මධ්‍යම කඳුකරයේ හැටන් පරිසරයේ සුන්දරත්වය ඔස්සේ සැඟව ඇති කටුක යථාර්ථයක් හිමි භුමියක අපි දැන් පය ගසා සිටින්නෙමු.

අපේ ගමන් සගයා ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකි. ඔහු ගමනේ මාර්ගෝපදේශකත්වය පවරා ගනිමින් තලවාකැලේ වතුයාය වෙත අපව කැදවාගෙන යයි. පසෙකින් දිය කදුලු සීරාසිහින් කෙඳිරියෙන් බේරේ. මහා පරිමාණ සිරුරු කොටස් ජාවාරමකට බිලිවූ මිනිස් ප්‍රජාවක වේදනාවඒ කෙඳිරිල්ලේ තැවරී ඇති සෙයකි.

අප යන්නේ ඔවුන් හමුවීමටය.

තැනින් නැත තිත් තිත් සේ දිස්වන තේ නෙළන ලඳුන්ය. මව්වරුන්ය. දියණියන්ය.

ලා හිරු කිරණ තේ දලු මත වැටී තේ දලු හිස හීනියට පිරිමදි. දලු නෙලන අත් දහසක් අතර ඇති මීදුම් පටල කඳුකරයම වසා සිටින්නේ තේ නෙලන ලඳුන්ගේ දුක කඳුකරයෙන් දෝරේගලාවිත්නෙත ගැටෙන සුන්දරත්වය වසා දමතැ’යි බියෙන් මෙනි.

තේ නිල්ලෙන් එපිටට

හැටන් තලවාකැලේ මාර්ගයේ කිලෝ මීටර් විස්සක් පමණ ගිය තැන මාර්ගය වෙනස් වෙයි.

මෙතෙක් විඳි සුන්දරත්වය ගිලිහීනෙත ගැටෙන්නේ කටුක බවකි. තලවාකැලේ වතුයායේ මාර්ගයටයි අප දැන් පිවිස සිටින්නේ. එම මාර්ගයේ‍ ත්‍රීවීලරටකට තබා පයින්වත් යා නොහැකි තරම්ය. පසෙකින් අඩි දහස් ගණනක් ඇතට විහිදෙන ප්‍රපාතයයි. බියෙන් සිත සසලවේ.

පේලි පෙලි කුඩා ලයින් කාමර සේම තනි තනි නිවෙස්ය. දලු නෙලා එන සිය ගණන් මව්වරුන්ය. කලු ගැසුණු මුහුණුය. ඇස්වල සිනා කඳුලක් නැත. වේදනාවක්ද නැත. දවස ගෙවා ගැනීමේ අපේක්ෂාව පමණක් ඒ ඇස් තුල දැල්වෙන සෙයකි.

‘වැසිකිලි භාවිතා කරන්න’ යැයි දැක්වෙන බෝඩ් ලැලි ද කියා පාන්නේ සනීපාරක්ෂාව පවා නොතකන්නට බලකෙරුණු ප්‍රජාවක අන්දරයයි.

දරුවන් ජීවත් කරවීමට

ගමන් සගයා අපකුඩා නිවසක් වෙත කැදවාගෙන ගියේය. නිවස පුරා නැවුම් ගොමමැටි සුවඳ විහිදේ. අපේක්ෂා විරහිත දෑසින් අප දෙස බලා සිටින ඔහු මහේන්ද්‍රන්. ගමන් සගයා අපට ඔහු හදුන්වා දෙයි. මහේන්ද්‍රන්ගේ දෑස් වලින් කදුලු ගලා එන්නට විය. අපිදු අසරණ වීමු.

ගලා වැටෙන කදුලට ඔහේ ගලා යන්නට ඉඩ හැර අප නිහඩ විමු.

මහේන්ද්‍රන් ඇදි සරම කෙළවරකින් මුහුණ පිසදමමින් කතා කරන්නට වැයම් කරයි.
12657969_438519163017258_3100680999428764190_o

‘ලක්ෂ එක හමාරක් දෙනවා කිව්වා. ඒත් දුන්නේ දහ දාහක් විතරයි’. කතාවට මුල පිරුවත් දිගින් දිගටම කතා කිරීම ඔහුට අසීරුය.

