අපි කහටගස්දිගිලියේ අඹගහවැව ගම්මානයට ගියෙමු. මහවිලච්චියේ පේමඩුව ගම්මානයට ගියෙමු. තන්තිරිමලේ සඳමල්එළිය ගම්මානයට ගියෙමු. කතාබහ වකුගඩු රෝගය ගැනයි.

තරිඳු උඩුවරගෙදර

රජය වකුගඩු රෝගය සම්බන්ධයෙන් විශාල මුදලක් මෙන්ම විශාල කාලයක් හා ශ‍්‍රමයක් යොදවා ඇති බව පෙනෙන්නේය. එහෙත් විවිධ විශ්වවිද්‍යාලවලින්, වෛද්‍යවරුන් විසින්, විශේෂඥයන් විසින් වකුගඩු රෝගය යැයි සොයා යන්නේ වකුගඩු රෝගයට හේතුව පිළිබඳව මිස රෝගය වැළඳුණු පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව නොවේ.

ආණ්ඩුව කෝටි ගණන් වෙන් කරන්නේ වසවිස නැති ගොවිතැනක් වැනි තේමා වෙනුවෙන් මිස හඳුනාගෙන ඇති සහ නැති වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසිවක් කරන්නට නොවේ. ග්ලයිෆොසේට් තහනම එන්නේද එලෙස වකුගඩු රෝගයට හේතු සොයන්නට යන ගමනේදීය.

ග්ලයිෆොසේට් තහනම

‘තෙල් පොහොර අපේ පැතිවල සෑහෙන ප‍්‍රමාණයක් පාවිච්චි කළා. කන්නෙකට කන්ටේනර් දහයක් පහළොවක් වගේ වෙළඳසැල්වලට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු තෙල් ගහලා අක්කර පහළොව විස්ස වගා කරන්න ගත්තා. ගිය කන්නේ තෙල් තහනම් වුණාට පස්සේ අක්කර දහ පහළොස්දාහක් මිනිස්සු අත්හැරලා තියෙනවා. තණකොළ කපන්න ට‍්‍රැක්ටරේ දාලා හානවා නම් අක්කරේට රුපියල් පන්දාහක් යනවා. අක්කර දහයක් කරනවා නම් හාන්න පනස්දාහක් යනවා. ලොකු මැෂින් එකෙන් හාලා ආයේ පොඩි එකෙන් හාන්න දෙදාස් පන්සීයක් අක්කරේට. අක්කර දාහකට ඔක්කොම හැත්තෑපන්දාහයි. එහෙම කරලාත් මාස තුනක් යද්දී තණකොළ ආයෙමත් තිබුණු ගානටම වැවෙනවා.’ විමලසේන මහතා අප සමග එසේ කියන්නේය.

සෙනෙවිරත්න ගොවි මහතාගේ බිරිඳට වකුගඩු රෝගය වැළඳී ඇත. ‘ගොවිතැන් කරන්න තෙල් බෙහෙත් නැතිව බැහැ. අපේ ගෙදර තෙල් බෙහෙත් ගැහුවේ මම. පවුල සහයෝගය දුන්නා මිසක් තෙල් බෙහෙත් ගහන්න ගියේ නැහැ. අවුරුදු හතළිහක් අපි එකම වතුර තමා බිව්වෙත්. එකම කෑම කෑවෙත්. හාමිනේට වකුගඩු රෝගය හැදුණා. මට නැහැ. මට ඇත්තටම විශ්වාසයක් නැහැ තෙල් පොහොරවලින් මේ ලෙඬේ හැදුණාද කියලා. ආණ්ඩුවෙන් වකුගඩු ලෙඩාට රුපියල් තුන්දාහක් දෙනවා. මගේ හාමිනේට තුන්දාහක් ලැබෙද්දී තෙල් බෙහෙත් තහනමෙන් අසූදාහක් විතර පාඩු වෙනවා.’
බහුතරයක් ඇහෙන්නේ එවන් හඬවල්ය. ගම්වල පැතිරෙන කතාව වකුගඩු රෝගයට තෙල් බෙහෙත් හේතුව නොවේ කියාය. ඒවාට සාක්ෂි වශයෙන් සෙනෙවිරත්න මහතාගේ කතාව වැනි කතා ඉදිරිපත් වේ. වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් හේතු වීම හෝ නොවීම කිව හැකිය. ආණ්ඩුව කියන්නේ ග්ලයිෆොසේට් වෙනුවට දේශීය ක‍්‍රමවලින් වගාවට හුරුවිය යුතු බවයි. ආණ්ඩුව ප‍්‍රායෝගික විසඳුම් සොයා දෙන්නේ නම් ජනතාව ඒවාට යොමුවනු ඇත. නැත්නම් පීඩාව ජනතාවටමය.

