යුද්ධයේ සැහැසි බව දරාගත නොහැකිිව එදා ජීවිතද පරදුවට තබා රට අත්හැර ගිය ඔවුන්ට තවමත් ඉන්න හිටින්න හරියාකාර තැනක් නැත. යුද්ධයේ නිමාවට වසර හතක් ගතවුවද වව්නියාවේ සෙට්ටිකුලම් ප‍්‍රදේශයේ නිත්‍යනගර්හි ඔවුන්ගේ ජීවිත තවමත් නිමක් නොදකින යුද්ධයකය. යුද සමයේ ඉන්දියාවට ගොස් නැවත ලංකාවට පැමිණි ඔවුන්ගේ ජීවිත පුවත් සොයා අපි නිත්‍යනගර් ගම්මානයට ගියෙමු.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

13410534_1140544509342001_2110728276_o
‘දැන් අපිට හරියට කන්නත් නෑ, බොන්නත් නෑ, ඉන්න හිටින්න තැනකුත් නෑ. ඒ මදිවට අලිත් ගහනවා.’ පී. ආර්මුගම් (51) තම ගැටලූ අප හමුවේ තැබීමට මුල පුරයි.

නිත්‍යනගර් ග‍්‍රාමයේ ආරම්භය සිදුවන්නේ 1977 දී පමණය. මාතලේ, නුවර ආදී විවිධ ප‍්‍රදේශවල පදිංචිව සිටි දමිළ ජනයාගෙන් සමහරෙක් එවකට තිබූ කැරලි කෝලාහලවලින් මිදීමට පලා එන්නේ එම ගම්මානයටය. එහෙත් එහිදී ද ඔවුන්ට සැනසීමක් හෝ නැවතුමක් ළඟා වන්නේ නැත.

‘යුද්දෙ කාලේ මෙහේ ජීවත් වීම සෑහෙන අමාරු වුණා. ගොඩක් අයට ඕන වුණේ ජීවිතේ ගැන විශ්වාසයක් නැතත් යුද්දෙට මැදිවෙලා ඉන්නවට වඩා කොහේට හරි පැනලා යන්න. 1990 දි අපි මන්නාරමට පයින් ගියා. එතැන ඉඳලා විසිදෙනෙක් විතර කණ්ඩායමක් බෝට්ටුවෙන් තමයි ඉන්දියාවට ගියේ. මුලින් අපි රාමේෂ්වරම් කඳවුරක ඉඳලා පස්සේ තූත්තුකුඩි කඳවුරකත් හිටියා. කෑම, බීම තමිල්නාඩු රජයෙන් සැපයුවත් වෙනත් කිසිම පහසුකමක් තිබුණේ නැහැ.’ නවදීශ්වරී (33) සිය ළමා කාලයේ මතකයන් අප හමුවේ තබයි.

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ගෙවූ කාලය තුළ ඔවුන් දැඩි සෞඛ්‍ය හා මානසික ගැටලූවලට මැදිවූ බවද ලංකාවට පැමිණීමට එයද හේතු වූ බව ඇය පවසයි. ලංකාවට නැවත පැමිණි පසුද කඳවුරු කීපයකම දිවිගෙවන ඔවුන් කීප වරක්ම අවතැන් වීමද සිදුව ඇත.

‘2008 ට කලින් ආව අයට තාවකාලික බලපත‍්‍රයකින් ඉඩම් ලැබුණා. රාජ්‍ය නොවන ආයතනයකින් ගෙවල් හදාගන්න ඕන ටකරන් වගේ දේවල් ලැබුණා. ගොවිතැන් කරලා, එළුවෝ ඇති කරලා යාන්තම් ජීවත් වෙනවා. ඒත් වන අලි ඇවිත් ඒ ඔක්කොම විනාශ කරනවා.’යි නවදීශ්වරී කියයි.

මැටියෙන් වට වූ ඉරි තැලූණු මැටි බිත්ති හතර ටකරන් කොළයෙන් සෙවණ වන ඔවුන්ගේ නිවාස ගිනිමද්දහනට කුඩා ගිනියම් පෝරණු ලෙස දිස්වෙයි. ඒවායේ කවුළු දොරින් දෑසක් දල්වා එබී බලන කුඩා දරුවන්ගේ දෑස් තවමත් නෙතු මානයක නොපෙනෙන ඔවුන්ගේ හෙට දවස සොයයි. එළුවන් දෙතුන් දෙනෙකු ඇතැම් නිවසක පිටුපස කොටු කර සිටියද බොහෝ නිවාසවල වැසිකිළියක් හෝ දක්නට නොමැති අතර ඉඳහිට හෝ තිබුණොත් එයද අතු ඉතිවලින් වට කළ කුඩා පැලකි.13446306_1140545189341933_179183663_o

‘ඉස්කෝලේ තියෙන්නේ ගමේ ඉඳලා කිලෝමීටර 4ක් විතර දුරින්. ඒත් ඒකේ පන්ති තියෙන්නේ 5 වසරට එනකන් විතරයි. ළමයි ඉස්කෝලේ යන්නේ බයිසිකල්වලින්. නැත්නම් පයින්. වැස්ස දවසට යන්නේ නැහැ. පුවරාසකුලම් රාජ්‍ය දමිළ පාසල තියෙන්නේ කිලෝමීටර් 10ක් දුරින්. ඒකේ නම් 11 වසරට වෙනකම් පන්ති තියෙනවා. ගමට බස් එකක්වත් තිබුණා නම් ළමයින්ට ඉස්කෝලේ යන්න පහසුයි.’

