මීට දශක කීපයකට පෙර පුත්තලම දිස්ත්‍රික්කයේ බටහිර මුහුදු තීරයේ දිස් වූ සුන්දර වෙරළ තීරය අද දක්නට නැත.
ස්වභාවයෙන්ම නිර්මාණය වූ වෙරළ තීරය ස්වභාවික ආපදා තුළින්ම විනාශ වී යාම ඊට ප්‍රධානතම හේතුවයි.

ආසිරි මල්ලවආරච්චි

නිරිතදිග මෝසම් සුළං සක්‍රීයවීම හේතුවෙන් මුහුදේ නැගෙන්නා වූ රළ පහරේ වේගයට වෙරළ තීරය ක්‍රමයෙන් මුහුදට බිලිවන්නට පටන්ගැනිණි.

අප්‍රේල් මස අග සිට ඔක්තෝබර් මාසයේ මැද දක්වා අතර කාල පරාසයක් තුළ නිරිතදිග මෝසම් සුළං බලපානු ඇත.

වසර ගණනාවක් තුළ පවත්නා වූ මේ ක්‍රියාවලිය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය සිට නයිනමඩම දක්වා ‍ෙවරළ තීරයේ ප්‍රදේශ රැසක වෙරළ තීරය මහ මුහුදට දිය වී හමාරය.

බොහෝ ස්ථාන මීටර් 50ත් 100ත් අතර ප්‍රමාණයක් මෙසේ ඛාදනය වී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ විටින්විට ක්‍රම ක්‍රමයෙන් ඛාදනය වීමට පටන්ගත් වෙරළ තීරය වර්තමානයේ මහා ව්‍යසනයක් බවට පරිවර්තනය වී හමාරය.

ඛාදනය ආරම්භයේදී පැවැති රජයයන්ට විසැඳුම් ලබාදීමට හැකියාව තිබුණි.

අදාළ බලධාරින් ඊට සෘජු ක්‍රියාමාර්ග ස්ථිරසාර විසැඳුම් ලබාදීමට අ‍පොහොසත්වීම කනගාටුදායකය.

කොටින්ම දශක කීපයක් පුරාවට අපේ රටේ තිබූ යුද්ධය හා සමානය. නියපොත්තෙන් සිදුකිරීමට තිබූ දෙය පොරොවෙන්වත් කිරීමට නොහැකි තරමට තත්ත්වය දරුණුය.

කල්පිටිය සිට නයිනමඩම දක්වා වූ වෙරළ තීරයේ දුර ප්‍රමාණය කිලෝමීටර් එකසිය හතළිහක් පමණය.

ස්වභාවික ගල්පර පිහිටා ඇති ස්ථාන හැර වෙරළ තීරයේ සෙසු ස්ථාන ඛාදනයට ලක්වී තිබේ. මින් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මූදුකටුව, තල්විල, ඔරුදැල්පොල, උඩප්පුව හා කල්පිටිය යන ප්‍රදේශවලටය.

වෙරළ ඛාදනයෙන් බලපෑම් එල්ල වන්නේ ධීවර කර්මාන්තයේ නියුතු ධීවර ප්‍රජාවට පමණක් නොව රටට විශාල ආදායමක් ගෙන දෙන සංචාරක කර්මාන්තයටද මින් දැඩි බලපෑම් එල්ල වේ.

එම වෙරළ තීරයේ සංචාරක හෝටල් විශාල සංඛ්‍යාවක් පිහිටා තිබේ. එහෙත් වර්තමානයේ බොහෝ සංචාරක හෝටල්වලට වෙරළ තීරය අහිමි වී තිබේ.

මේ නිසාම කාලයක් තිස්සේ විදෙස් සංචාරකයින්ගේ මෙන්ම දේශීය සංචාරකයින්ගේ පැමිණීම ඉතා අඩු බව හෝටල් හිමිකරුවන් කියා සිටිති.

