අලි යන්නෙ එන්නෙ අපේ මිදුල උඩින්. කළුවර වැටුණම එළියට බහින්න බයයි. අපි වන රක්ෂණ එකට ගිහින් කිව්වට බලන්නවත් එන්නෑ. මාස තුනකට කලින් අලි වැටක් ගහන්න කියලා පාර සුද්ද කළා. ඒත් තවම වැට ගැහුවෙ නෑ. කැලෑ නැති නිසා උන්ට කන්න කෑම නෑ. ඒ නිසා තමයි අලි ගම් වදින්නෙ.

ඉනෝකා සුරියප්පෙරුම

ජීවිතය ජීවත් කරවන්නෙ නැවුම් බලාපොරොත්තු. ලෝකයක් ආලෝකමත් කරන්නෙ නැවුම් හිරු කිරණ. ඒ සියලු දේ අතරෙ දුක්විඳින මිනිසුන්ට රාත්‍රී කාලය කියන්නෙ අමිල සම්පතකි. උදෑසන අවදි වූ මොහොතේ පටන් උදලු කැති පොරෝ සමග ඔට්ටු වෙන ඔවුන්ට අඳුර විනිවිදගෙන එන නින්ද ලබාදෙන්නෙ වදනින් කියා නිම කළ නොහැකි අස්වැසිල්ලකි. ගිනි අව්වෙ දැවෙන ගත වගේම සිතත් සනසන නිසාම ඔවුහු අඳුරට පෙම් බඳිති. නමුත් අලි තර්ජන ඔවුන්ගේ නින්ද සොරාගෙන ඇත. ඒ අලි මිනිස් ගැටුමින් දුක් විදින ගම්වැසියන්ගේ ශෝචනීය කදුළු කතාන්දරය පිළිබඳව මෙලෙසින් විමසා බලමු.

රමණීය කඳු පන්ති, ගලා යන දිය දහරාවන්, වෙල්යායන්ගෙන් වැල්ලවා‍යේ ස්වභාව සෞන්දර්ය වඩා හැඩව ඇති බව කාටත් නොරහසකි. පරිසරයේ සුන්දරත්වය එළෙස වුවත් එහි ඇතැම් ගම්වල ගම්වැසියන්ගේ ජීවිතවල නම් ඒ සුන්දරත්වය නැත්තේ . රාත්‍රී කාලයට කඩාවඳින වල් අලි නිසාවෙනි. එම තත්ත්වය මේ වන විට අඩු වී ඇත්ද නැතිනම් වැඩි වී ඇතිද යන්න සොයා බලන අටියෙන් අපි මුලින්ම අලි මිනිස් ගැටුමට කේන්ද්‍රස්ථානයක් වූ වරුණගමට පියමැන්නෙමු.

වරුණගම වෙත ගිය අපගේ සිතට දැනුණේ මහත් බියකි. ඒ වන අලියකු විසින් මෑතකදී නිවසක් කඩා දමා ඇතිබවත්, නිවෙස් හිමියා දිවි බේරා ගෙන ඇත්තේ යාන්තමින් බවත් එහි ගම්වැසියෙකුගෙන් අපට දැනගන්නට ලැබීමත් සමඟය. සිත් තුළ කිසියම් චකිතයක් තිබුණත් මුලින්ම ඒ ගැන සොයන්න අපි තීරණය කළෙමු. නිශාන්ත රංජිත් නවරත්ත එම කඩා දැමූ නිවස අසල පදිංචිකරු වූ අතර මේ සිදුවීම පිළිබඳව තොරතුරු සියල්ල ඔහුගෙන් දැනගත හැකිවිය.

“අලි මිනිස් ගැටුම් දැන් එන්න එන්නම වැඩිවෙලා. කොහේ හරි දරුණු අලියෙක් හිටියොත් ගෙනත් දාන්නේ යාල කැලේට. යාල කැලේ සම්බන්ධයි කතරගමට. මේ පැතිවල කුණු ඔක්කොම ගෙනත් දාන්නේ වරුණගමට. අලි උදේ ඉඳන් කුණුවල ලැඟලා ඉඳලා හවස් වෙනකොට විදුලි වැට ළගට එනවා. ඒ වැට කැඩුණත් අපිම තමයි හදා ගන්න ඕනේ.”

damage
වරුණගම ප්‍රදේශයේ විදුලි වැට අසල පදිංචි වී සිටින ජී. එම් සෝමාවතී තමන්ගේ ජීවිතවල තිබෙන අවධානම පිළිබඳව මෙසේ පැවසුවාය.

