කලක් යුද බිමෙහි කටුක දිවියක් ගෙවූ ඇය ඒ සියල්ල මතකයෙන් ඉවත් කර කඳවුරින් ඉවතට පා තබන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි පුරවාගෙනය. ඇය ද සමාජයේ අනෙක් තරුණියන් මෙන් විවාහ දිවියකට එළැඹ දරුවන් වදා සන්තෝසයෙන් ගත කිරීමට පෙරුම් පුරන්නියකි. එහෙත් අමෝරාගත් ගිනි අවි සේ සැකයේ ඇස් හා චෝදනා ඇය දෙසටම යොමුව ඇත.

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පසුගිය යුද සමයෙහි එල්ටීටීඊ සංවිධානයට අයත් වූ සාමාජික සාමාජිකාවෝ ඉන් පසු යුද හමුදා කඳවුරු තුළ පුනරුත්ථාපනයට ලක් කෙරුණාහ. එයින් පසු ඔවුන්ගේ ඉරණම කුමක් වීද? සමාජය තුළ මේ වනවිට ඔවුන්ට හිමි තැන කුමක්ද? ඒ පිළිබඳ සෙවීමට අපි කිලිනොච්චි ප‍්‍රදේශයේ පදිංචි පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ සාමාජිකයන් සොයා ගියෙමු.

කිලිනොච්චි නගරයට මඳක් එපිටින් වූ ගම්මානයකදී හමුවූ පුනරුත්ථාපනය කරන ලද 24 හැවිරිදි නම සඳහන් නොකරන ලෙස ඉල්ලූ තරුණිය ඇගේ ජීවන තොරතුරු අප හමුවේ තැබුවාය.

‘වයස අවුරුදු 19දී මම එල්ටීටීඊයට බැඳුණා. මගේ සහෝදරයාත් යුද්දෙන් මියගියා. යුද්දෙ ඉවර වුණාම පුනරුත්ථාපනය සඳහා අපව කැඳවලා තිබුණා. මම ඒ සඳහා ගියා. යුද හමුදා කඳවුරක අවුරුදු එකහමාරක පුනරුත්ථාපන කාලයක් අපව රඳවා ගත්තා. කඳවුරෙන් ආවාම විවාහ වෙලා පවුල් ජීවිතයක් සන්තෝසයෙන් ගතකරන්නයි මම බලාපොරොත්තු වුණේ. ඒත් ඒ හැමදේම හිතපු විදිහට සිදුවුණේ නැහැ. සමාජය අපිව පිළිගන්න කැමති නැහැ. අවුරුදු එකහමාරක් කඳවුරක ඉඳලා ආ නිසා ඒ අය අපි දිහා බලන්නේ සැකෙන්. විවාහය තවම මට සිහිනයක්. මේක මට විතරක් තිබෙන ගැටලූවක් නෙමෙයි. පුනරුත්ථාපන කඳවුරක ඉඳන් ආව තරුණ කාන්තාවන් හැමදෙනාටම වගේ තිබෙන ගැටලූවක්. සමාජය අපි දිහා බලන්නේ සැකයෙන්.’

පුනරුත්ථාපනයෙන් පසු ඔවුන් පොදු සමාජ ජාලයෙහි පුරුක් බවට පත්වූවායයි බොහෝ දෙනා සිතුවත් එය ඒ ආකාරයෙන් සරල ලෙස සිදුවී නොමැති බව පෙනී යයි. කුරිරු යුද්ධය අවසන් වුවත් සමාජයෙන් එල්ලවන්නා වූ කුරිරු අවමානයන්ට මැදිව ඔවුහු තවමත් පීඩා විඳිති.
‘ඒ 1996 අවුරුද්ද. මම ඒ වනවිට එල්ටීටීඊ සංවිධානයට බැඳිලා අවුරුදු 3යි. යාපනයේ දී අපි ගමන් ගත් ටිපර් රථය බිං බෝම්බෙකට හසුවුණා. එයින් මගේ දකුණු කකුල කැඩුණා. තවත් සිරුරෙහි තුවාල කිහිපයක් සිදුවුණා. අවුරුද්දක් රෝහල්ගත වී ඉන්න සිදුවුණා. ආබාධිත වුණාට පස්සේ මම එල්ටීටීඊ එකේ විධායක ශ්‍රේණියේ සේවය කළා. යුද්ධය අවසාන වුණාම 2010 අවුරුද්දේ මම කඳවුරක අවුරුද්දක කාලයක් පුනරුත්ථාපනය වුණා. මුලදී අපි පුනරුත්ථාපනයට ගියේ සැකෙන්. ආයෙ එන්න ලැබේද කියලා සැක හිතුණා. එහෙත් දවසින් දවස ඒ සැකය නම් නැති වුණා. පුනරුත්ථාපනේ ඉවර වෙලා එද්දි අතට රුපියල් 250ක් දුන්නා. බස් එකෙන් ඇවිත් බැහැලා ත‍්‍රිරෝද රථයකින් ගෙදරට එද්දී අතේ සතයක් ඉතිරි වුණේ නෑ. මට තිබුණේ මැටි ගෙයක්. මගේ කකුල නෑ කියලාවත් වෙනත් ධනයක් නෑ කියලාවත් මම වැටුණේ නෑ. ගොයම් කපලා, තණකොළ කපලා ජීවත් වුණා. කඳවුරේ ඉඳලා ආවාම නෑදෑයෝ, යාළුවෝ මාව සම්බන්ධ කරගන්න කැමති වුණේ නෑ.’