මේ නිසා එම ප්‍රදේශවල සෘජු හා වක්‍ර රැකියා අහිමි වී ඇති සංඛ්‍යාව අතිවිශාලය. හෝටල් ආශ්‍රිතව තිබූ සුන්දර වෙරළ තීරය වෙනුවට අද දක්නට ලැබෙන්නේ වෙරළ ඛාදනය වැළැක්වීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දමා ඇති විශාල ප්‍රමාණයේ කළුගල්වලින් සමන්විත ගල්වැටිය.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් සංචාරක කර්මාන්තයේ ඉරණම කෙසේ වේද? අතිවිශාල ධනස්කන්ධයක් වැයකොට තැනූ සංචාරක හෝටල් හිමිකරුවන්ගේ ඉරණම කෙසේ වේද? රටේ ආර්ථිකයට සෘජුවම දායකත්වයක් ලබාදෙන ධීවර කර්මාන්තයේ ඉරණමද මේ අයුරිනි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වෙරළ ආරක්ෂා කිරීමට දමා ඇති ගල් වැටි නිසා ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවර ජනතාවට මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා අපමණය. සිය ධීවර යාත්‍රා මුහුදට දියත් කිරීමට වෙරළක් නොමැත. ගල්වැටි නිසා වෙරළ තීරය ඇහිරී තිබේ.

එමෙන්ම මහ මුහුද සමඟ පොර බදා ජීවිත පරදුවට තබා අල්ලා ගන්නා මත්ස්‍ය සම්පත රැගෙන එන ධීවර යාත්‍රා ගාල්කර තැබීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම මහත් ගැටලුවකි. ධීවර නිෂ්පාදන වෙළෙඳ පොළට සකසා ගන්නා ධීවර වාඩි වෙරළ ඛාදනය නිසා විනාශ වී ගොස්ය.

එදා රිසි සේ මුහුදට ගොස් මසුන් අල්ලා පැමිණෙන ධීවරයා අද වෙරළක් නොමැති මුහුදේ අතුරා ඇති මහ කළුගල් මත හිඳ තෙරක් නොපෙනෙන මහ සයුරු දෙස බලා සෝසුසුම් හෙළති. මේ හෙලන්නා වූ සෝසුසුම් සැනසුම් සුසුම් බවට පත්වන්නේ කෙදිනකද? සැබවින්ම ධීවර ජනතාවටත් ඔවුන්ගෙන් යැපෙන පවුල්වලටත් සුරක්ෂිතභාවයක් තිබේද?

ධීවරයින් තරම් රැකියා ආදායම් මාර්ග ක්ෂේත්‍රයේ කටුක අත්දැකීම් විඳින ජන සමූහයක් නොමැති තරම්ය. පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ක්ෂේත්‍රයේ නියැළි ධීවරයින් සංඛ්‍යාව තුන්දහසකට අධිකය. මින් යැපෙන පවුල් සංඛ්‍යාව අතිමහත්ය. පාරම්පරික ධීවර පන්න ක්‍රමයක් වන මාදැල් ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවරයින්ට සියපන්න ක්‍රමය උපයෝගී කරගෙන මසුන් මැරීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

මෙම පන්න ක්‍රමය සඳහා විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වේ. එමෙන්ම වෙරළ තීරයේ විශාල ඉඩ ප්‍රමාණයක්ද අවශ්‍යය. නමුත් ගල්වැටි දැමීම නිසා මෙම පන්න ක්‍රමයෙන් යැපෙන ධීවරයින් තුන්දහසක් පමණ අසරණ තත්ත්වයට පත්ව සිටිති. පිටත එන්ජින් සවිකර ඇති බෝට්ටු හිමියන්, පාරම්පරික ධීවර යාත්‍රා හිමියන් ඇතුළු බොහෝ පිරිසක් වර්තමානයේ දෙලොවක් අතර අතරමං වී සිටිති. ධීවර ජනතාවට ආවේනික වූ බස් වහරක් තිබේ.

බොහෝ අවස්ථාවල ඒ බස අනුසාරයෙන් ලියූ ගී අපට අසන්නට ලැබේ. එදා එනම් මීට දශක කිහිපයකට ඉහත මුහුදු වෙරළේ සිටින ධීවරයින් ඔවුන්ගේ රැකියාවේ නිරතවන අවස්ථාවේ විඩාව සංසිඳවා ගැනීමට මෙවැනි දෑ උස් හඬින් කීවෝය.

හෝයියා . . . හෝයියා . . . . . හෝයියා . . . . හෝයියා . . . හේල හෙලෙයියා . . . .