‘මම බංගලාවක වැඩ කලා. දැන් ගොඩක් කල්. මාත් එක්ක වැඩ කරපු යාලුවෙක් කිව්වා වකුගඩුවක් දුන්නොත් සල්ලි දෙන්නම් කියලා. වකුගඩුව ගත්තේ කාටද කියලා මම දන්නේ නැහැ. එතකොට මම බැඳලා . දරුවෝ හතර දෙනෙක් හිටියා. මම එක පාරටම කැමති උනේ නැහැ. ඒත් ජීවත් වෙන්න අමාරු නිසා දරුවෝ ජිවත් කරන්න ඕන නිසා මම කැමති උනා ‘.

ඔහු යළිත් හඬයි.

“ඇයිඅඩන්නේ?”

“දරුවෝ ගැන මතක් වෙන විට ඇඩෙනවා,” මහේන්ද්‍රන් බිඳුණු හඬින් කීවේය.

වකුගඩුවක් විකුණා පවුලේ සාමාජිකයන් ජිවත් කරවීමේ ඔහුගේ අපේක්ෂාව සුන්ව ගොසිනි. පොරොන්දු මුදල නොලැබිමත් පුරුදු ජීවිකාවේ යෙදීමේ නොහැකියාවත් හේතුවෙන් ආර්ථික වශයෙන් තවත් අපහසුතාවකට පත්ව සිටින ඔහු මේ වන විට දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ පසුතැවිල්ලෙනි.

කොළඹ රෝහලකට වකුගඩුවදී ටික දිනකට පසුව ඔහු යළිත් ජිවිතය ගැට ගසා ගැනිම වෙනුවෙන් දුෂ්කර රැකියා වල නියැලි නමුත් තනි වකුගඩුවෙන් බර වැඩ කිරීම නොසුදුසු බව හෝ වකුගඩුවෙන් සිරුරට ඇති ප්‍රයෝජනය හෝ තමන් නොදන්නා බවඔහු පැවසුවේය.

සැත්කම සිදු කළ කොළඹ රෝහලේ නම පවා නොදන්නා බවයි මේ වන විට පනස් තුන්වැනි වියේ පසුවන මහේන්ද්‍රන් පවසන්නේ.

මැද පෙරදිග

ඔහුට වඩා වයසින් ලාබාල බිරිද මීට මාස හතකට ඉහතදී මැද පෙරදිග බලා පිටව ගොස් ඇත්තේ පවුලේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දිමට නොහැකි නිසාවෙනි.

දරුවන් සිව් දෙනාගෙන් පිරිමි දරුවන් දෙදෙනකු අතරමගදී පාසල් අධ්‍යාපනය නිම කර ඇත්තේද ආර්ථික දුෂ්කරතා හේතුවෙනි.

මහේන්ද්‍රන්ගේ බිරිදගේ මල්ලීචන්ද්‍රසේකර පවසන පරිදි තම මස්සිනා වකුගඩුවක් මුදලට අලෙවි කර ඇත්තේ බිරිඳටත් රහසේය.

ඔවුනට සමුදි අප ටික දුරක් පයින් ආ විට මහේන්ද්‍රන් අප වෙත පැමිණ රුපියල් විස්සක් ඉල්ලුයේ බුලත් විටක් කැම සදහා අවශ්‍ය බව පවසමිනි.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන්ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකු සහ පුද්ගලික රෝහල් හතරක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති බව ඉන්දීය පොලිසිය කියයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් සංගමය එය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය දැනට විදේශිකයන්ට වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් තහන්චි පනවා ඇත. මේ ආන්දෝලනය සමගින් අධ්‍යාපන රාජ්‍ය ඇමැති වේලුසාමි රාධාක්‍රිෂ්ණන්ප්‍රකාශ කොට තිබුනේ කදුකරයේ ජනතාව රවටා වකුගඩු ජාවාරමක් සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට උත්සාහ ගත් අපට රැවටීමකට ලක්ව සිටින කදුකරයේ තවත් තරුණයෙක් මුණගැසුණි.