නම සඳහන් නොකරන ලෙස ඉල්ලන ඔහු දැන් ත‍්‍රිරෝද රථ රියදුරෙකි. එහෙත් රියදුරු බලපත‍්‍රයක් ලබාගැනීමට ද නොහැකිව ඔහු ළතැවෙයි. ආබාධිත අය සඳහා රියදුරු බලපත් ලබාගත හැකි විශේෂ වර්ගයේ ත‍්‍රිරෝද රථයක් ලබාගැනීමට තරම් ඔහුට වත්කම් නැත. ඉතා පහසුවෙන් ලීසින් ගෙවමින් ඔහු දරුවන් තිදෙනෙකුගෙන් යුතු තම පවුල රැුකගැනීමට වෙහෙසෙයි.

‘ආබාධිත අයට කෘත‍්‍රිම පාද සඳහා රජයෙන් රුපියල් 50,000ක් දෙනවා. ඒ සඳහා ග‍්‍රාම සේවක විසින් සහතික කළ යුතු කඩදාසියේ තිබෙනවා ‘ඉහත නම සඳහන් පුද්ගලයා රජයට හෝ ශ‍්‍රී ලංකා යුද හමුදාවට විරුද්ධව ක‍්‍රියා නොකළ බවට සහතික වෙමි’ කියා වාක්‍යයක්. ඉතින් අපි එල්ටීටීඊ එකේ සාමාජිකයෝ වෙලා හිටි නිසා ඒ අය අත්සන් කරන්නෙ නෑ. මේක මට විතරක් නෙවෙයි 12,000කටම තිබෙන ගැටලූවක්.’
යුද සමය අවසාන වී වසර පහක පමණ කාලයක් ගතවුවද පුනරුත්ථාපනය වූ තමන් සාමාන්‍ය වැසියන් ලෙස පිළිගැනීම තවමත් සිදුවී නොමැති බව ඔවුන්ගේ අදහසයි.

‘අපි එල්ටීටීඊ එකේ විනයක් ඇතුව වැඩ කළේ. ගමේ සමිති සමාගම්වල නායකත්වය අරන් වැඩ කරන්න කැමතියි. ඒත් වංචා, ¥ෂණ නැතිව අපි නිවැරදි දෙය කරන නිසා සමහර අය අපි නායකත්වය ගන්නවාට අකමැතියි. අනිත් දේ තමයි අපි දිහා සමහරු තවමත් බලන්නේ සැකයෙන්. ඒ නිසා මම ගමට නායකයෙක් වෙන්න යන්නේ නැහැ. ගෙදරට විතරක් නායකයෙක් වෙලා ඉන්නවා.’

සමාජයට පහපතක් කිරීමේ අරමුණ ඔවුන් තුළ පවතියි. එහෙත් ඒ වෙනුවට ඔවුන් සමාජයෙන් පෙරළා ලබන්නේ චෝදනා සහ සැකයයි. එබැවින් ඒ ජීවිත සමාජයෙන් ඉවත්ව තම නිවාස තුළ සැඟවීමට උත්සාහයක යෙදෙති. පුනරුත්ථාපනයෙන් පසු එම ජනයා නැවත සමාජය වෙත යොමු කරන්නේ අනෙක් සාමාන්‍ය ජනයා මෙන්ම සමාජ ක‍්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය ලබාදීමටය. එහෙත් ඔවුන්ට සිදුව ඇත්තේ හුරු පුරුදු සමාජයේම නන්නාඳුනන සේ අතරමං වීමටය.