එදා වෙරළ තීරයේ ජනතාවගේ හඬ එලෙස ඇසුණි. ඒ වදන් හරිම සුන්දරය. කන්කළුය. වරක් ඇසූ තැනැත්තාට තවත් වරක් දෙසවන් යොමු කළ හැකිය. ඒත් අද දවස විටෙන් විට වෙරළ තීරයෙන් අපට ඇසෙන්නේ එවැනි මිහිරි වූ වචන නොවේ.

වර්තමානයේ ධීවර ජනතාවගේ පපු කැනැත්තේ තිබෙන දුක වචනවලට පෙරළෙන්නේ මෙලෙසය. දුන් පො‍රොන්දු කෝ . . . . දේශපාලනඥයින් බලධාරින් නිහඬයි . . . අපේ ගෙවල් මුහුදට බිලිවෙනකම් නිලධාරින් නිදි . . . . අද කෝ වෙරළක්.

මෙවැනි වදන් කියමින් උද්ඝෝෂණ කරමින් ධීවර ජනතාවට අද මහ පාරට බහින්න සිදුවී තිබේ. එදා ධීවරයා අත දරා තිබූ හබල, යොත්ත, විසිදැල වෙනුවට අද ඔවුන්ට අත දරා ගැනීමට සිදුව ඇත්තේ විවිධ සටන් පාඨ සහිත පෝස්ටර් හා බැනර්ය.

මේ පරිවර්තනයට වගකිවයුත්තේ කවරහුද? දේශපාලනඥයින් නොවේද?

පසුගිය කාලය තුළ වෙරළ ඛාදනය හේතුවෙන් වෙන්නප්පුව සිට තලවිල වෙරළ දක්වා නිවාස 200 කට අධික සංඛ්‍යාවක් මුහුදට බිලිවිය. පොල් ගස් විශාල සංඛ්‍යාවක් විනාශ විය. කැඩීයාමේ තර්ජනයට ලක්ව ඇති නිවාස සංඛ්‍යාව විශාල ප්‍රමාණයකි. වෙරළ තීරය ඛාදනය හේතුවෙන් වෙරළ අහිමිවනවා සේම හලාවත සිට නයිනමඩම දක්වා වූ මුහුදුබඩ මාර්ගය තල්විල මෝය හරහා ගමන් ගන්නා ප්‍රදේශය මුහුදට බිලි වී තිබේ. ඒ හේතුවෙන් මෙම මාර්ගයේ ගමනා ගමනය මුළුමනින්ම අඩාල වී ඇත.

මෙම ස්ථානයේ මෝය හරහා පාලමක් ඉදිනොකිරීම නිසා නිරිතදිග මෝසම් සුළං සක්‍රීයවීම හේතුවෙන් (වාරකන් සමය) ශීඝ්‍ර වෙරළ ඛාදනයක් සිදුවී මෙම මාර්ගය කැඩී ගොස් කලපුවත් මුහුදත් සම්බන්ධ වේ. හලාවත, තොඩුවාව, ඉරන්විල යන ප්‍රදේශවල ධීවර නිෂ්පාදන දෛනිකව පිට පළාත් සඳහා ප්‍රවාහනය කිරීමට භාවිතා කරන කෙටිම මාර්ගය හලාවත නයිනමඩම මුහුදුබඩ මාර්ගයයි.

එසේම පාසල් ළමුන් නාත්තන්ඩිය හා මාරවිල යන ප්‍රදේශවල පාසල් සඳහා ගමන් ගන්නා මෙම මාර්ගය කැඩීයාමෙන් සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට මහත් ගැටලුවක්ව පවතී. ඉතා දුර ප්‍රමාණයකින් යුත් වෙනත් විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවේ. සාමාන්‍ය ජනතාවටද අත්විඳීමට සිදුවන්නේද මෙවැනි දුෂ්කරතාවලටය.

