සංචාරකයින්ගේ නෙතට ප්‍රිය උපදවන දසුන් මවන එහෙත් දුෂ්කරතා සහ කම්කටොළු රැසක් මධ්‍යයේ මිනිසුන් සමග ජීවත්වන කල්පිටිය සංචාරක පුරවරයේ සුවිශේෂී සාධකයකි බත්තලන්ගුන්ඩුව.

ලංකා සිතියමේ වයඹ දිග මුහුදු තීරයේ වැතිරී ඇති දූපත් සමූහයෙන් එකක් වන බත්තලන්ගුන්ඩුව සොබා දහමේ අපූරුතම නිමැවුමක් ලෙස හැඳින්විය හැකිය.

සොඳුරු දසුනින් පිරිපුන් මෙම දුපත් (14) සමූහය සංචාරක ආකර්ශනයට බෙහෙවින් තුඩු දී ඇත්තේ ය.

එසේ වී නමුදු අවිනිශ්චිත අනාගතයක් දෝතින් දරාගෙන, ගරා වැටෙන ධීවර දිවි පැවත්මක් දායාද කොට ගත්, ධීවර ප‍්‍රජාවක් මෙම දුපත් සමූහයේ දිවි ගෙවන්නෝය.

බත්තලංගුන්ඩුව දුපතේ වපසරිය හෙක්ටෙර්යාර් 145.53ක් වන අතර පල්ලිය වත්ත දුපතේ වපසරිය හෙක්ටයාර 60.89කි.

වන අතර උච්චිමුනේ හෙක්ටයාර 449.3 කි. මොහොත්තුවාරමේ හෙක්ටයාර 715.14කි.

මෙම දුපත් සමූහය අතුරින් දුරින්ම පිහිටා ඇත්තේ බත්තලංගුඩුව කල්පිටිය ජැටියේ සිට නාවුක සැතපුම් 25ක් දුරින් බත්තලන්ගුන්ඩුව දුපත පිහිටා ඇත.

බත්තලන්ගුංඩුව දුපතේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර වන්නේ නාවුක සැතැපුම් 111ක් පමණය.

බත්තලංගුංඩුව, පල්ලිය වත්ත, වෙල්ල 1, වෙල්ල 2, වෙල්ල 3, උච්චිමුණේ, ඉප්පන්තිව්, පෙරිය අරිච්චල්, සින්නාරිච්චල්, එරමුතිව්, සින්න එරමුතිව්, එරමුතිව් බටහිර, කාකතිව්, සහ මොහොත්තුවාරම යන දුපත්, මෙම දුපත් වේ.

මෙම දුපත් සමූහයෙන් මොහෝත්තුවාරම, උච්චිමුනේ, බත්තලන්ගුංඩුව සහ පල්ලිය වත්ත යන දුපත් ධීවර ප‍්‍රජාව වෙසෙන දුපත් වෙයි.

අනෙකුත් දුපත් වසරේ කලකට පමණක් සංක‍්‍රමික ධීවරයන් වෙසෙන දුපත් ය.

පෙරවරු අටයි තිහට දිනපතා, සාමාන්‍ය මගී ප‍්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ වන අතර කල්පිටිය ජැටියේ සිට මගී ප‍්‍රවාහන බෝට්ටු දෙකක් මෙම දුපත් කරා ගමන් ගනී.

පැය තුනකට ආසන්න කාලයකදී දුපත් කරා ළඟා විය හැකිය.

දුපත් වාසින් තම එදිනෙදා අවශ්‍යතා රැසක්ම සපුරා ගන්නේ මෙම මගී ප‍්‍රවාහන බෝට්ටු මගින් වන අතර පානීය ජලය, කරවල සඳහා ලූණු, අයිස් සහ ආහාර ඒ අතර වෙයි.

බත්තලංගුන්ඩුව දුපත හා පල්ලිය වත්ත දුපත කරා ළඟා වීමේ දී ආණවාසල, ඉරමතෙව්, සින්න අරිච්චල්, පෙරිය අරිච්චල්, ඉප්පන්තීව්, අලිගහ කැලේ, කිඹුලා බොක්ක, ආදි දුපත් රැසක්ම පසු කර යනු ලැබේ.

බත්තලංගුන්ඩුව සහ පල්ලිය වත්ත, පිහිටා ඇත්තේ නැගෙනහිරින් සේරක්කුලිය, වනාතවිල්ලූව, එලූවන්කුළම, ගගේ වාඩිය, වෙල්ල මුන්දලම, බටහිරින් එරටිය තීව්, වෙල්ල, කොල්ලන් කනත්ත, පලූගහතුරේ, කුදිරමලේ කන්ද පිරිවරා ගෙනය.

දුපතේ ජීවත්වන්නෝ බහුතරය මීගමුව ආශි‍්‍රත සංක‍්‍රමණික ධීවරයෝ ය.

එහෙත් ඔවුන්ගේ ජීවිතයෙන් වැඩි කලක් ගෙවී ඇත්තේ බත්තලංගුංඩුව හෝ පල්ලියවත්ත දුපතේ ය.

