තරිඳු ජයවර්ධන

(අරණායක සංචාරයකින් පසු)
අරණායක එළඟිපිටිය සාමසර කන්දේ කොටසක් නායෙ යාමෙන් පසු අතුරු දන් වූ සියයකට අධික පිරිසක් සෙවීමේ කටයුතු අරම්භ වී ඊයේ (20) ට දින තුනකි. ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අනුව ඊයේ (20) දහවල් වන විට මළ සිරුරු 19ක් සොයා ගෙන තිබිණි.

සාමසර කන්දේ නාය ගිය පෙදෙසේ සිරිපුර,එළඟිපිටිය සහ පල්ලේබාන ගම්මානයක් විය. මේ ගම්මාන තුනේ පවුල් 220ක් සිටි බවට තොරතුරු ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් ජොනී මහතා කීවේය. ඉන් මේ වන විට සොයා ගෙන ඇති පවුල් ගණන 21කි. තවත් ඉතිරි පවුල්වල විස්තර ඊයේ සවස් වන විටත් ලැබී නොතිබිණි.

සාමසර කන්දේ නාය යෑමෙන් 135කට වැඩි පිරිසක් පස්වලට යට වන්නට ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථිර වශයෙන් කියයි.
එසේ පස්වලට යටවූවන් සොයාන සෝදිසි මෙහෙයුම වඩාත් දුෂ්කර වී ඇත්තේ විටින් විට ඇද හැලෙන වර්ෂාවත් සමග කන්දේ යළි යළිත් නාය යෑම් ඇති වීමයි.

ජේ පී ධනුෂ්ක සාමසර කන්ද පාමුල වෙල්යාය අසල පදිංචි තරුණයෙකි. ඔහු රැකියාව කරනුයේ මහනුවර ප්‍රදේශයේය. ධනුෂ්කගේ මව, පියා සහ සහෝදරයා පදිංචිව සිටියේ සාමසර කන්නේ සිරිපුර ගම්මානයේ ය. සාමසර කන්ද නාය යෑමෙන් පසු පැමිණි පස් තට්ටුව නතර වී තිබුණේ ධනුෂ්කගේ නිවස අසලය.

‘‘දවස් තුනක් විතර තිස්සේ හයියෙන් වහිනවා. අපට කවුරුවත් කිව්වේ නෑ මේ පැත්ත නාය යයි කියලා. අම්මලා හිටියේ සිරිපුර කන්දේ. වැස්ස වැඩි නිසා මම අම්මවයි, තාත්තවයි, මල්ලිවයි අපේ ගෙදර ගෙනත් තියා ගත්තා. පහුගිය 17 වැනිදා හවස පහට විතර මහා හයියෙන් සද්දයක් ආවා. එළියට ඇවිත් බලද්දි සාමසර කන්දේ පස් තට්ටුවල් පහළට එනවා. මම ගෙදර අයත් සමග දිව්වා. පස් කන්ද ඇවිත් අපේ ගේ ළඟින් නතර වුණේ. ටික මුළු පැත්තම පස් තට්ටුවක් බවට පත් වුණා. අම්මලා හිටපු ගේ හොයා ගන්නත් නෑ.‘‘ යැයි ධනුෂ්ක කීවේය.
ඩී පී නිමල් රත්නසිරි සාමසර කන්ද පාමුල වෙල් යාය අසල කුඩා කඩ කාමරයක් දැමුවේ මීට ටික කාලයකට පෙරය. සිද්ධිය වූ දා ඔහු සිටියේ එම කඩයේය.

‘එක පාරට මහා සද්ධයක් ආවා. එළිය බලද්දි ගල් පෙරලීගෙන එනවා. ටික වෙලාවකින් බලද්දි මුලු පැත්තම පස් සහ මඩ. මගේ කඩේ යාන්තම් බේරුණේ. උඩ ගෙවල් ගොඩක් තිබුණු තැනක්වත් හොයා ගන්න නෑ.‘ යැයි ඔහු කීවේය.
නාය යෑමෙන් පසු ඔහු වරින් වර සාමසර කන්ද යළි යළිත් නාය යන නිසා ඔහු පසුගිය බදාදා (18) කඩයට වසා දමා තිබිණි. යළි 19 වැනි දා ඔහු කඩය විවෘත කළේ සාමසර කන්ද නාය ගොස් ඇති අයුරු බැලීමට දහස් ගණනක් පැමිණි නිසාය.

නාය යෑමෙන් පසු යුද හමුදාව සහ පොලිස් විශේෂ කාරය බළකාය මුලින්ම සෝදිසි මෙහෙයුම් ඇරැඹුවේ බදාදා (18) උදෑසනය. සෝදිසි මෙහෙයුම් පහසු නොවූයේ බෙහෝ තැන්වල අඩි ගණනක් මඩ පිරී තිබූ නිසාය. එදින සවස් වන විට නව 14 දෙනකුගේ පමණ සිසුරු සොයා ගැනීමට යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය සවස් විය.