මෙම මාර්ගය කැඩීයාම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පැවැති රජයන් හා වත්මන් රජය දැනුම්වත් කර එම ස්ථානයට පාලමක් ඉදිකර දෙන මෙන් ඉල්ලා සිටියත් මේ වනතෙක් කිසිම ප්‍රතිචාරයක් ලැබී නැත. මෙම මාර්ගය කැඩීයාම නිසා තල්විලවැල්ල, බරුදැල්පොල යන ප්‍රදේශවල පිහිටා ඇති සංචාරක හෝටල් වෙත සංචාරකයින්ගේ පැමිණීමද සැලකිය යුතු අන්දමින් අඩුවී තිබේ.

බොහෝ අවස්ථාවල මෙම ස්ථානයේ තාවකාලිකව වැලිකොට්ට දමා බොරළු අතුරා මාර්ගය සකස් කරනු ලබන්නේ ප්‍රදේශවාසීන් හා ගැටලුවට මුහුණ පා සිටින හෝටල් සේවක සේවිකාවන්ය. මීට වසර 10කට 15කට පෙර ඉතා දරුණු ලෙස වෙරළ ඛාදනයට ලක්වූයේ වෙන්නප්පුව මුහුදු තීරයය. මේ හේතුවෙන් එම වෙරළ තීරයේ නිවාස විශාල සංඛ්‍යාවක් මුහුදු රළ විසින් කඩා බිඳ දැමුවේය. ඊට විසඳුමක් ලෙස එවකට ගැඹුරු මුහුදේ සිට නැව් උපයෝගී කරගනිමින් වැලි පොම්ප කර වෙරළ නිර්මාණය කළේය.

එය ඉතා සාර්ථක ව්‍යාපෘතියකි. මේ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. කෙසේ වෙතත් ඛාදනය බලපාන ප්‍රදේශවල ජනතාව ඉල්ලා සිටින්නේ එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසයි. පවත්නා තත්ත්වය මත දිනෙන් දින ධීවරයාගේ දෛනික ජීවිතය අඩාල වේ. ඇතැම් ප්‍රදේශවල ධීවරයින්ට සිය ධීවර කටයුතු පවත්වාගැනීමට කෙදිනක හැකිවේදෝ යන්න අවිනිශ්චිත තත්ත්වයක් උදාවී ඇත. එදා හැම අතින්ම ශක්තිමත් ධීවරයා, උස් හඬින් කෑ ගැසූ ධීවරයා, ජවසම්පන්න ධීවරයා අද අන්ත අසරණ වී ති‍ෙබ්.

මිනිසාගේ ප්‍රෝටීන් අවශ්‍යතා සපුරාලීමට සෘජුව දායකත්වය සැපයූ, රටේ මන්දපෝෂණය තුරන් කිරීමට අත්වැලක් සැපයූ ධීවරයින්ගේ දුක් අ‍ඳෝනා පිටු ගණන් අදාළ බලධාරින්ට යොමු කළෝය. උගුරේ ලේ රස දැනෙන තුරු කෑ ගසා ඉල්ලීම් ඉල්ලුවෝය. වැඩවසන්නා වූ දෙවිවරුන්ට කන්නලව් කළෝය. ඒ සියලු දෑවල ප්‍රතිඵලයන් ශුන්‍ය වූ ධීවරයින්ගේ දුක් වචන බවට පෙරළුණේ මෙලෙසය. රෝලන් පීරිස් – මම මේ මුහුදත් එක්ක හැප්පෙන්නේ අද ඊයේ නෙවෙයි, අවුරුදු ගණනාවක් වෙනවා. එදා මේ වෙරළ හරිම සුන්දරයි. අපි හරිම සතුටින් ධීවර රැකියාවේ කළේ.

එදා අපි අල්ලන මාලුවලට හොඳ මිලක් තිබුණා. මේ වගේ ප්‍රශ්න තිබුණේ නෑ. ඒ වගේම අපේ බෝට්ටු ගාල් කරන්න ධීවර තොටුපොළවල් ස්වභාවයෙන්ම නිර්මාණයවෙලා තිබුණා. අද ඒ තත්ත්වය නෑ. මේ වෙරළ ඛාදනය වෙන්නෙ වසර ගණනාවක් තිස්සේ. එදා මේ වගේ දරුණු නෑ. අද මුහුද අපේ ගෙවල් හසුකරගෙන යන තරමට ගොඩබිම ඛාදනය වෙලා. මේවා වෙනකම් දේශපාලනඥයින් අදාළ බලධාරින් නිදාගෙන හිටියද? අපි ගැන කිසිම කෙනෙක් ‍ෙහායලා බැලුවේ නෑ.

