කොළඹින් බත්තලංගුණ්ඩුව බලා යන ගමනේ අපේ ගමනාන්තය වන්නේ කල්පිටියයි. කොළඹින් පුත්තලම බසයකට ගොඩවී හරිබරිගැහී වාඩිවීමු. ක්‍රමක්‍රමයෙන් ගොඩනැගිලි අතරින් පතර හරිත වර්ණ පරිසරය මැකි මැකි මතුවෙමින් බස් රථය ඉදිරියට ඇදෙයි. ටිකෙන් ටික දෑස් මානයෙන් ගොඩනැගිලි දර්ශනය වීම සීමා වූ නිසා දෝ සිතට සැනසිල්ලක් ගෙනාවේය. ඒකාකාරී පරිසරයෙන් මිදී, මෙලෙස ඈත්ව යාමට අවස්ථාවක් ලැබීම කෙතරම් භාග්‍යක්ද. ඒ වෙනුවෙන් ඉන්ටර්නිව්ස් ආයතනයට දහස්වරක් ස්තූතිවන්තවෙමි.

ගවේෂණාත්මක සටහන: කේ.ඩී රසික නිලන්ත

තමිලනීගේ ස්වයංලිඛිත චරිතාපදානය වූ ‘බිදුණු අසිපතක සෙවණ යට’ කෘතිය කියවා අවසාන වනවාත් සමගම අප පාලවියට පැමිණ සිටියෙමු. හන්දියෙන් බැසගත් අප නැවතත් කල්පිටිය බසයකට ගොඩවීමු. ක්‍රමයෙන් ගමනාන්තයට සේන්දු වනවිට අප140කි.මී පමණ දුරක් ගෙවා තිබිණ. ඒවන විටත් රාස්සිගේඅව්ව කෙමෙන් මුළු අහස් කුසම වෙලාගෙනය. රත් පැහැයෙන් දීප්තිමත්ව දිලිහෙන අහස්කුසෙහි චමත්කාරය විඳිමින් අපි නවාතැන වෙත පිවිසුනෙමු. ගිමන්හැර, රාත්‍රී ආහාර ගෙන පසුවදා අළුයම පිබිදී බත්තලංගුණ්ඩුව බලා යාත්‍රා කිරීමේ අදිටනින් යහන් ගත වුනෙමු.
උදෑසනින් අවධිව ජැටියවෙත පැමිණි අප ප්‍රවේශපත්‍ර ලබාගතිමු. 08:30 වන විට මුහුදු යාත්‍රා ගමන් ඇරඹීමට සූදානම්ය. ඒවන විටත් එහි ජනයා ඒක රාශි වෙමින් තිබිණ. මෙහි සිටින බොහෝදෙනා කතෝලිකයන්ය. සිංහල දෙමල භාෂාදෙකම ඔවුන් බොහෝදෙනා දනිති. ඒ එහි පවතින මිශ්‍ර සංස්කෘතියේ ප්‍රථිපලයකි.ජැටිය තුළ පිහිටි භෝජනාගාරයේ බත් වෙනුවට ඇත්තේ, පිට්ටු හා බනිස් වර්ග පමණි. එනිසා නවාතැන්ගත් හෝටලයෙන් උදෑසන ආහාරය ලබාගෙන පැමිණීම ප්‍රඥාගොචර කටයුත්තක් විය.