“දැන් වෙනදට වඩා අලි එනවා වැඩියි. අපි කරන්ට් වැට අයිනේ ඉන්න නිසා අපිට තමයි අලි කරදර වැඩි. පෙරේදා රෑ අපේ මිදුලටත් ආවා. රෑට ලෙඩක් හැදුනොත් අරන් යන්න විදියක් නෑ. පෝය දවසකටවත් පන්සලට යන්න අපට වාසනාවක් නෑ. මෑතක 04 කණුවෙදි ගිලන් රථයකටත් අලියෙක් ගැහුවා”

අලි තර්ජන නිසා ඔවුන් දවස ගෙවන්නේ මරණ බියෙනි. තමන් දුක් විඳ හදා ගත් ගේ දොර හා භව භෝග තම දෑස් ඉදිරිපිටම විනාශ වන අයුරු දකින ඔවුන්ගේ සිත වේදනාවෙන් දැවෙන බව අපට ද දැනිණි.

වැල්ලවාය පේරකැටිය ගම්මානය ද ඒ වගේ දුක් ගින්දර කප්පරක් උහුලන අහිංසක මිනිසුන් පිරිසක් ඉන්න ප්‍රදේශයකි. දුක් මහන්සියෙන් වගා කරන හේන්, කුඹුරු, කොරටුවලට රාත්‍රී කාලයේදී කඩා වදින අලි නිසා නිදි දුවට පෙම් බදින අවසරය ඔවුන්ට අහිමි වී ඇත. පේරකැටිය ගම්මානය දකින්නන්ට දෘශ්‍යමාන වෙන්නෙ ස්වභාව සෞන්දරයයේ අපූර්ව නිර්මාණයක් ලෙසිනි. නමුත් වී, පොල්, කෙසෙල්, උක්, ගස්ලබු, තක්කලි, පිපිඤ්ඤා, කජු, මඤ්ඤොක්කා වගේ බෝග වගා කළ සරුසාර ඉඩම් අද කැළෑ බවට පත්ව තිබේ. නිමක් නැති අලි කරදර නිසාම අකමැත්තෙන් වුනත් තමන්ගේ ඉඩම් පාළුවට යවන්න ඒ මිනිසුන්ට සිදුවී ඇත. පෙනෙන තෙක්මානයක විසඳුමක් නැති වුනත් පේරකැටිය ප්‍රදේශයේ ජිවත්වන මල්කාන්ති ශ්‍රියාලතා තමන්තේ කඳුළු කතාව අපට මෙසේ පැවසුවාය.

“අලින්ගේ කරදරවල නම් ඉවරයක් නෑ. මං ගොඩක් මහන්සිවෙලා හදාගත්ත ගස්ලබු පැළ තවාන අලි ඇවිත් එක මොහොතින් විනාශ කළා. ඒ විතරක් ‍‍නෙමෙයි වත්තෙ තිබුණ පොල් ගස් පහළොවක් විතර අලි පෙරලුවා. දෙල් ගස්වල පොත්තේ කිරි තියෙන නිසා උන් පොතු කනවා. ඊට පස්සේ ගස් මැරෙනවා. අවුරුදු ගාණක් මහන්සිවෙලා හදාගත්ත ගස්කොළන් පීදෙන කොටම කාලා දානවා. අපි දැන් ගොඩක් වගාවන් අත්හැරලා දාලා තියෙන්නේ. ඉඩම් සුද්ද කරන්නේවත් නෑ. වගාවලට කොයිතරම් හානි වුනත් අපිට කිසිම විදිියක වන්දියක් ලැබෙන්නේ නෑ.”

අලි විනාශ කළ වගාවන් ද ඇය අපට පෙන්නුවාය. මිනිසුන්ගේ වගාවලට ඒ තරමටම හානි කරන්න අලින්ගේ හිතේ තරහක් තිබේදැයි ඒවා දුටු අපට සිතුණි.

