ඉනෝකා සූරියප්පෙරුම , මදාරා මුදලිගේ , දිල්හානි අතුකෝරළ

මිනිස් ජීවිතවලට දෛවයේ සරදමක් එක් කරමින් ගැලූ ගංවතුර තත්ත්වය මේ වනවිට පහවගොසිනි. එහෙත් ගංවතුර නිසා ඇති වූ කඳුලු ගංගාවන් තවමත් හදවත් තුළ උතුරා පිටාර ගලයි.

මිනිසුන්ට මහා විනාශයක් ගෙන එමින් ගැලූ මේ ගංවතුර ගැටලු රාශියක පෙරනිමිති කියාපායි.

ගේ දොර අහිමි වූවන්, අකුරු කරනට පාසල් යාමට නොහැකිව සිටින දරු දැරියන්, කසිදිනක බලාපොරොත්තු නොවූ සෞඛ්‍යමය ගැටලුවලින් පීඩා විදින්නට සිදු වූ ජනතාව එමඟින් බැටකන්නෝ වෙයි.

මේ තත්ත්වයෙන් පීඩාවිඳින ජනතාවට සහනයක් ගෙනදීමට හැකිනම් මේ උතුම් වෙසක් මහේ කොයිතරම් නම් පුණ්‍ය කර්මයක්ද? ඔවුන්ගේ දුක සැප සොයාබලන්නෙකුට විඳින මානසික පීඩනය කෙතරම්දැයි හඳුනාගත හැකිය.

ගංවතුරට හසු වූ කඩුවෙල ප්‍රදේශයේ මිනිසුන්ගේ දැනට පවතින තත්ත්වය විමසාබලා ඒ වෙනුවෙන් ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව අපි අවධානය යොමු කළෙමු.

මිනිසුන් ජිවත්වන්නේ ආශාවන් හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගැනිමේ හැඟීම සිතේ තබාගෙනය. එහෙත් ඒ සියලු දෑ ක්ෂණයකින් විනාශ වී යන්නේ නම් එය ඉතා ශෝචනීය වූ තත්ත්වයකි.

එවැනි තත්ත්වයකට මුහුණදුන් කඩුවෙල වැසියන් කඳවුරුවල සහ තම නෑදෑ නිවෙස්වල සිටිමින් කඳුළු සලන්නේ දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් දේපළ විනාශයට පත්වීම නිසාවෙනි. එම මිනිසුන්ගේ දුක් අඳෝනා කෙරෙහි මූලිකවම විමසාබැලිය හැකිය.

කඩුවෙල විජයානි චිත්‍රපට ශාලාව අසළ පිහිටා ඇති අවතැන් කඳවුරක සිටි සුරංග තම දුක මෙලෙස පැවසුවේය.

” මගේ ලොරිය සම්පූරණයෙන්ම වතුරට යටවුණා. වාහනේ ෆිනෑන්ස් ගෙවන්නත් තියෙනවා. ඉන්ෂුවරන්ස් එකත් නෑ. අපි එදාවේල හම්බකරන් කන මිනිස්සු.මම කුලීරථ වැඩකරලා තමයි පවුල රැකගන්නේ. අපිට දැන් සියලු දේ නැතිවෙලා ඉවරයි ”

කුරිරු වූ ස්වභාවදහම මිනිසුන් කෙතරම් අගාදයට ඇද දමා ඇත්දැයි ඔහුගේ හැඟීම්බර අදහස් තුළින් පසක් වෙයි.

මිනිසුන්ගේ පෞද්ගලික වාහන, ගේදොර, බඩුමුට්ටු ගංවතුරට සියල්ල ගංවතුර යටකර හමාරය. කාන්තාවක් තම කුඩා දරුවා ද අතැතිව සිටි මංජුලා ප්‍රශාන්ති ඇයගේ දුක් අඳෝනාව මෙලෙස පැවසුවාය.