මුහුදු යාත්‍රාවට ගොඩවීමට ප්‍රථම නාවික නිළධාරියා අපේ විසතර සටහන්කරගත් අතර, එහි යනවිට අනුගමනය කළ යුතු උපදෙස්ද ලැබුණි. අනතුරුව අවට හොඳින් දර්ශනය වියහැකි ස්ථානයක් අත්පත්
කරගැනීමේ අටියෙන් අපි කඩිමුඩියේ යාත්‍රාවට ගොඩවීමු. යාත්‍රාවේ ඉහළ මහලය වෙන්කර තිබුණේ මඟීන්ට. පහළ මහල වෙන්කර ඇත්තේ දූපතට රැගෙනයන බඩු බාහිරාදිය වෙනුවෙනි. කැමති අයට යාත්‍රාවේ වහලේ වුවත් යාමට අවකාශ සලසාදී තිබුණි. අවදානමට පෙර සූදානම යෝග්‍යවන නිසා අප එහි ගමන් කිරීමෙන් වැලකී සිටියේය. බත්තලංගුණ්ඩුව දවල්ට උහුලගන්න බැරි තරම් සැර අවුවක් තියෙන්නේ. අව්වට ගිනියම් වෙන වැල්ල දිහා බලන්නත් බැරි තරම්. ඒ කොහොම වුනත් අපිට අවබෝධ වුනා අපේ ඈයෝ රහකර කර කෑවට ඒ වෙනුවෙන් මේ මිනිස්සු වෙන මහන්සිය සුලුපටු නැහැ කියලා. ඔයාලට අපිට පහසුකං වලිං බාගයක්වත් මේ අයට නෑ. ලොකුම ප්‍රශ්නෙ තමයි පෘනිය ජල ප්‍රශ්නය සහ වැසිකිලි පහසුකම. මුලු දවස පුරා මාලු කරෝල ගඳ එක්ක ගෙවන ජීවිතේ එක දවසක් ගිහින් එන අපිට අරුමයක් වුනාට දූපතේ ජීවත් වෙන අයට නම් ඒක හොඳට පුරුදුයි.

බත්තලංගුණ්ඩුව දූපත නැගෙනහිර දිශාවෙන් පුත්තලම් කලපුවෙනුත් බටහිර දිශාවෙන් ඉන්දියන් සාගරයෙනුත් මැදිව තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා මත්ස්‍ය සම්පත නම් මේ අවට කලාපයේ බහුලයි. මාලු අල්ලන්න මේ අය විවිධ ක්‍රම පාවිච්චි කරනවා.

කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් විසිපහක් දුරින් පිහිටා ඇති බත්තලංගුණ්ඩුව දුපතට අපි කෙමෙන් ළඟාවීමු. මෙහි වපසරිය හෙක්ටෙර්යාර් 145.53 පමණවන බවයි පැවසෙන්නේ. මීට යාබදව පල්ලිය වත්ත, වෙල්ල(I), වෙල්ල (II), වෙල්ල (III), උච්චිමුණේ, ඉප්පන්තිව්, පෙරිය අරිච්චල්, සින්නාරිච්චල්, එරමුතිව්, සින්න එරමුතිව්, එරමුතිව් බටහිර, කාකතිව්, සහ මොහොත්තුවාරම ආදී දූපත් පිහිටා ඇති අතර, මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටි දූපත වන්නේ බත්තලංගුණ්ඩුවයි. පල්ලියවත්ත දුපත ඊට අසන්නවම පිහිටි දුපතවේ. මෙම දුපත් සමූහයෙන් මොහෝත්තුවාරම, උච්චිමුනේ, බත්තලන්ගුංඩුව සහ පල්ලිය වත්ත යන දුපත් ධීවර ප‍්‍රජාව වෙසෙන දුපත් වන අතර අනෙකුත් දුපත් වසරේ කලයකට පමණක් සංක‍්‍රමික ධීවරයන් වෙසෙන දුපත්වේ. බත්තලංගුන්ඩුව දුපත හා පල්ලිය වත්ත දුපත කරා ළඟා වීමේ දී ආණවාසල, ඉරමතෙව්, සින්න අරිච්චල්, පෙරිය අරිච්චල්, ඉප්පන්තීව්, අලිගහ කැලේ, කිඹුලා බොක්ක, ආදි දුපත් රැසක්ම පසු කර යා යුතුය. බත්තලංගුන්ඩුව සහ පල්ලිය වත්ත, පිහිටා ඇත්තේ නැගෙනහිරින් සේරක්කුලිය, වනාතවිල්ලූව, එලූවන්කුළම, ගගේ වාඩිය, වෙල්ල මුන්දලම, බටහිරින් එරටිය තීව්, වෙල්ල, කොල්ලන් කනත්ත, පලූගහතුරේ, කුදිරමලේ කන්ද පිරිවරා ගෙනය. බත්තලංගුණ්ඩුව හරහා නාවික සැතපුම් එකසිය එකොළහක් ගෙවා ඉන්දියාවට ළඟාවිය හැකිබව ද යාත්‍රාවේ නියමුවා අප හා පැවසීය.

