි දෙනෙක් ජීවත් වන්නේ වැවිලි කර්මාන්තයෙනි.

උපන් දා සිට ගංතුනේ ජීවත් වන පී ආර් එස් සුරවීර කීවේ තේ, ගම්මිරිස්, කෝපි, කරාබු මෙන්ම කුඹුරු ගොවිතැනින්ද ගංතුන වැසියන් වැඩි දෙනෙකු ජීවිතය සරි කර ගන්නා බවයි.

එම පවුල් ගමෙන් ඉවත් කළහොත් ගොවිතැනට යන කළ දසාව ගැනත් කිලෝමීටර ගණනක සිට නැවත ගොවිතැන් කිරීමට කඳු මුඳුනට ඒමේ අපහසුව ගැනත් ගම්වැසියෝ තැන තැන කතා කරති.

ගෙවල්වල සිටීම අනාරක්ෂිත බව කීවද යන්න එන්න තැනක් නැති නිසා නැවතත් ගමටම වී සිටින බව එච් පී විජේ (50) කීවේය.
‘ගෙවල් බලලා යන්න කිව්වා. දවස් හයක් පමණ කඳවුරක හිටියා. කඳවුරේ ජීවත් වෙන්න අමාරුයි. වෙන යන්න තැනකුත් නෑ ඒ නිසා ආයෙත් ගමටම ආවා.‘ යැයි ඔහු කීවේය.

හත්තෑ පස් හැවිරිදි චන්ද්‍රා වික්‍රමගේ දරු මුණුබුරන් කිහිප දෙනකුගේ මිත්තනියකි. ඇයද ගමට වී ඇති නස්පැත්තිය ගැන කියනුයේ දැඩි කණගාටුවෙනි.
‘ගෙවල් ඇවිත් බලලා ගියා. කොළඹට වාර්තාව යවලා සතියකින් කියන්නම් කිව්වා. තවම නම් කිව්වේ නෑ. රෑට නින්ද යන්නෙත් නෑ මහත්තයො අපි හරි බයෙන් ඉන්නේ. ‘ චන්ද්‍රා මහත්මිය කීවාය.
ඇගේ සැමියා වන පී බී කරුණාරත්න (81) අවසන් වශයෙන් ප්‍රශ්න කළේ උපන් දා සිට අවුරුදු අසූ එකක් තිස්සේ ජීවත් වන ගම්මානය දමා කොහේ යන්නද කියාය.
02