තිස්හතර හැවිරිදි මණීමේඛලා අපට හමුවන්නේ කිලිනොච්චියේ ජයන්ති නගරයේදීය. ඇය වසර පහක් එල්ටීටීඊ සංවිධානයේ සේවය කර ඇත. යුද්ධය අවසන් වන කාලයේ ඇය තම ලොකු අම්මා සමග ගොස් යුද හමුදාවට බාර වී වසර එකහමාරක් පුනරුත්ථාපනයක් ලබා ඇත.
‘පුනරුත්ථාපන කාලේ අපිට කෑම බීම ලැබුණා. අපෙන් තොරතුරු විමසීම් සිදුවුණා. ප‍්‍රයෝජනවත් දෙයක් නම් ලැබුණේ නැහැ. එල්ටීටීඊ කාලයේ හැමෝටම කරන්න වැඩ තිබුණා. ඒ කාලේ රස්සාවල් තිබුණා. ගොවිතැන් තිබුණා. පුනරුත්ථාපනයෙන් පස්සේ එළියට ආවෘම අපිට කරන්න රස්සාවල් නැහැ. සිවිල් ආරක්ෂක බලකායේ රැුකියා දෙන බව කීවත් ලැබුණේ නැහැ. ඒ නිසා දැන් රුපියල් 7,000ක වැටුපට පොඩි රැුකියාවක් කරනවා. මහත්තයාත් රස්සාවක් නැති නිසා සෞදි ගියා.’

මණිමේඛලා යනු දිරිය කාන්තාවකි. ඇයට පිරිමියකු සේ ට‍්‍රැක්ටර්, යතුරු පැදි ආදියද ගෙන යා හැක. එහෙත් වෙහෙස වී වැඩ කටයුතු කිරීමට එදා මෙන් නොමැති වීම ඇයට මහත් පීඩාවකි. එමෙන්ම බඩවියත රැුකගැනීමට සරිලන රැුකියාවක් හෝ වෘත්තීය පුහුණුවක් නොමැතිව ඔවුන් අසහනකාරී තත්ත්වයට පත්ව ඇත.

ෂෙල් ප‍්‍රහාරයකට ගොදුරුව දෑසම අහිමි වූ අයෙක් අපට හමුවිය. ඔහු එල්ටීටීඊ නායකයා සමීපයේම කලක් සේවය කර ඇත. වසර 13ක් එල්ටීටීඊ සේවයේ නියුතු ඔහු යුද හමුදාවෙන් එල්ලවූ ෂෙල් ප‍්‍රහාරයකින් දෑසම අහිමි වූ පසු ප‍්‍රතිකාර ලබා පුනරුත්ථාපන කඳවුරකට ඇතුළත් වී ඇත.
‘හිටපු එල්ටීටීඊ කෙනෙක් කියලා හංවඩු ගහනවාට මම කැමති නෑ. ඕනෑම කෙනෙකුට තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියෙනවා. මටත් එහෙම තිබුණා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. මගේ ඇස් දෙකත් දුන්නා. මම මගේ කාර්යය සම්පූර්ණ කළා කියලා හිතනවා. දැන් ඒ සියල්ල අවසානයි. ආයෙ කවදාවත් දේශපාලනය කරන්නේ නෑ. හමුදාව එක්ක තරහක් නෑ. මිතුරන් ලෙස ඔවුන් දෙස බලන්නේ. එහෙත් අපි වගේ ආබාධිත අයට රජයෙන් ලැබෙන අවධානය හුඟක් අඩුයි.’

දරු දෙදෙනා හා බිරිඳ ජීවත් කිරීමට ඔහුට හරිහමන් රැුකියාවක් නැත. කිසිවකුගේ පිහිටක් නොමැතිකමින් ඔහු දැන් දෙවියන් පිහිට පතයි. කුඩා කේටරින් සර්විස් එකක් පවත්වාගෙන යන ඔහු පවසන්නේ විශාල ප‍්‍රමාණයේ මුදල් යොදා ආරම්භ වන ව්‍යාපාර අතර දෑසම නොපෙනෙන තමාට එය පවත්වාගෙන යාමද අපහසු බවයි.