දුපතේ ජීවත්වන්නෝ බහුතරය මීගමුව ආශි‍්‍රත සංක‍්‍රමණික ධීවරයෝ ය. එහෙත් ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කලක් ගෙවී ඇත්තේ බත්තලංගුංඩුවේ හෝ පල්ලියවත්ත දුපතේය.
බත්තලං ගුණ්ඩුව දූපත තුළ දිවි ගෙවන 90%ක් පමණ මීගමුව, හලාවත, ප‍්‍රදේශ ආශ‍්‍රිත ධීවරයෝය. ඔවුන් සංචාරක ධීවරයෝ වෙති. ප‍්‍රමාණය පවුල් දහසක් පමණය. මෙයිනුත් 60%ක් පමණ මුළු අවුරුද්ද පුරාම මෙහි දිවි ගෙවන අයවලූන්ය. තවත් අය වාරකන් කාලයට වෙනත් ප‍්‍රදේශයකට සංක‍්‍රමණය වී නැවත පැමිණෙති.

බෝට්ටු රස්සාව, දුවන රස්සාව, තෙප්පම්, පන්න මේ ආදී වූ නේක ක‍්‍රමයට ඔවුන් අතිවිශාල මාළු අස්වැන්නක් දිනපතා ලබාදෙති. කල්පිටිය ධීවර වරායට දිනපතා රැගෙන එන මාළු අස්වැන්නෙන් වැඩි පංගුවක අයිතිය හිමිවන්නේ බත්තලංගුණ්ඩුව ධීවර ප්‍රජාවටය. කරවල වේලීමේ දීද ඔවුන් ඊට දෙවෙනි නැත. බත්තලංගුණ්ඩුවට පසු සුවිශාලම ධීවර ප‍්‍රජාවක් සිටින්නේ උච්චිමුනෙයි දූපත තුළය. එහි ධීවර පවුල් දහසකට ආසන්න ප‍්‍රමාණයක් ජීවත් වෙති. ඉන් 90%ක් ම කල්පිටිය ප‍්‍රදේශයේ ධීවර ජනතාවය. මීගමුව, හලාවත ආදී ප‍්‍රදේශවලින් සංක‍්‍රමණය වූ ධීවරයෝද මෙහි රැඳීසිටිමින් රැකියාව කරති.

“මේ ගැටළු අතර ප්‍රධාන වන්නේ වසර ගණනාවක් ජිවත් වූ භූමියේ අයිතිය පිළිබද ගැටලුවයි. රජය සමග සිදු කළ සාකච්ඡාවේ දී ධීවර ජනතාවගේ කටයුතු සහ භූමියේ අයිතිය පිළිබඳ වෙනසක් සිදු නොවන බව ප්‍රකාශ වුනා. එහෙත් දැනට වසර දෙකකට පෙර මේ දූපත් සංචාරක මණ්ඩලයට පැවරීමක් සිදු කර ඇති බවට වාර්තා වෙනවා” රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ ප්‍රකාශ කළහ. මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණන් අදහස් දක්වමින් කියා සිටියේ, කිතුනු රදගුරු සංචාරය දීර්ඝ කාලයක සිට සැලසුම් කෙරුණ ගමනක් බවයි.
“ජනතාවගේ සියලු ම ප්‍රශ්න විසඳිය හැකි යයි අපට කියන්න බැහැ. නමුත් කතෝලික සභාව ජනතාවත් සමග බව අපි ජනතාවට පෙන්විය යුතුයි. එවිට අපට දීර්ඝ ගමනක් යාමට පුළුවනි” මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු හිමිපාණෝ පැවසූහ.