බදාදා (18) සවස පහ පමණ වන විටත් මහ ජන ගඟක් ඒ දෙසට ඇදී එමින් තිබිණි. කන්දේ මදක් දුර ගිය විට කැඩී ගෙයක් සහ ඉතිරි වූ බුදු පිළිමයක් හමු වෙයි. ඊට ඉහළින් සෝදිසි මෙහෙයුම් කරමින් සිටි යුද හමුදාව සවස පහට පමණ පිටවී ගියේය. ඉන් මද වේලාවකට පසු එක් වරම මහා වැස්සක් ඇද හැළුණේය. මිනිත්තු පහක් පමණ යද්දී ප්‍රදේශයම ගිගුම් දෙමින් මහා ශබ්දයක් ඇසුණේය. ගත වූයේ මිනිත්තු දෙකක් පමණය. මහා විශාල ජල පහරක් සමග පස් කන්ද නැවත පහළට එන්නට විය. ඇතැන සිටියෝ සීසිකඩ වෙනත් කඳු මුඳුන්වලට දුවගොස් දිවි බේරා ගත්හ.
බ්‍රහස්පතින්දා (19) උදේ යළි සෝදිසි මෙහෙයුම් ඇරැඹි අතර එය නැවත නවත්වන්නට සිදුවූයේ මිනිත්තු කිහිපයකින් ඇද ඇහුළු මහා වර්ෂාවත් සමගය. ඒ මොහොතේ යළිත් ප්‍රදේශය ගිගුම් දෙමින් පස් කන්ද පහළට පැමිණ ඇති අතර කිහිප දෙනකු දිවි බේරාගෙන තිබුණේ අනූ නවයෙනි.
එම සිද්ධියෙන් පසු සෝදිසි මෙහෙයුම්වල නිරත යුද හමුදාව සහ පොලිස් විෂේෂ කාර්ය බළකාය යළි ආරක්ෂිත ස්ථාන කරා කැඳැවිණි. දහවල් 10.30ට පමණ වැස්ස නැවතුණු පසු පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් ඇරැඹීය. ඒ කඳු පාමුල වෙල්යාය තිබුණු ස්ථානයේය. එහි දැන් පෙනනුයේ විශාල මඩ තට්ටුවක් පමණි. එහි වෙල් යායත් තිබූ බව සොයා ගැනීමටවත් බැරිය.
IMG_20160519_114356

බූට් සපත්තු දැමූ විශේෂ කාර්ය බළකායේ 20 දෙනෙක් පමණ යකඩ කූරු අතැතිව ටිකෙන් ටික මඩ ගොහොරුවේ ඈතට යන්නට පටත් ගත්හ. ඇතැම් තැන්වල අඩියක් තියද්දීම ඉන පමණ වන තුරු යටට යයි. ඉතා අපහසුවෙන් යළි ගොඩ විත් කූරු ගසමින් ඉදිරියටම යයි. මෙය අමුතුම දර්ශනයක් ලෙස බොහෝ දෙනකු බලා සිටියත එහි ඇති අනතුර දන්නේ ඒ කටයුත්තේ නිරත වන අය බව විශේෂ කාර්ය බළකා සේවකයෙක් කීවේය.

‘‘කූරු ගගහා යන්නේ ගැඹුරු තැන් බලන්නයි. කොච්චර එරෙනවද බලන්නයි. ඒ එක්කම යට මිනියක් හෝ යම් දෙයක් තිබුණොත් කූරට දැනෙනවා. මේ ප්‍රදේශයේ පස් වලට වඩා තියෙන්නේ මඩ තට්ටු. උදලු අරගෙන හාරන්නත් බෑ. අඩිය තියද්දි සමහර තැන්වල ඉන ගාවට වඩා එරෙනවා. අපිත් කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි. උලක් තිබුණොත් ඇනෙන්න පුළුවන්. වළක් තිබුණොත් වැටෙන්න පුළුවන්. ඒත් අපි ගැන හිතන්නේ නැතුව මේ වැඩ කරනවා.‘‘ යැයි එම කටයුත්තේ නිතරව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙක් කීවේය.
බ්‍රහස්පතින්දා පස්වරු 11.15පමණ වන විට යුද හමුදාවේ පිරිස් කන්දේ ඉහළ ප්‍රදේශය කරා යෑම ඇරැඹීය. දැඩි වෙහෙසක් දරා ගල් තල්ලු කරමින් කඹ මගින් ගෙවල්වල ඉතිරි වූ කොටස් ඉවත් කරමින් ඔවුහු සෝදිසි මෙහෙයුම් සිදු කළහ. ඇතැම් තැන්වල මඩ තට්ටු පිරී තිබූ නිසා ඔවුහු ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.

සාමසර කන්දේ නිවාස තිබූ උදවියගේ ඥාතීහු දුර බැහැර සිට පැමිණ තම ඥාතීන්ගේ ගෙවල් තිබූ තැන් දෙස බලා සිටියහ. ඇතැමෙක් හමුදාව සේදිසි මෙහෙයුම් කරද්දී එම ස්ථානවලට වී හෝඩුවවක් ලැබෙතියි බලා සිටියෝය.