මේ තොරතුරු සොයා යන අතරතුර ගම්වදින අලින් සැබවින්ම දැකගන්න අපට අවස්ථාව ලැබිණි. මිනිසුන් උන්ව එළවන්න ගන්න වෙහෙස දුටුවම ඔවුන් පැවසූ යථාර්ථය අපි ද අත්වින්දෙමු. මේ ලෙසට වසර ගණනාවක් අලිත් එක්ක ඔට්ටුවුණු ටී. ඩබ්. ඒ. සෝමපාල අප සමඟ ඔහුගේ අත්දැකිම් බෙදා ගන්නට කැමතිවිය.

“අලි කරදර වැඩිපුරම තියෙන්නේ බෝග වගාකරන කාලෙටයි අස්වනු නෙළන කාලෙටයි. ඉස්සර අලි මිනිස්සුන්ට බයයි. මිනිස්සු ඉස්සරහට එන්නේ නෑ. දැන් ඒ තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. උන් මෙල්ල කරන්න බෑ. ඒ නිසා ගම්මානවලට ඇවිත් හිතේ හැටියට සෙල්ලම් දාලා යනවා. අලි යන්නෙ එන්නෙ අපේ මිදුල උඩින්. කළුවර වැටුණම එළියට බහින්න බයයි. අපි වන රක්ෂණ එකට ගිහින් කිව්වට බලන්නවත් එන්නෑ. මාස තුනකට කලින් අලි වැටක් ගහන්න කියලා පාර සුද්ද කළා. ඒත් තවම වැට ගැහුවෙ නෑ. කැලෑ නැති නිසා උන්ට කන්න කෑම නෑ. ඒ නිසා තමයි අලි ගම් වදින්නෙ.”

වැල්ලවාය ප්‍රදේශයේ හඳපානාගල ද වන අලින්ගේ තහංචිවලින් බැටකන ගම්මානයකි. එහි මිනිසුන්ටත් දවල් තිස්සෙම මහ පොළවත් එක්ක ඔට්ටු වෙලා රෑ තිස්සෙ අලිත් එක්කත් ඔට්ටුවෙන්න සිදුව තිබේ. හඳපානාගලට හඳ පායන්නේ කවදාදැයි බලාගෙන සිටින ඔවුන් වෙත ලැබී ඇති විසැඳුම් සහ ඔවුන් බලාපොරොත්තුවන විසඳුම් පිළිබඳව ද අපි සොයා බැලුවෙමු. හඳපානාගලට පවතින අලි තර්ජනය පිළිබඳව පළමුවෙන්ම විමසා සිටියෙ ගම්වාසී ඩී.එම් සරත් බණ්ඩාරගෙන්.

“අලින්ගෙ නිජබිම හඳපානාගල. මෙම අලි මිනිස් ගැටුම පවතින්නෙ අද ඊයෙ ඉඳන් නෙවෙයි. 77 විවෘත ආර්ථිකයෙන් පසුව පැවති ආණ්ඩුව හඳපානාගල වන රක්ෂිතයෙන් හෙක්ටයාර් හැටහයදාහක් ඩෝසර් කරලා විකුණුවා. ඒ බිම් කොටස්වල දැන් කර්මාන්තශාලා ඉදිකරලා. මේ වගේ ආයතන ඉදිවෙන විට නිජබිම අහිමි අලි වියරු වැටෙනවා. උන් යාල වන රක්ෂිතයට පළවාහැරියත් නැවතත් තම නිජබිම සොයාගෙන එනවා. පැල්වත්ත කර්මාන්තශාලාව නම් වැටක් ගහලා රැකගන්නවා. ඒත් ගම් වදින අලින් මිනිස්සුන්ගෙ ජීවිතවලට තර්ජනයක් වෙලා. එහි ප්‍රතිඵලයක් විදිහට දැනට මේ ගමේ මං දැනුවත්ව හත් දෙනෙක් මරලා දාලා තියෙනවා. මේ ගැටලුවට එකම විසඳුම ලෙස මම නම් දකින්නෙ අලින්ගේ නිජබිම උන්ට ලබා දියයුතු බවයි. ඒවා තවදුරටත් විනාශ වෙන්න නොදී පවත්තවා ගතයුතු බවයි. ඒ වගේම මේ දවස්වල හඳපානාගල වැව අඩි 4ක් උස්සන්න වැඩ කරගෙන යනවා. එයින් වන රක්ෂිතය තව තවත් විනාශ වෙනවා.ඒ ගැන සිතා බලා කටයුතු කළොත් අනාගතයේදීවත් අලි – මිනිස් ගැටුම වළක්වාගන්න හැකි වෙයි.”