වකුගඩුවක් විකුණා රුපියල් පන් ලක්ෂයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්සැත්කමකට මුහුණ දී ඇති ඔහු ඇබෝස්ට්ලි වතුයායේ පදිංචි වයි ජොන්සන්ය. කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට වකුගඩුව ලබාදීම සඳහා ඔහු 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹට පැමිණ තිබේ.‍

නමුත් වකුගඩුව ලබා ගැනීමෙන් පසු ඔවුන් මෙම තරුණයාට කිසිදු මුදලක් ලබා නොදී පළා ගොස් ඇත.

වකුගඩුව ලබා ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලිමේ දි ඔවුන්ගේ දුරකථන ක්‍රියාවිරහිත කර තිබු බවත් ඒ වන විට ඔවුන් විදේශගත වී ඇති බවටත් තොරතුරු ලැබුණු බවයි ඔහු පවසන්නේ.‍

ජොන්සන් තම නිවසේ ඇති ආර්ථික අපහසුතාවයෙන් මිදීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක වකුගඩුවක් බද්ධ කිරීම සඳහා යාපනයේ පදිංචි 41 හැවිරිදි අයෙකුට රුපියල් ලක්‍ෂ 5 කට තම වම් වකුගඩුව ලබාදීමට පොරොන්දු වී තිබේ.
download-2-1

පෞද්ගලික රෝහල් කීපයකම පරීක්‍ෂණ ගණනාවක්සිදුකර ජොන්සන්ගේ වකුගඩුව රෝගියාට සරිලන බවට සහතික කර ගැනීමෙන් පසු පෞද්ගලික රෝහලේදී සැත්කම සිදුකර තිබේ.

තැරැව්කරුවන්ගේ කීම පරිදි තමන් රෝගියාගේ ඥාතියකු බව පැවසීම නිසා පෞද්ගලික රෝහලේ වෛද්‍ය වරුන් විසින් තමන්ගෙන් එම වකුගඩුව ලබාගත් බවයි ජොන්සන් පවසන්නේ.

දුරකථන ක්‍රියා විරහිතයි

වකුගඩුව ලබාදී දින ගණනාවක් එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබා ඔවුන් විසින් ලබාදුන් වාහනයකින් නිවසට පැමිණිමෙන් පසුව බැංකු ගිණුම පරීක්‍ෂා කිරීමේදී පොරොන්දු වූ මුදල බැංකුවට බැරකර තිබී නැත. කලින් දී තිබූ අංකයකට කථා කර බැලූවිට එම දුරකතනය විසන්ධිකර තිබූ නිසා ඔවුන් පදිංචිව සිටි ස්ථානයට ගොස් පරීක්‍ෂා කර බැලීමේදී තැරැව් කරුවන් විදේශගත වී ඇති බව එම නිවෙස් හිමිකරු විසින් මෙම තරුණයාට පවසා තිබේ.

වකුගඩුව ලබාදුන් බව දැනගත් තම සහෝදරියන් තිදෙනා තමන්ට බැණ වදින බවත්, වතු කරයේ යහළුවන් තමන්ට විහිළු කිරීම නිසා තමන් මානසික පීඩාවට ලක්වී ඇති බවයි ජොන්සන් පවසන්නේ.

සැත්කමින් පසු තමන්ට මහන්සි වී කිසිදු කාර්යයක් සිදුකර ගැනීමට නොහැකි නිසා රැකියාවක් පවා කරගැනීමට නොහැකි වී ඇති බවත් ජිවිතය ගැට ගසා ගැනිම සදහා මේ වන විට කොළඔ ප්‍රදේශයේ සුලු රැකියාවක නිරත වන බවත් ඔහු පවසනවා.

යාචක වකුගඩු

සුවිසි හැවිරිදි රාජනේද්‍රන් වසර අටක් තිස්සේ තලවාකැලේ දුම්රිය පලේ යාචකයෙකි.

පසුගිය කාල සිමාව තුල අවස්ථා කිහිපයකදීම නාදුනන පුද්ගලයන් විසින් තමන් වෙත පැමිණ වකුගඩුවක් විකිනිමට කැමතිදැයි විමසා සිටි බව පවසන ඔහුජීවිතයට අනතුරුදායක විය හැකි හෙයින්යෝජනාව ප්‍රතික්ෂේප කළත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකළේ එයදජීවිතයට තර්ජනයක් විය හැකි නිසා බව පවසයි.

????????????????

????????????????