සීලවති ගොවි මහත්මිය ඇගේ සැමියාද සමග දේශීය ක‍්‍රමවලින් වී වගා කර ඇත්තේය. ‘අපේ ගොවිතැන් ඔක්කොම වස විසෙන් තොර ගොවිතැන්. අපි වගා කරන්නේ දේශීය හාල් වර්ග. අපි මේ පාර වගා කළේ කුරුලූ තුඩ, කහවනු කියන වී වර්ග දෙක. මේ පාර අපට වල් වර්ග එහෙම ඇවිත් අස්වනු හානි වුණා. පිදුරු තමයි පොහොර විදියට දැම්මේ. මේ වර්ග පුළුවන් වුණත් දැන් මිනිස්සු වගා කරන හාල් වර්ගවලට රසායනික පොහොර නැතිව බැහැ. ආණ්ඩුවෙන් දේශීය ගොවිතැන ගැන මොනවා කිව්වත් අපි මේ පාර වගාකළ දේශීය හාල්වර්ග ආණ්ඩුවෙන් ගත්තේ නැහැ. අක්කර තුනක්ම කරලත් හාල් කාටවත්ම දෙන්න බැරිවුණා.’

බටහිර වෛද්‍ය විද්‍යාව

රජරට ප‍්‍රදේශවල මිනිසුන් බියට පත්කළ රෝගයක් තිබුණි. එය හඳුන්වා ඇත්තේ ඉදිමුණ ලෙසින්ය. ඉදිමුණ යනු මුළු ශරීරයම ඉදිමී ටික දවසකින් රෝගියා මරණයට පත්වන රෝගයකි. කෙසේ රෝගය ඇතිවෙන්නේදැයි ගම්මු දැන නොසිටියහ. පෙරදිග ඔසු මේ රෝගයට නොතිබුණි. ඉදිමුණ ලෙසින් හඳුන්වන්නට ඇත්තේ හඳුනාගන්නට බැරිවුණු වකුගඩු රෝගය බවට සැක නැත. දේශීය වෛද්‍ය ඉතිහාසය තුළ මේ ඉදිමුණ ඇතිවෙන්නේ කෙසේද කියා සොයාගන්නටවත් හැකි වී නොමැති බව පෙනේ. වකුගඩු රෝගයට විසඳුම් දේශීය වෛද්‍ය ක‍්‍රමවලින් සෙවිය යුතු යැයි මහැදුරන් කියන්නේ ඔවැනි පසුබිමකය.

සැබැවින්ම අප කතාබහ කළ බොහෝ දෙනෙකු වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් විසඳුම් ඇති බව විශ්වාස නොකරති. ඩයලයිසීස් කිරීම ගැන බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ නැත. එමෙන්ම විවිධ වෙද්දුන්ගේ කීම්වලට විවිධ කෙම් ක‍්‍රම පසුපස යන්නටත් ආහාර පුරුදු වෙනස් කරන්නටත් ජනතාව හුරුවෙති. ආණ්ඩුවට වකුගඩු රෝගය පරීක්ෂා කරන්නට විධිමත් ක‍්‍රමවේදයක් නැත. පේමඩුවේ නුදුරේදී වකුගඩු සායනයක් තිබුණු අතර ගැමියන් බහුතරය එම සායනවලට ගොස් තමාට වකුගඩු රෝගය තිබේදැයි පරීක්ෂා කරවාගෙන තිබුණේ නැත.