” මම ජීවත්වුණේ වෙලේ හංදියේ. මහන්සිවෙලා අපි ගෙදරට බඩුමුට්ටු ටික ගත්තේ. ඒ ඔක්කොම පාවිච්චියට ගන්න බැරිතරමට විනාශවෙලා. ළමුන්ගේ ඇඳුම්, උප්පැන්න සහතික ටිකපවා විනාශ වුණා. ඉතිරිවුණේ ඇඳිවත විතරයි. ”

මෙසේ විපතටපත් මිනිසුන් ‍සතු දේපළ සියල්ල විනාශ වී හමාරය. ඔවුන්ගේ මනස සකස්කොට අහිමි වූ දේ ලබාදිමට කඩිනමින් පියවර ගැනිම වැදගත්ය. ඒ වෙනුවෙන් දැනට ගෙන ඇති පියවර සහ ඉදිරියේ දි ගැනිමට අපේක්ෂිත පියවර පිළිබඳව කඩුවෙල ග්‍රාමනිලධාරිනී ආර්.එස් රණවීර මහත්මිය පෙන්වා දුන්නාය.

” මේ ජනතාව වෙනුවෙන් අපි ලැබෙන ආධාර සියල්ල ලබාදෙනවා. නමුත් කොට්ට මෙට්ට වගේ දේවල් දුන්නම ඒ දේවල් නෑ කියලා සමහර අය කාඩ්බෝඩ් කෑලිවල නිදාගන්නවා. රජයේ නිලධාරීන් ලෙස අපි මේ වගේ දේවලින් විශාල අපහසුතාවයකට පත්වෙනවා. දේපළ අලාබ හානිවලට අප පුළුවන් හැමදේම සිදුකරනවා.”

තමන් ගොඩනගාගත් සියලු සේසත නැතිව ගිය ඕනම අයෙකුට දරාගත නොහැකි වේදනාවක් ඇතිවිය හැකිය. ඒ වෙනුවෙන් කළ හැකි සියලු දේ කඩිනමින් සිදුකරන බව එම ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිනියගෙන් ලැබුණු තොරතුරුවලට අනුව පසක් වෙයි.

දරුවන්ගේ පාසල් පොතපත ගංවතුරෙන් ගසාගෙන ගොස්ය. ඇතැම් පොත්පත් තෙතබත් වී හමාරය.එහි ඛේදනිය තත්ත්වය නම් අකුරු කළ පාසල නවාතැන කරගැනීමට කඩුවෙල දරු දැරියන්ට සිදු වි තිබීමයි.

ඒ එක් දැරියකි වෙලේ හංදිය කඩුවෙල 473/A වසමේ ජීවත්ව‍ෙන අයොධ්‍යා හංසමාලි කුඩා දියණිය. ඇය බප/ජය මුනිදාස කුමාරතුංග විදුහලේ 02වන ශේණියේ ඉගෙනුම ලබයි. ඇය පාසල් මව් තුරුලේ හිඳ මෙලෙස දුක පැවසුවාය.

” මට ඉන්නෙ අම්මයි, ආච්චි අම්මයි, නංගියි, මල්ලියි. මගෙ තාත්තා නෑ. ගංවතුරට අහුවෙලා අපේ ගේ කැඩුණා.

අම්මා අපිව මෙහෙට එක්කගෙන ආවා. මගෙ පොත්, ඇඳුම්, සපත්තු, බෑග් සේරම වතුරට ගහගෙනගියා.

මං ඉස්කෝලෙ යන්න ගෙඩක් ආසයි. ඒත් දැන් ඉස්කෝලෙ යන්න බෑ.”

එක හුස්මට ගෙතූ එකී කතාව ඇය අවසන් කළේත් විහාල කදුළුබිඳු දෙකක් කොපුල් තෙමමින් ගලා ගියෙත් එක්වරමය. අධයාපනය යනු සියලු ළමුන්ට හිමිවියයුතු ප්‍රධාන අයිතිවාසිකමකි. එහෙත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල මෙන්ම කඩුවෙල ප්‍රදේශයේ ළමුන්ටත් එකී වරම අහිමි වී තිබේ.

තම ආදරණීය දරුවන්ගේ අනාගතය පිළිබඳව නිරතුරුව සිහින දකින ඇතැම් මව්පියන් තමන්ට සිදු වු දේපළ හානියට වඩා කණගාටුවන්නේ තම දරුවන්ගේ පාසල්ගමන නැවතිම පිළිබඳවයි. කඩුවෙල පදිංචි ඩබ්.පී නිලන්ති අප සමඟ පැවසුවේ එවැනි කතාවකි.