ඒ නිත්‍යනගර් ගම්මානයේ කාන්තාවන් තම ගැටලූ වෙනුවෙන් පිළිතුරු සෙවීමට පිහිටුවා ගත් කාන්තා සංවිධානයේ සභාපති කලාදේවි (42) ය. ඇය ඇතුළු පවුලේ අයද 1990 දී තම දේපොළ හා එළුවන් ආදිය ඉතා අඩු වටිනාකමකට විකුණා දමා ඉන්දියාවට ගොස් නැවත පැමිණ ඇති අතර, පසුව 1992 දී යුද්ධයට මැදිව ඇගේ පියා මියගොස් තිබිණි.

නිත්‍යනගර් ගම්මානයට බස් රථයක් හෝ නොමැති වීම ඔවුන්ගේ ජීවිත තවත් දුෂ්කර බවට පත්කර තිබෙයි. රෝහලට වුවද ඔවුන්ට කිලෝමීටර් 5ක් පමණ දුර කැලෑ බිම අතරින් අලින්ගේ ගර්ජන මධ්‍යයේද කෙසේ හෝ ගෙවා යා යුතුය.

‘ඡන්දෙ කාලේ අපිට බස් එකක් දෙනවා කියලා පොරොන්දු දීලා ගියා. ඒත් ඒවා බොරු පොරොන්දු විතරක් වුණා. අපි කියන්නේ දෙමළ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ලබාදෙන්න කියලා.’ කලාදේවි ඔවුන්ට ලැබුණු ඡන්ද පොරොන්දු පිළිබඳ එලෙස සිහිපත් කරයි.

ඉන්දියාවේ සරණාගත කඳවුරු තුළ සිටින ශ‍්‍රී ලාංකිකයින්ට නැවත ලංකාවට පැමිණෙන ලෙස රජය ඉල්ලීම් කළද ඔවුන් බොහෝ දෙනාට මූලික අවශ්‍යතා හෝ අද වනවිටත් ලැබී නොමැති බව පෙනී යයි. ඉන්දියාවේ සිටියදී UNHCR (United Nations High Commissioner for Refugees) මගින්ද දිගින් දිගටම ඔවුන්ට නැවත ශ‍්‍රී ලංකාවට යන ලෙසත්, ලංකා රජයෙන් එම සරණාගත අයට නිවාස ලබාදීමට කටයුතු කරන බවත් පැවසූ බව එම ගම්වාසීන් පවසයි.

නැවත පදිංචිකිරීමේ, ප‍්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දැක්වෙන සංඛ්‍යා ලේඛනවල 2015.04.30 දින වනවිට වව්නියා දිස්ත‍්‍රික්කයේ නැවත පදිංචි කිරීමට නියමිත අවතැන් වුවන්ගේ පවුල් සංඛ්‍යාව 326ක් ලෙස සඳහන් වුවත් එම සංඛ්‍යාව යනු තවම අවතැන් කඳවුරු තුළ ජීවත්වන ප‍්‍රමාණයයි. එහෙත් වව්නියාව දිස්ත‍්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අප කළ විමසීමකදී පැවසුවේ තවමත් වව්නියා දිස්ත‍්‍රික්කයේ පවුල් 12,000කට නිවාස නොමැති බවයි. මෙම වසරේ නිවාස 1,000කට ප‍්‍රතිපාදන ලැබී තිබෙන බවත්, එක්වරම සියල්ලන්ටම නිවාස ලබාදීමට හැකියාවක් නොමැති බැවින්, එය ඒ ආකාරයෙන් කොටස් වශයෙන් කිරීමට සිදුවන බවයි.

වරින්වර රජයේ ඉල්ලීම හේතුවෙන් ලංකාවට පැමිණි පිරිසක් සිටියද සංඛ්‍යා ලේඛනවලට අනුව ශ‍්‍රී ලාංකීය සම්භවයක් ඇති සරණාගතයන් 102,000 ක් පමණ තවමත් ඉන්දීය සරණාගත කඳවුරුවල සිටිති. පසුගිය දිනෙක තමිල්නාඩුවේ මධුරෙයි ඌච්චපටි සරණාගත කඳවුරක සිටි ශ‍්‍රී ලාංකිකයකු වූ රවීන්ද්‍රන් නම් පුද්ගලයකු සංඥා කුලූනකින් බිමට පැන සියදිවි හානි කරගත් බව දමිළ මාධ්‍ය වාර්තා කර තිබුණි. කඳවුර තුළදී රෝගාතුරව රෝහල් ගතකරන ලද ඔහුගේ දරුවා දින 15කට වරක් සිදුකරනු ලබන ගණනය කිරීමේදී කඳවුර තුළ නොසිටීම නිසා එම දරුවා සංඛ්‍යා ලේඛනයෙන් ඉවත් කිරීමට එහි පාලකයන් කටයුතු කිරීම රවීන්ද්‍රන්ගේ දිවි හානි කරගැනීමට හේතුව යයි සඳහන්ව තිබුණි. ඉන්දියාවේ සරණාගත කඳවුරු තුළ ඔවුන් ගෙවන ජීවිතය සුන්දර නැත. ඔවුන් සිය මව්බිමට කැඳවාගත යුතුය.

එහෙත් ඔවුන්ගේ ජීවිත යළි නඟා සිටුවීම මීට වඩා සැලසුම් සහගතව කළ යුත්තේ කෙසේදැයි සිතා ඊට අදාළ කඩිනම් පියවර ගත යුතුව පවතියි.
13405522_1140544892675296_6928294_o