එහෙම වුණා නම් අද මේ තත්ත්වය තියෙනවාද?

අජිත් රොහාන් – වෙරළ දිගේ ඉවක් බවක් නැතිව මේ විදිහට ගල් දාලා කොහොමද වෙරළ හැදෙන්නේ.

මේකට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. වීදුරු කාමරවල ඉඳන් මේවට සැලසුම් හදන්න බෑ. මේ ප්‍රදේශයේ ඉන්න ධීවර ජනතාව සමඟ සාකච්ඡා කරලා මේ සඳහා ව්‍යාපෘති සකස්කරන්න ඕන.

ඒ දේ සිද්ධ නොවුණු නිසා තමයි අද මේ ‍ව‍ෙග් තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. දේශපාලනඥයින් ඡන්ද කාලෙට මෙහාට එනවා. සැලසුම් හදනවා කියනවා. ධීවරයා සුරක්ෂිත කරනවා කියනවා. වචන ගොඩයි. මේ වචන අහලා ඇතිවෙලා තියෙන්නේ අපිට. අපි රවටලා ඡන්ද අරන් මේ ගොල්ලන් රටත් විනාශ කරනවා. නෙවිල් පෙරේරා – ඇත්තෙන්ම මේ විනාශ වන වෙරළ ආරක්ෂා කළ යුතුයි. මේ ක්‍රමය හරිවෙන්න පුළුවන්. හැබැයි තාක්ෂණය දියුණු ලෝකයේ ධීවර කටයුතු පවත්වාගෙන යන අයුරින් මොනම හෝ ක්‍රමයකට මුහුදු ඛාදනය වැළැක්වීමට පියවර ගත්තොත් හොඳයි කියලා තමයි මගේ අදහස.

මේ ක්‍රමයට අපිට ධීවර රැකියාව කරන්න අපහසුයි. බෝට්ටුවක් මුහුදට දාන්න බෑ. මාලු අල්ලන් එන බෝට්ටුවක්, තෙප්පමක් ගොඩට ගන්න බෑ. මේ නිසා අපිට ධීවර රැකියාව කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. අපේ පවුල් රකින්න තියෙන එකම මාර්ගය ධීවර රැකියාව. ඒ නිසා අපේ රැකියාව කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් හැකි ඉක්මනින් ගන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. සුනිල් ප්‍රනාන්දු – වෙරළ ඛාදනය හේතුවෙන් මේ ප්‍රදේශයේ ගෙවල් කීයක් කැඩුණද? මේ විනාශය වෙන්න පටන්ගත්තෙ අද ඊයේ නෙවෙයිනෙ. මේ සඳහා හොඳ සැලසුම් තියෙන්න ඕන.

කොළඹ වරාය ගොඩකරලා ‘පෝට් සිටි’ හදන්න පුළුවන් දියුණු ලෝකයේ මේ සඳහා විසඳුමක් නැද්ද? හලාවත නයිනමඩම පාර තල්විල මෝය ළඟින් කැඩෙන්න අරන් අවුරුදු ගාණක් වෙනවා. ඇයි මෙතෙන්ඩ පාලමක් දාන්නෙ නැත්තේ. මම දන්න විදිහට පසුගිය කාලයේ ධීවර ඇමැතිවරු 8 දෙනෙක් පත්වෙලා මේ පාලම හදනවා කියලා මුල්ගල් තියලා තියෙනවා. පොරොන්දු දීලා තියෙනවා. ඇයි මේ බොරු කරන්නේ. මේ පාරේ දවසකට කීදෙනෙක් යනවද? කැඩෙන කැඩෙන සෑම වතාවක්ම අපිට තමයි හදන්න වෙන්නේ. ධීවර ජනතාවගේ මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගේත් දුක් අ‍ඳෝනා එලෙසමයි.