” මට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉස්කෝලෙ යනවා. ගංවතුරට ගෙවල් යටවෙද්දි ජීවිතේ ඇරෙන්න වෙන කිසිම දෙයක් බේරගන්න බැරිවුණා.

මට ඒ නැතිවුණු හැමදේටම වඩා දුක ළමයින් පාසල් යවන්න විදියක් නැති එකගැනයි.

ළමයි දෙන්නගෙ පොත්, ඇඳුම්, බෑග්, සපත්තු කිසිමදෙයක් බේරගන්න බැරිවුණුඑක දරාගන්න බෑ.

මංදැන් කොහොමද ළමයින්ව ඉස්කෝලෙ යවන්නෙ.”

අධ්‍යාපනික ගැටලුව ගංවතුර තත්ත්වය මගින් ඇති වු විශාල ගැටලුවකි.

ඒ පිළිබඳව ද කඩිනම් විසඳුම් ලබාදිය යුතුය.

ඒ සඳහා ලබාදෙන විසඳුම් පිළිබඳව බස්නාහිරපළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විමල් ගුණරත්න මහතාගෙන් විමසූ අවස්ථාවේ දි එතුමා මෙලෙස පැවසීය.

” මේ වනවිට අපි පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරගෙන යනවා.විශ්වවිද්‍යාල සිසුන් දහසකට වැඩිපිරිසක් මෙයට උදව්වෙනවා.

තවම වතුර බැහැලා නොගිය පාසල් ද තියෙනවා. එම පාසලි විවෘත කිරීමට සුදුසු වාතාවරණයක් තවම නැහැ.

මෙම පාසල්වල පරිගනක ආදි ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය විහාල ප්‍රමාණයක් විනාශවෙලා. සංගීත භාණ්ඩ, පුස්තකාලපොත් සියල්ල විනාශවෙලා.

ඉක්මනින් පාසල් ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන්න අපි බලාපොරොත්තුවෙනවා. ළමයින්ට අවශ්‍ය පාසල් උපකරණ හැකි පමණින් ලබා දෙනමෙන් ඉල්ලා සිටිනවා.”

දේපළ හානි, අධ්‍යාපනික ගැටලු මෙන්ම ජනතාව කෙරෙහි සෞඛ්‍යමය ගැටලු ද මතු ව පවතී. ගංවතුර බැසයාමට පටන්ගැනිමත් සමඟ කුඩාළමුන් වතුරේ සෙල්ලම් කිරීම වැනි තත්ත්වයන් ඉතා භයානක වේ. ඒ මන්දයත් අවට පවතින සියලු අපද්‍රව්‍ය එම වතුර සමඟ මිශ්‍ර වි ඇති නිසාවෙනි.

එමෙන්ම මේ සමඟ වසංගත රෝගී තත්ත්වයන්ද හටගත හැකිය. දැනට පවතින සෞඛ්‍ය ගැටලු පිළිබඳව එම පදේශයට ගොස් සොයාබැලිමේ දී මේ වනතෙක් ඒ සම්බන්ධව ගැටලු මතුනොවූ බවත් අවශ්‍ය වෛද්‍ය පහසුකම්,ආහාරපාන,ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය තමන්වෙත ලැබෙනබව වැඩිපිරිසක් සඳහන් කළේය.

නමුත් ප්‍රදේශයේ පවතින අපිරිසිදුතාවයත් සමඟ විශාල සෞඛ්‍ය ගැටලු මතුවිය හැකිය.මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව බස්නාහිර පළාත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

” දැනට ජනතාවට තියෙන සෞඛ්‍ය ගැටලු වන්නේ ඔවුන් වතුරේ බැහැගෙන සිටි නිසා සමහර අයගේ සමේ රෝග, දිළීර ආසාදන, කකුල්වල ඇගිලිකරුවල ආසාදන වැනි දේ හටගෙන තිබීමයි.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පත්කර ඇති වෛද්‍ය කණ්ඩායම් අවතැන් වූවන් සිටින කඳවුරුවලට ගොස් එම කඳවුරුවල වෛද්‍ය සායන පවත්වනවා.