මෙරට වයඹ දිග මුහුදුතීරයේ පිහිටා ඇති මෙම දුපත් සමූහය සොබා දහමේ අපූරුතම නිමැවුමක් බඳුය. යෝජිත කල්පිටිය සංචාරක ව්‍යාපෘතියේ ද සුවිශේෂී සාධකයක බවට මෙය පත්ව ඇත්තේ ඒහෙයිනි. එක් පසෙකින් පුත්තලම් කළපුවෙනුත්, අනෙක් පසින්මහ සයුරෙනුත් මායිම් වන, මණරම් පරිසරපද්ධතියකින් පිරිපුන් මෙම දුපත් සමූහය සංචාරක සිත්සතන් පැහැරගෙන ඇති බව පැවසීම මුසාවක් නම් නොවේ.
එසේ වුවත් මෙම කිසිදු දූපතක පානීය ජලය, වැසිකිළි, විදුලිය ආදී පහසුකම් නොමැත. මනුෂ්‍යෙයකුට උචිත නිවාස නැත. ඇත්තේ පොල්අතු වාඩිය. ආහාර ලබාගැනීමට සාමාන්‍ය මිලමෙන් දෙගුණයක් ගෙවීමට සිදුව ඇත.මුදල් වැයකර බීමට අවශ්‍ය ජලය සපයාගත යුතුය. නාන්නට වෙන්නේ ලවන මිශ‍්‍ර ජලයවේ. අවිනිශ්චිත ජීවන පැවැත්මක් උරුමකොටගත් මෙහි වෙසෙන ධීවර ජනයාට අනාගතයක් පෙනෙනතෙක් මානයේවත් නැති තරම්ය.
මේ වනවිටත් බත්තලංගුණ්ඩුව දූපත මුහුදට දිය වී යෑමේ බරපතළ අවදානමක පවතින බව එහි වෙසෙන ධීවරයෝ අපසමඟ පැවසූහ. දූපතේ උතුරු ප්‍රදේශය මුහුදු ජලයෙන් යට වී තිබූ අයුරු එහිගිය අපට දැක ගත හැකි විය. මුහුදු ජලය දූපත තුළට ගලා ඒම නිසා නිවාස සියයකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී තිබුණි. එම තත්ත්වය වර්ධනය වීමේ අවදානමක්ද පවතී.
මීට යාබදව පිහිටි පල්ලියවත්ත දූපතද කලකට ඉහතදී පවුල් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ජිවත් ව ඇත. ඔවුන්ද දූපත මුහුදට සේදී යාම හේතුවෙන් ඉන්පිටවගොස් ඇති අතර මේවන විට එහි පවුල් පනහකට ආසන්න සංඛ්‍යාවක් දිවිගෙවන බව ඔවුන් අපහා පැවසීය. එහි පොලිසියක් හා තැපැල් කාර්යාලයක් පිහිටා තිබී ඇති අතර එම ගොඩනැගිලි සියල්ල මේ වන විට මුහුදට බිලි වී ඇති බවයි ඔවුන් පවසන්නේ. තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලේ කොටසක් පමණක් ශේෂව පවතින බව පවසන ඔවුන්, පල්ලියවත්ත දූපතේ වැසියන්ට අත් වූ ඉරණම තමන්ටද අත්විය හැකිබව අප සමඟ පවසාසිටියේය.
බත්තලංගුණ්ඩුව දූපතේ සිදුවනමෙම සමුද්‍ර ඛාදනය අවම කිරීම සඳහා කඩිනම් පියවර ගතයුතුව ඇත.මෙරට කරවල නිෂ්පාදනයට ඉමහත් දායකත්වයක් සපයන මෙම ධීවර ප්‍රජාව කෙසේහෝ අප රැකගත යුතුය. සුළං තත්ත්වය නිසා මුහුදු ජලය ගැලීම හේතුවෙන් විපතට පත් පවුල් වෙත සහන සැලසීම සඳහා ද කඩිනම් පියවර ගත යුතු ව පවතී. මේ සඳහා අදාල බලධාරීන් වහා මැදිහත් වී ක්‍රියාකළ යුතුය.