මාරවිල ‘ක්ලබ් ෆාම් බේ’ (Club Falm Bay) හෝටලයේ නේවාසික කළමනාකරු – තල්විල මෝය අසල අපේ හෝටලය පිහිටා තිබෙන්නේ. ගංවතුර තර්ජන අවස්ථාවලදී වතුර බැසයන්න මේ ස්ථානයේ මෝය කපන්න සිදුවෙනවා. ඒ නිසා හලාවත නයිනමඩම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා. ඒ නිසා සංචාරකයින්ගේ පැමිණීම අඩුවෙනවා.

අපි බොහෝ අවස්ථාවල මෙම මාර්ගය කැඩුනම මැදිහත්වෙලා වැලිකොට්ට දමලා මාර්ගය හදනවා. එය තාවකාලිකයි. පසුගිය දින කිහිපය තුළ පැවැති අයහපත් කාලගුණය නිසා මුහුද රළුවීම හේතුවෙන් මාර්ගය කැඩිලා අපේ හෝටලය කිට්ටුවටම ආවා. වෙරළ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. විදේශිකයින්ට සුදුසු අන්දමින් කබානා හදලා අපි වෙරළේ සුන්දරත්වය ආකර්ෂණීය ලෙස සකස් කරලා තිබුණේ. ඒ සියලු දේ විනාශ වුණා. මේ සඳහා කඩිනම් ස්ථිර විසඳුමක් අවශ්‍යයි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ උතුරු භාර ප්‍රාදේශීය ඉංජිනේරු ඩී. ටී. රූපසිංහ මහතා දක්වන්නේ මෙවන් අදහසක්,

මේ ක්‍රියාවලිය අපි ඉතා සැලසුම්සහගතව කරන්නෙ. මාරවිල වෙරළ තීරයේ සිට හලාවත ස්වභාවික ගල්පර තිබෙන වෙරළ තීරය දක්වා ස්ථිර සාර වැඩපිළිවෙළක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සකස් කර තිබෙන්නේ. වෙරළ දිගට උතුරු දෙසට ගල්වැටි දමා ආරක්ෂා කරන අතර මීටර් 500 න් 500 දුරට මීටර් 90 දුර ප්‍රමාණයෙන් යුත් මුහුද දෙසට තිරස් ලෙස (අංශක 90ට) ගල් බැමි දමා සකස් කරනවා. මේ ආකාරයට මේ වනවිට මාරවිල සිට උතුරු දෙසට ගල්වැටි 06ක් දමා තිබෙනවා.

නමුත් පවතින අයහපත් කාලගුණය නිසා සෙසු බැමි දැමීම අඩාල වෙලා තිබෙනවා. ඒ නිසා කදියාව කැඩෙන ස්ථානවලට තාවකාලික ලෙස ගල් දමා ආරක්ෂා කරනවා. ස්ථිර ලෙස ගල්වැටි දැමීමේදී එක් මීටරයක් සඳහා රුපියල් පනස් දහසක් පමණ වැයවෙනවා. මේ ආකාරයටයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතිවිශාල මුදලක් වැයකොට වෙරළ ආරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

මේ සම්බන්ධව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා දක්වන්නේ මෙවැනි අදහසක්.

වෙරළ ඛාදනය වීම සම්බන්ධව ජනතාව නඟන හඬ දක්වන ප්‍රතිචාර සාධාරණයි. මම ඉන්නේ ජනතාවගේ පැත්තෙ. මේක වසර ගණනාවක් තිස්සේ පවතින මහා ව්‍යසනයක්. මීට වගකියන්න ඕන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්. ඇත්තෙන්ම ඒ අය ඒ ගොල්ලන්ගේ රාජකාරිය නිසිලෙස නොකළ නිසා මේ වගේ තත්ත්වයක් තියෙන්නේ.

මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පෞද්ගලිකව හමුවෙලා මේ සම්බන්ධව කතා කළා. එතුමාගේ අත්අකුරින් ලියපු ලිපියක් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයාට යොමු කළා. නමුත් ජනාධිපතිතුමාගේ නියෝග මේ අය පිළිපදින්නේ නෑ. තල්විල මෝය හරහා පාලමක් හදන්න සැලසුම් සකස් කරලා තියෙන්නේ. මුදල් අනුමතවෙලා. ඉදිරියේදී එම අවශ්‍ය කටයුතු සිද්ධ වේවි.

Published in the Dinamina – http://www.dinamina.lk/?q=2016%2F06%2F09%2F17525