ඒ සඳහා අවශ්‍යවන ඖෂධ වර් ග මෙන්ම වෛද්‍යවරු සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අප වෙත ලැබෙනවා. ඒ අයගෙන් කඩුවෙල ප්‍රදේශයට දිනකට වෛද්‍ය කණ්ඩායම් 5ක් පමණ පිටත්කර යවනවා.

පිටත්කර යැවීමෙන්පසු සෞඛ්‍ය කණ්ඩායම් යැවිය යුත්තේ කුමන තැනකට ද යන්න තීරණය කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට බලතල ලබා දී තිබෙනවා.

එවිට දවසින් දවස අවතැන්වූවන් සිටින කඳවුරුවලට මෙම සෞඛ්‍ය කණ්ඩායම් යවනවා.මේ වන විට කඳවුරුවල ඉන්න ජනතාව වතුර අඩු වී ඇති නිසා එම කඳවුරුවලින් බැහැරව නිවෙස්කරායාමට කටයුතු කරනවා.

එම කඳවුරුවලින් ඉවත් වී ගියපසු ගංවතුරට වැඩිපුර භාජනය වූ නිවාස පවතින ස්ථානවල තිබෙන පන්සලක් වැනි ස්ථානයක් ගෙන මෙම වෛද්‍ය කඳවුරු පවත්වනවා.

එම ස්ථානවල දී තුවාල සිදුවූවන්ට බෙහෙත්දැමීම, උණ, ස්වසන රෝගසැදුනු අයට ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා.

තවත් පිරිසකට පාචනය වැනි රෝගහැදී ඇත්නම් ඔවුන්ව රොහල් ගතකර ප්‍රතිකාර ලබාදෙනවා.

රෝහල් ගතකිරීමේ දී ගිලන්රථ සේවා අවශ්‍ය නම් ඒ සියලු සේවා ලබාදෙන්න කටයුතු කරනවා.

ඒ වගේම මූලිකවම සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්වෙලා මිනිසුන් පදිංචියට යන නිවාස පිරිසිදු කර ගැනීමට අවශ්‍ය විෂබීජ නාශක දියර වරග ලබාදී තියෙනවා.

එමෙන්ම වැසිකිළි පිරිසිදු කරගැනීමටත් ඒවා ලබාදී තියෙනවා. පළාත් ලේකම් කාර්යාලයත් සමඟ එකතු වී ඒ අය යොමුකර තියෙනවා.

එමෙන්ම එක සෞඛ්‍ය නිලධාරී කාර්යාලයකට ගලිබවුසර් රැගත් කණ්ඩායම් 3ක් පත්කරන ලෙස දැනුම් දි තියෙනවා. එම කණ්ඩායම් නිවෙස්වලට ගොස් පිරිසිදු කිරිිමේ කටයුතු සිදු කරනවා.

ජල පොම්ප රැගත් කණ්ඩායම් යවා ළිං හිස් කිරීමේ කටයුතු සිදුකරනවා. එම හිස්කළ ළිං හොදට පිරිසිදු කළ යුතු ආකාරය පෙන්වා දී පිරිසිදු කර අවසන් වූ පසු ටී.සී.එල් රසායන කාරකය දමා පිරිසිදු ජලය ලබාදීමට කටයුතු කරනවා. මෙම රසායනය මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගෙන් ලබා ගත හැකියි.

මෙම පිරිසිදුකාරකය යොදා දින 3ක්වත් ළිඳ පිරිසිදු කළ යුතු බවට අපි උපදෙස් ලබාදෙනවා.අපද්‍රව්‍ය බැහැර කිරීමත් ලොකු ගැටලුවකි. නිවෙස්වල හැමදේම ගංවතුර නිසා විනාශවෙලා තියෙන්නෙ.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියත් සමඟ එකතුවෙලා මෙම අපද්‍රව්‍ය බැහැරකරන ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කර තියෙනවා. ඒ අය ඇවිත් දිරන සහ නොදිරන අපද්‍රව්‍ය වෙන් වෙන්ව එකතුකර එක් එක් ප්‍රදේශයේ පත්කර ඇති කළමනාකරුවෙකු පැමිණ ඒවා වෙනම ප්‍රවාහනය කරවා අදාළ තැන්වලට දමනවා.