දුපත්වාසින් අතරින් බොහෝ දෙනකු සිංහල සම්භවයකින් යුතු වුවද, දමිළ බස හසුරුවයි. දැනට වියපත්ව පසුවන බොහෝ ධීවරයන්ට නිශ්චිත නමක්, පෙලපත් නාමයක් හෝ උප්පැන්න සහතිකයක්, නොමැත්තේ ය.

කිරා, බබා, යකා, රාජු ආදි අන්වර්ත නාම රැසකින් ඔවුන් හැඳින්වේ.

එහෙත් අපට දැනගන්නට ලැබුණේ දුපතේ පහසුකම් නොමැති නිසා එවැනි වියපත් ධීවරයන් බොහෝ දෙනකු, ඔවුන්ගේ ඥාතීන් විසින් දුපතින් ඉවත්කර ගෙන ගොස් ඇති බවය.

දුපත්වාසී ජනතාවගේ අභිමානවත් ධීවර දිවි පෙවෙතට මේ වන විට බලවත් ලෙස අභියෝග පැමිණෙමින් පවතී.

වත්මන් ආර්ථික, සාමාජීය පසුබිම මොවුන් පිට පටවා ඇත්තේ දැරිය නොහැකි පීඩනයකි.

එපමණක් නොව, ස්වභාවධර්මය පවා මෙම මිනිසුන්, දැන්, දැන්, දුපතින් පලවාහැරීමේ කුමන්ත‍්‍රණයක නිරතව සිටින බව පෙනේ.

මේ අප සංචාරයේදී හමුවූ දූපතේ පැරන්නකු වන ඇන්ටන් මහතා –
මහත්තයෝ අපි මේ ඉන්න ඉසව්ව ලංකාවෙන් වෙන්වෙච්ච තැනක් වගේ,

මේකට කාලෙන් කාලෙට එක එක වර්ගයේ අය එනවා,එයාලනම් කියන්නේ අපිට හොද ජීවිතයක් වගේම හොද අනාගතයක් හදල දෙන්නයි කියල.

ඒත් ඉතිං කියපු කලෙ පහු වුනත් අපිට තාම සෙතක් නම් වෙල නෑ.

ඒ විතරක් නෙවෙයි දැන් තියෙන ස්වභාව ධර්මෙත් අපිටමයි වින කටින්නේ,

දැන් දූපතෙන් වැඩි කොටසක් මුහුදු බත්වෙල.

තව ටික කාලයක් යද්දි දූපතත් අපිත් එක්කම මුහුදුබත් වෙයි.
මෙම දුපත්වාසින් සඳහා කිසිදු සෞඛ්‍ය පහසුකමක් නොමැති අතර නාවික හමුදා කඳවුරින් ඉල්ලා ගන්නා බෙහෙත් පෙත්ත හැර වෙනත් විකල්පයක් ද නැත.

රෝගි වූ විටක හෝ හදිසි අනතුරකදි පැය තුනක හමාරක දුෂ්කර මුහුදු ගමනකින් අනතුරුව කල්පිටිය රෝහලට ළඟාවිය යුතුය.

බත්තලන් ගුංඩුවේ මෙන්ම පල්ලිය වත්තේ සිටි සාම්ප‍්‍රදායික වින්නඹු මවුන් මෙන්ම අත් බෙහෙත් කළ වෙදුන් පවා මේ වන විට දුපත හැර ගොසින්.

ගැබිනි මවුන් මෙන්ම නිධන්ගත රෝගින් ද දුපතේ රඳවා ගැනීම තහනම්ය.

ඔවුන්ගේම යහපත උදෙසා දුපත් ධීවරයෝ මෙම සාමූහික තීරණයට එළැඹ ඇත.

පල්ලිය වත්ත දුපතේ රජයේ පාසලක් ආරම්භ කොට ඇත්තේ 1979 වසරේ වන අතර පල්ලියවත්ත පොලිස් මුරපොළ අරඹා ඇත්තේ 1990 වසරේය.

එහෙත් ඛේදවාචකය වන්නේ අද වන විට පාසල සහ පොලිසිය මුහුදු රකුසා විසින් බිලිගෙන සිටීමයි.

බත්තලන්ගුන්ඩුව පාසල වැසීයාමේ ඛේදවාචකය ළමා අයිතිවාසිකම් පිළිබඳව ඉහළින් හඬ නගන රාජ්‍ය ආයතන මෙන්ම ළමා හිමිකම් විකුණමින් ඩොලර් ගණින්නන්ට ද මෙම දුපත් දරුවන්ගේ දරු දුක ඇසේදැයි පෙනේ දැයි ගැටලූවකි.

එමෙන්ම කල්පිටි දුපත් දිවයිනේ අන් පුරවැසියන්ට හිමි අයිතීන් අහිමි, ලාංකිය පරිපාලනයෙන් මිදුණු වෙනත් රාජ්‍යක් දැයි අපට සැක සිතේ.

downl

downl

This article was published in the Dinamina – http://bit.ly/29HoNDt