අප සමග කතාබහට එක්වූ සෝමදාස මහතා ගොවියෙකි. ‘මුලින් මම කෝන්වැව ඩොක්ටර්ව හම්බවුණාම එයා කිව්වා මට සෙම අමාරුව තියෙන්නේ කියලා. තවත් ඩොක්ටර් කෙනෙක් කිව්වා මට මුකුත් ලෙඩක් නෑ කියලා. මෙහෙම කාලයක් ගිහින් තමයි ඩොක්ටර්ස්ලා මට චෙක් කරන්න ඕනෑ කියලා කිව්වේ. ඉස්පිරිතාලෙන් කිව්වා ඩයලයිසීස් කරන්න ඕනෑ බොහොම දරුණු තත්ත්වයක් තියෙන්නේ කියලා. මං කැමති වුණේ නැහැ. ලෙඞ්ඩු දැකලා මට තියෙන අත්දැකීම්වල හැටියට මට හිතෙනවා ඒකට යොමු නොවී ඉන්න එක හොඳයි කියලා. ලේ මාරු කරන්න පටන්ගත්තාම ලෙඩාව පිරිහෙනවා. මරණය ඉක්මන් වෙන එකයි වෙන්නේ. මට තේරෙන විදියට ඩයලයිසීස් පටන්ගත්ත රෝගියෙක් අවුරුදු දෙකකට වඩා ඉන්නේ කලාතුරකින්.’

කරුණාසේන මහතාද දීර්ඝ කාලයක් තිස්සේ වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකි. ‘මට කොන්දේ අමාරුවක් අවුරුදු ගාණක් තිස්සේ තිබුණා. වෛද්‍යවරුන්ට කොන්දේ අමාරුවට හේතු හොයාගන්න බැරිවුණා. මට වකුගඩු රෝගය කියලා දැනගත්තේ ගොඩක් කාලයකට පස්සේ. එතකොට ගොඩක් අමාරු වෙලා. වකුගඩු දෙකම සවුත්තුයි කිව්වා. මං මේ තරම් රෝහල්වලට ගිහිල්ලත් වකුගඩු රෝගය තියෙනවා කියලා දැනගත්තේ ගොඩක් කාලයකට පස්සේ. මට ඩයලයිසීස් කරන්න එපා කියලා කිව්වේ ඉස්පිරිතාලයේ ඉඩ මදි නිසා. ඊට පස්සේ කිව්වා ඔයා කොන්ද නවාගෙන ඇවිදින කෙනෙක් නිසා බට දාන්න බැරිවෙයි, ඒ නිසා ඩයලයිසීස් කරන්න වෙන්නෙ නැහැ, බද්ධ කරන්න ගැළපෙන වකුගඩුවක් හොයාගන්න කියලා. මම කැමති වුණා ඩයලයිසීස් කරන්න ඕනෑ නැහැ කිව්ව නිසා. මම වකුගඩුවක් බද්ධ කරගන්න කැමති වුණෙත් නැත්තේ එහෙම කරලාත් වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි වෙයි කියලා හිතුණු නිසා. මම ඩයලයිසීස් කරනවාට කැමති නැහැ. ඩයලයිසීස් කරන ලෙඞ්ඩු ඉක්මනින් මැරිලා යනවා. මං හිතන්නේ ඒක සාර්ථක නැහැ. අපි කොහොම හිටියත් මැරෙන එකේ ආයේ ඇඟ ඇතුළට බට දාලා දුක් විඳින්නේ කොහොමද?’