Handapanagala villagers

හඳපානාගල අලි කරදරයට මුහුණ දෙන මිනිසුන් අතරේ ආර්. එම් හීන්බණ්ඩාත් එක් අයෙකු වෙයි. කොතෙක්කල් බලන් හිටියද අලි කරදරය විස‍ඳෙනතෙක් තවමත් එය නිම නොවුණු වග අප සමඟ ඔහු පැවසුවේය.

“හඳපානාගල සහ අවට ප්‍රදේශය සංචාරක කර්මාන්තයක් බවට පත් කරන්න යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. සංචාරක කර්මාන්තය සඳහා රජයෙන් වාහන දැම්මා. ඒ නිසා අලින්ගෙ බය නැති වුණා. ගම බලන්න ආව විදේශිකයන් දෙදෙ‍ෙනකුත් උන් මරලා දැම්මා. උන් දැන් මිනිස්සුන්ටත් බය නැති නිසා වන ජීවී එකයි, රජයයි මැදිහත්වෙලා අලින්ව නඩත්තු කරන්න ඕන.”

වැල්ලවාය ප්‍රදේශයේ මිනිස්සුන්ට අලින් යනු විශාල ප්‍රශ්නයකි. ඒ වෙනුවෙන් තවමත් හරියට විසඳුමක් නැති බව ගම්මුන්ගෙන් ලැබුණු තොරතුරු වලින් අපට වැටහිණි. ඒ සම්බන්ධව වගකිවයුතු බලධාරීන් හමු වී මිනිසුන්ගෙ ජීවිත ආරක්ෂාවට ලබා දෙන සහ ලබා දී ඇති විසඳුම් මොනවාද යන්නත් අපි විමසා බැලුවෙමු.

ගමක මිනිසුන් සමඟ වඩාත් සමීප ග්‍රාම නිලධාරිතුමන් ය. අලි තර්ජනයට ලක් වූ වැල්ලවාය ගම් කිහිපයක ග්‍රාම නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව වමසීමේ දී එයට ගෙන ඇති පියවර පිළිබඳව මෙලෙස පැවසීය.

“රාත්‍රී කාලයේ ගමේ පාරවල්වල ට්‍රැක්ටර් යොදවා තියෙනවා. ගිනිමැල ගහනවා. අලින්ගෙන් මිනිසුන්ට හානියක් වුනොත් ගොවි ජන සේවා එකේ රක්ෂණය වෙලා ඉන්න අයට පමණක් වන්දි ලබා දෙනවා. අලින් සඳහා අගලක් කපන්න බලාපොරොත්තු වෙනවා.

(හඳපානාගල ග්‍රාම නිලධාරිනී කේ.එම් නිමාලි ප්‍රියදර්ශනී මහත්මිය)

“වැස්ස නිසා අලි කරදර ටිකක් අඩුයි. සංවර්ධන යෝජනා ක්‍රම නිසා අලින්ට ඉන්න තැනක් නෑ. කන්න බොන්න දෙයක් නෑ. ඒ නිසා තමයි ගම්වලට එන්නේ. වගා හානිවලට තවම විසඳුමක් නෑ. වන්දි ලබාදීමක් සිදු කරන්නේ නෑ. කරන්ට් වැටක් සවි කරන්න යෝජනා වෙලා තියෙනවා. අවුරුද්ද පුරාම අලි එනවා. පායන කාලෙට වැඩියි. ගොයම් කපන කාලෙටත් අලි කරදර වැඩියි.” (පේරකැටිය ග්‍රාම නිලධාරී ආර්.ඩබ්.ඒ. සමන් කුමාර මහතා)

වන සතුන්ගෙන් මිනිසුන්ට කරදර වෙනවා නම් ඒ ගැන වැඩි අවධානයෙන් සිටින්නෙ වන අඩවි ආරක්ෂක අංශයයි. වැල්ලවායෙ ඒ පිළිබඳව කටයුතු කරන එච්.එම් චරිත සංකල්ප හේරත් මහතාගෙන් ඒ පිළිබඳව අපි විමසා බැලුවෙමු.