යුද්ධය අවසානයේ නැවතත් සමාජගත කරන ලද බොහෝ දෙනා මුහුණ දී තිබෙන දැවැන්තම අර්බුදය රැුකියා නොමැති බවයි. යුද්ධය අවසාන වීමත් සමගම නොයෙකුත් රාජ්‍ය නොවන ආයතන මගින් ඔවුන්ට නොයෙකුත් සහනාධාර ලබා දුන්නද ඒවා අවශ්‍යතාවන්ට සරිලන ආකාරයෙන් සිදුවී ඇති බවක් නොපෙනේ. ගොවිතැන් කිරීමට අවශ්‍ය පුද්ගලයාට මැසීමටත් නොදන්නේ නම් මහන මැෂිමක් දීම ඵල රහිතය. එවැනි ආධාර ගඟට කැපූ ඉනි බවට පත්ව ඇත.

කිලිනොච්චියේ ස්ටුඩියෝවක් සහ ඞීවීඞී වෙළඳසැලක් පවත්වාගෙන යන 30 හැවිරිදි යෝගරාජා දිනේෂ් අතීතය සිහිකර අප ඉදිරියේ කඳුළු සලයි. යුද්ධය හා පවුලේ ගැටලූ හේතුවෙන් ඔහු තම අධ්‍යාපන කටයුතු අතරමග නතර කර ඇත. පියා පිළිකා රෝගයෙන් මියයද්දී ඔහුගේ සොයුරියක එල්ටීටීඊ සංවිධානයේ සේවය කරමින් සිට ඇත. ඇයද 2008 වසරේ මන්නාරම් සටනින් මියගොස් තිබේ.

‘මම විවාහ වුණේ 2008 වසරේ. ඉන් පස්සේ මමත් එල්ටීටීඊ සංවිධානෙට බැඳුණා. විවාහ වූ අලූත නිසා එල්ටීටීඊ නීතියට අනුව මාව යුද පෙරමුණට යැව්වේ නෑ. මට ලොකු පුහුණුවක් ලැබුණේත් නෑ. මම කළේ යුද බිමේ ඉදිරියට යන අයට අවශ්‍ය පහසුකම් සැලසීම. යුද්දෙ ඉවර වුණාම මාස හයක පුනරුත්ථාපනයක් දෙනවා කීවත් අවුරුදු දෙකහමාරක්ම කඳවුරේ ඉන්න වුණා. යුද පෙරමුණේ දීර්ඝ කාලයක් සිටි අය එක්කම මටත් දීර්ඝ කාලයක් කඳවුරේ රැුඳෙන්න සිදුවීම අසාධාරණයි නේද? පුනරුත්ථාපනය අවසන් වුණත් අපට කිසිම උදව්වක් ලැබුණේත් නැහැ. මේ හැම දෙයක්ම හෙමි හෙමින් මමම ගොඩනගා ගත් දේවල්.’

කර්මාන්ත ශාලා ආදිය ගොඩනගා තරුණ පිරිස් ඒ සඳහා යොමු කරනවා නම් ඔහු වැනි බොහෝ පිරිස් සඳහා ජීවිත ගොඩනගා ගැනීමට සහනයක් වනු ඇතැයි ඔහුගේ අදහසයි.

පුනරුත්ථාපන කාලයෙන් පසු නැවත සමාජගත කළා යැයි කීම අද වනවිට ද එම ජනයා විධිමත් ලෙස සමාජගත වූ බවක් පෙනෙන්නට නැත. ගිනිඅවි සමග කළ අරගලය නිමා වුවත් ඔවුන් ජීවත්වීම සඳහා එදා වේල සපයා ගැනීමට ද නොනිමි සටනක යෙදෙයි. සමාජය ද බොහෝ අවස්ථාවල ඔවුන් දෙස බලන්නේ වපර ඇසිනි. එමගින් ඔවුන් තුළ වේදනාව සහ පරාජිත බවක් තවම රජ කරයි. තවමත් ඔවුහු නම් හෙළි කිරීමට හෝ ඡුායාරූප සඳහා පෙනී සිටීමට දැඩි බියක් දක්වති. යුද්ධය නිමාවී ඇත. තවමත් ඒ ජීවිතවලට සැනසීම නම් උදා වී නැත.