ඒ එම් එස් ශාන්ත කුමාරද නාය යෑමට ලක්වූ නිවසක පදිංචි 30 හැවිරිදි තරුණයෙකි. ඔහු බේරී තිබුණේ කන්ද යාන යෑමට මිනිත්තු තුනකට පමණ පසු පහළ කඩයට ගොස් සිටි නිසාය. යුද හමුදාව සෝදිසි මෙහෙයුම් කරද්දී ශාන්ත කුමාරද එතැනට වී බලා සිටියේය. ඔහුගේ නිවස තිබූ තැන හඳුනා ගැනීමට ඇති එකම සලකුණ මහා විශාල සියඹලා ගස පමණි. ගසේ මුල සිට ඉහළට සාමාන්‍ය ප්‍රමාණයක් පස්වලින් වැසී තිබිණි.
බ්‍රහස්පතින්දා 12.15 පමණ වන විට යළි මහ වැසි ඇද හැලෙන්නට පටන් ගැනීමත් සමග සෝදිසි මෙහෙයුම් නතර කැරිණි. ඒ වැස්සත් සමගද කන්නේ සුළු නාය යෑමක් ඇති වූයේ බොහෝ දෙනකු බලා සිටියදීය.

බ්‍රහස්පතින්දා සවස් වරුවේ ඇරැඹි වර්ෂාව රාත්‍රී වන තුරුම තිබිණි. කන්දේ වෙනත් අවදානම් ස්ථානවල පදිංචිකරුවන්ද ඉවත් කර ඇති අතර ඔවුහු ප්‍රදේශයේ අවතැන් කඳවුරු 11ක පදිංචි කරනු ලැබ සිටියහ.

බ්‍රහස්පතින්දා සව මහ වැසි සමග කන්ද නාය යද්දී එළඟිපිටිය අවතැන් කඳවුරුවල සිටි පිරිස් යළි භීතියට පත්වූහ. සමහරු දුවන්නට හැදූ බව සහන සේවකයෝ කියති. කෙසේ හෝ බියට පත් විය යුතු නැතැයි ද, තමන් ඉන්නේ ආරක්ෂිත තැනක යැයි ද කියමින් ඔවුන් අස්වැසූ බව සහන සේවකයෝ පවසති.

රාත්‍රී වන විට සාමසර කන්දේ වෙනත් බෑවුමක ද නාය යෑමක් ඇති වූ අතර එම ප්‍රදේශයේ පිරිස් අනතුරු දායක භාවන නිසා ඉවත් කර තිබිණි.
අරනායක පෝඩාපේ කන්ද සහ ජනපද කන්දේද නායයෑමේ ලකුණු තිබූ නිසා දෙයියවල සහ පෝඩාපේ ග්‍රාමසේවා වසම්වල 79 දෙනෙක් පෝඩාපේ පුරාන විහාරස්ථානයට පැමිණ සිටියහ.

පෝඩාපේ ප්‍රදේශය 1956 දී හා 1996 දී නාය ගිය බව ගැමියකු වන ඩබ්ලිව් සුසන්ත බණ්ඩාර මහතා කීවේය.
අම්බලන්කන්ද, ගංතුන, බැලුම්ගල ආදී ප්‍රදේශවල පිරිස් ද ඉවත් කර තිබිණි. එළඟිපිටිය ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා රාත්‍රී හතට පමණද මහා ශබ්දයක් සමග නාය යෑමක් සිදුවූ බව සිද්ධිය දුටුවෙන් කීවේය. එම ප්‍රදේශවල ඇතැම් මාර්ග ගිරි තලා තිබිණු බවත්, තවත් පැතිවල පාරේ අඩියක පමණ විවර තිබුණු බවත් ඇසින් දුටුවෝ කියති.

ඊයේ (20) උදේ වන විට එම ගම්මානවල පිරිස් තාවකාලිකව නැවැත්වීම සඳහා තවත් අවතැන් කඳවුරක් ආරම්භ කළ අතර ඒ අනුව ඊයේ (20) දහවල් වන විට අරණායක අවතැන් කඳවුරු 12ක් තිබිණි.

ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට අපදා කළමනා කරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රදේශීය ලේකම් කාර්යාලයය, ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය සහ තවත් ස්වේච්ඡා කණ්ඩායම් රැසක් යුහුසුළුව වෙහෙසෙමින් සිටියේය.

පොලිසිය මෙන්ව සහන සේවකයන්ද ඉල්ලනුයේ කන්ද නාය ගිය ස්ථානය බලන්නට මහා පිරිසක් එළියට ඒම අවධානම් සහගත බවයි. ඒ නිසා සහන කටයුතුවලට බාධා එන බවද ඔවුහු කියති. සහන සේවකයන් සහ පොලිසිය ඉල්ලනුයේ නාය ගිය ස්ථාන බලන්නට ජනතාවට නොඑන ලෙස දැනුම්වත් කරන ලෙසයි.
IMG_20160519_100523