“අලි කරදරෙන් මිනිසුන් ආරක්ෂා කරගන්න විදුලි වැටක් ක්‍රියාත්මක වෙනවා. එය ආනපල්ලම සිට හඳපානාගලටත්, අන්නාසිගල සිට අයිස්පීල්ලටත් ආදී වශයෙනි. එහි දෙවන අදියරේ කටයුතු 75%ක් දැනට නිමවෙලා තියෙනවා. ගල්බොක්ක සිට අයිස්පීල්ලටත්, කුඩාඔය සිට අලුත්ඔය දක්වාත් විදුලි වැටවල් දාන්න යෝජනා වී තියෙනවා. හැමතැනම අලි ඉන්න නිසා සංරක්ෂණය කිරීමේ දී ගැටළු මතු වෙනවා. වැල්ලවායෙ වන ජීවි රක්ෂිතයක් නැති එක ලොකු අඩු පාඩුවක්. දැනට මෙම අංශයේ නිලධාරී හිඟයක් ද පවතිනවා. අලින්ගෙන් මිනිස් ජීවිත බේරා ගන්න තාවකාලික විසඳුමක් විදිහට මිනිසුන්ට අලි වෙඩි ලබා දී තියෙනවා. කලහකාරී අලි අල්ලා දැඩි ආරක්ෂිත ක්‍රමවලින් ගෙන ගොස් අලි අනාථාගාරවලට දමනවා.”

මිනිසුන් ජීවත්වීමට අනේකවිඳ දහදුක් විඳියි. අලි, ගමට කඩාවැදී ඔවුන් හරි හම්බ කරන දේ විනාශ කර දමා යයි. එය කෙතරම් නම් මානසික පීඩනයක්ද. මේ ජනතාවට ලබා දෙන විසඳුම් පිළිබඳව වැල්ලවාය ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් ද විමසා බලන්න අපි තීරණය කළෙමු. එහිදී ජීවිත හානියකදී ලබා දෙන උපරිම මුදල ලක්ෂයක් වන බවත්, දේපළ හානියක දී විසිදාහක මුදලක් ලබාදෙන බවත් අපට දැනගන්නට ලැබිණි.

සුන්දර වැල්ලවාය ප්‍රදේශයේ අසුන්දර අලි -මිනිස් ගැටුම පිළිබඳ තොරතුරු සොයා යන ගමනේ දී මෙම ගැටුමෙහි ආරම්භය අද, ඊයේ නොවන බව අපට වැටහිණි. එමෙන්ම තවමත් එම ගැටුම අඩු වී නොමැති බවත් එම ගැටුමට වගකිවයුත්තන් අලින් හෝ මිනිසුන් නොවන බවත් පැහැදිළිය. එහි අප දුටු අපූරු දෙය නම් ජීවත් වෙන්න උත්සහ දරණ සත්ත්ව කොට්ඨාශ දෙකක් ඒ තුළ සිටින බවයි. එක් පසෙකින් උපන් නිජබිම අහිමි වී ඒ වෙනුවෙන් නැගී සිටින පිරිසකි. අනෙක්පසින් උපන් නිජබිමේ නිදහසේ ජීවත් වන්නට නොහැකිව විඳින පීඩා වලට විසඳුම් හොයන පිරිසකි. මේ දෙපාර්ශවය අතර ඇත්තේ එකම අරමුණකි. නමුත් ඔවුනොවුන් අතර ඔවුන්ටම නොදැනී ගැටුමක් නිර්මාණය වී ඇත. එයට වගකිව යුත්තේ ඔබ ද? මම ද? නැතිනම් මේ පවතින සමාජ ක්‍රමය ද? තවමත් ස්ථිර පිළිතුරක් නැති මේ ගැටලුවට වගකිවයුත්තන්ගේ අවධානය ඉතා ඉක්මනින් යොමු වන්නේ නම් මැනවි. නැතිනම් මේ ගැටුම වළක්වාගත නොහැකි තරමට උඩුදුවනු ඇත.

දිල්හානි අතුකෝරළ

මදාරා මුදලිගේ

This article was published in the Dinamina – http://www.dinamina.lk/?q=2016/05/27/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/16791