මේ තමතමන්ගේ අවබෝධය සමග රෝගීන්ට ඇති අදහසයි. ප‍්‍රතිකාර ගැන මේ රෝගීන්ට ඇත්තේ අනවබෝධයකි. වකුගඩු දෙකම නොමැතිව වුවත් ඩයලයිසීස් ප‍්‍රතිකාරය සිදුකරමින් කෙනෙකුට ජීවත් විය හැකි බව ඔවුහු නොදනිති. වකුගඩු රෝගය පිළිබඳව වැරදි අවබෝධයන් හා විශ්වාසයන් බොහෝය. වකුගඩු රෝගය නිසා ජනජීවිතයට සිදුව ඇති බලපෑමද බොහෝය. මේ ග්ලයිෆොසේට් තහනම හා ඩයලයිසීස් කිරීම ගැන කතාවයි. ඉදිරියේදී මේ ගැන තවත් කතා කරන්නට සිදුවනු ඇත. ජනතාවගේ විශ්වාසයන් වැරදි නම් නිවැරදි දේ ජනතාව අතරට ගොස් පෙන්වා දීම ආණ්ඩුවේ වගකීමයි.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් විවිධ අධ්‍යයනයන්හි යෙදෙන ටෙරන්ස් ගාමිණී මහතා අප සමග අදහස් දැක්වුවේ මෙසේය.
‘ඉතාමත් අසාධ්‍ය රෝගීන් පවා ඩයලයිසීස් කරලා සුව අතට පත්වෙලා තියෙනවා. සුව වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම සුව වෙනවා කියන එක නෙවෙයි. ජීවිත කාලය දිගු කරගන්න පුළුවන්කම තියෙනවා. වකුගඩු රෝගයට බෙහෙත් නෑ කියලා තවත් මිථ්‍යාවක් පැතිරිලා තියෙනවා. කිසිම ලෙඩකට සීයට සීයක් බෙහෙත් කරන්න බැහැ. ඒ වුණත් අසාධ්‍ය නොවී යම් කාලයක් පවත්වාගන්න පුළුවන්. වකුගඩු දෙකම නැතිවත් ජීවත් වෙන්න පුළුවන්. මම දන්න තරුණයෙක් ඉන්නවා අවුරුදු දහතුනක් තිස්සේ ඩයලයිසීස් කරමින් ස්වයං රැුකියාවකුත් කරගෙන හොඳ ජීවිතයක් ගතකළා. ගැටලූව අපට තියෙන පහසුකම් වැඩි කරන්න කාටවත් වුවමනාවක් නොවීම. අනුරාධපුර හොස්පිට්ල් එකේ මැෂින් 28ක් තියෙනවා. ඒ වුණත් ඒ මැෂින්වල ෂිෆ්ට් තුනක් දුවන්න අවශ්‍ය කාර්ය මණ්ඩලයක් නැහැ. දවසකට මැෂින් එකේ තුන්දෙනෙක් පුළුවන්. සාමාන්‍යයෙන් දවස් තුනකට සැරයක් තමයි රෝගියෙක්ට ඩයලයිසීස් කරන්න ලැබෙන්නේ. ඔක්කෝම දෙසිය පණහක් විතර තමයි මැෂින් 28න් කරන්න පුළුවන්. මේ ගාණෙන් කෙනෙක් මැරුණාම තමයි තවත් කෙනෙක්ට ඉඩ ලැබෙන්නේ. එහෙම නැත්නම් අසාධ්‍ය ගොඩගත නොහැකි කෙනෙක්ව මැරෙන්න අතහැරලා තමයි කරන්න වෙන්නේ. පදවියේ යන්ත‍්‍ර දහයක් තිබුණාට කාර්ය මණ්ඩලයන් අඩු නිසා 5යි වැඩ කරන්නේ. තඹුත්තේගමයි මැදවච්චියෙයි යන්ත‍්‍ර 7 ගානේ තියෙනවා. ඒවා වැඩ කරන්නේ නැහැ කවුරුත් නැති හින්දා. හැම වෙලාවෙම ඇතුළත් කරගන්න වෙන්නේ ඩයලයිසීස් නොකර බැරි තරම් අමාරු ලෙඞ්ඩුන්ව. ඒ අය මැරෙනවා තමයි. ආණ්ඩුව තදින් කල්පනා කරන්න ඕනෑ රෝහල්වලට අවශ්‍ය පහසුකම් වැඩි කරන්න. රසායනික පොහොර ඔක්කොම තහනම් කළත් හේතුව රසායනික පොහොර නම් පොළොවේ රසායනික පොහොර අවශෝෂණය වෙලා ඉවරයි. ලෙඞ්ඩු ඇතිවීමේ අවදානම තියෙනවා. ලෙඞ්ඩුන්ව කලින්ම හඳුනාගන්නත් ඒ අයට ප‍්‍රතිකාර කරමින් ඒ අයව සමාජයේ වැඩක් කරන්න පුළුවන් තත්ත්වයෙන් තියාගන්නත් තමා ආණ්ඩුව මහන්සි වෙන්න ඕනෑ.’

– See more at: http://ravaya.lk/?p=13674#sthash.WHEdU7es.dpuf