සෞඛ්‍ය අංශයේ වැඩිපුරම අවධානය යොමුවන්නේ වතුර බැසයාමත් සමඟ නොයෙකුත් ආසාදන තත්ත්ව ඇතිවියහැකි බවටයි. එනම් වසංගත රෝග ප්‍රදේශය තුළ හිසඑසවිය හැකියි. එම නිසා ජනතාවට දිගටම සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. වෛද්‍ය කණ්ඩායම් ප්‍රදේශයේ ජනතාව වෙත ගිහින් ඒ අය දැනුවත් කිරිම සිදුකරනවා.

මෙම ප්‍රදේශවල වැඩි පිරිසකගේ ඉගෙනීම් තත්ත්වය පහළ මට්ටමක පවතින හෙයින් කෑමට පෙර අත් සේදීම, වැසිකිළියාමෙන් පසු සබන් දා අත් සේදීම, ළමයින්ගේ මළපහ වැසිකිලියටම දැමිය යුතු බව, බිම වැටුණු දේ ආහාරයට නොගතයුතුබව වැනි සරළ සෞඛ්‍ය පුරුදු කියාදිම සිදුකරනවා.

තවත් අවධානම් සහිත දෙයකි මදුරු උවදුර ඇතිවීම. එම නිසා වතුර එකතු වී ඇති බඳුන් හැකි ඉක්මනින් ඉවත්කිරීමේ කටයුතු ඝන අප ද්‍රව්‍ය කළමනාකරණ ඒකකයත්එක්ක එකතුවෙලා අප සිදුකරගෙන යනවා. ඒ වගේම ධූමායනය සිදුකරන්නත් කටයුතු කරනවා. මෙයින් ඩෙංගු, මැලේරියා වැනි රෝගවාහක මදුරු කීටයන් ඇත්නම් විනාශයට පත්කරනවා. මෙම වසංගත රෝග වැළැක්විමේ ක්‍රමයක් ලෙස එය ක්‍රියාත්මක කරනවා.

මෙම නිවාසවල ඉන්න ගරභනී මාතාවන් පිළිබඳව විශාල ගැටලු මතුවෙලා තියෙනවා. එනම් ගරභනී මාතාවන්ගේ දෛනික සටහන්පත් ගංවතුරෙන් විනාශයට පත් වි තියෙනවා.

එහි පිටපත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් ළඟ තිබුණ ද ඒවත් ගංවතුරෙන් විනාශ වී තියෙනවා. මේ නිසා ගැභිනි මාතාවන් සම්බන්ධව විශාල ගැටලුවක් මතු වි තියෙනවා.

ඒ කෙරෙහි විශේෂ අවධානයක් අප යොමු කර ඒ අයට අලුත් සටහන්පත් නිකුත්කර ඒ අයගේ අවධානම් තත්ත්ව නැවත සටහන්කර එම අයට නිසි රැකවරණය ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඒ අයට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම නිසිපරිදි සිදුවනවා ද යන්න සොයා බලනවා.

ඒ වගේම මි උණ වැනි රෝග තත්ත්වයන් ද මතුවිය හැකියි. මෙම රෝග වැළැක්විම සඳහා ඩොක්සිසයිකොලින් යන එන්නත ලබා දෙනවා. අවුරුදු 12න් ඉහළ සහ අවුරුදු 60න් පහළ සෑම කෙනෙකුටම මේ එන්නත ලබා දෙනවා. ;

මේ සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන් පත්කර තිබෙන බවද ඇය සඳහන්කළාය.

දුක් කරදර කප්පරක් සමඟින් ගෙවන මේ ජීවිතවලට ආලෝකයක් වන්නට හැකිනම් එයයි සබෑ මනුෂ්‍යත්වය. පසුගිය දිනයන්හි ඒ මනුෂ්‍යත්වයේ මහිම කෙතරම්දැයි පසක්විය.

පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලැබුණද ඒ අසරණ ජීවිතවලට ආලෝකය පෙනෙන තෙක්මානයක නොවනබව මොනවට පැහැදිලිවේ.
2_0

relief camp

This story was published in the Dinamina –
http://www.dinamina.lk/?q=2016%2F05%2F27%2F%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%2F16854