හැටන් ප්‍රදේශයේ දුප්පත් දෙමළ පිරිස් වකුගඩු විකුණන බවට පැතිර යනආරංචි සත්‍ය බවටලින්ඳුල රෝහලේ වෛද්‍ය ප්‍රභාෂ් කරුණානායක සනාථ කළේය.

වකුගඩු විකිනීමට කැමැත්තෙන් සිටිපුද්ගලයන් තිදෙනකුම තමන් හමුවී ජීවිතයට අනතුරක් විය හැකි දැයි විමසා සිටි අවස්ථාවේ එසේ නොකරන ලෙස අවවාද කර යැවු බවයි වෛද්‍යවරයා අප සමග කියා සිටියේ.

ලින්දුල පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසන්නේ වකුගඩු අලෙවිය සම්බන්ධයෙන් ආරංචි මාර්ග කිහිපයක් ලැබි ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙක් පැමිණිලි කර නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් යොදවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඔහු අප සමග කියා සිටියේය.

හැටන් ඇතුලු කදුකරයේ ප්‍රදේශ වල දෙමළ ජනතාව මුදලට වකුගඩු විකිණීම් සිදු කර ඇති බවට මේ වන විට තොරතුරු දැන ගන්නට ලැබෙමින් පවතින බව සඳහන් කරන ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කතපති කනගරාජ් පවසන්නේ ඒ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා රජය වහාම පරික්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.

එවැනි සිද්ධින් සදහා මුහුණ දි සිටින පිරිස් හදුනාගෙන ඔවුන් වෙනුවෙන් යම් සහනයක් සැලසිමට රජය කටයුතු කළ යුතු අතර ඉදිරියේ දී මෙම ජාවාරම නවතා දැමීම සඳහා අලුතින් නීති සම්පාදනය වැදගත් බව පවසන ඔහු මධ්‍යම පළාත් සභාව තුල ඒ සම්බන්ධයෙන් අවධානය අනිවාර්යෙන්ම යොමු කරවන බවට පොරොන්දු විය.

නිතිපති උපදෙස්

ලංකාව සහ ඉන්දියාව අතර වකුගඩු ජාවාරමක් සිදුව තිබේදැයි යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව පවසන පොලිස් ප්‍රකාශ රුවන් ගුණසේකර සඳහන් කරන්නේ කදුකරයේ වකුගඩු ජාවාරමක් සිදුව ඇති බවට මේ වන තෙක් පැමිණිලි ලැබි නොමැති බවයි.

වෛද්‍ය ප්‍රභාෂ් කරුණානායක

වෛද්‍ය ප්‍රභාෂ් කරුණානායක

යම් කෙනෙක් තවත් අයෙකුට සිය කැමැත්තෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට නීතියෙන් කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්වා දෙන ඔහු අවධාරනය කරන පරිදි පරිත්‍යාග කිරීමක් යම් අයකුගේ බලපැමක් මත සිදුව තිබේනම් එහි ඇත්තේ කිසියම් ගැටලුකාරි තත්වයකි.

කෙසේ වෙතත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කතපති කනගරාජ් පෙන්වා දෙන්නේ වකුගඩු අලෙවි කර ඇති පුද්ගලයන් එය රහසක් වශයෙන් සගවාගෙන සිටින බවයි.

පෙළඹවිම, මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් වගුගඩු ලබා දිම සහ මුදල් ලබා දෙන බවට පවසමින් පුද්ගලයන් රැවටිමකට ලක් කර ඇතිනම් එවැනි සිද්ධින් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතීමට සිදු වන බව පොලිස් ප්‍රකාශකයා පවසයි.

නීතිඥ සේනක පෙරේරා පවසන පරිදි මුදල් බලාපොරොත්තුවෙන් හෝ වානිජ වටිනාකමක් සහිත යමක් බලාපොරොත්තුවෙන් කිසිවෙක් තමන්ගේ වකුගඩුවක් අලෙවිකර ඇත්නම් එය නීති විරෝධි ක්‍රියාවක් වන්නා සේම ඔහුත් ශරීර කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ වරද කරුවෙක් වේ.

2006 වසරේදී දණ්ඩ නීති සංග්‍රහයේ සිදුකල සංශෝදනයකට අනුව ශරීර කොටස් අලෙවි කිරීමේ වරද සදහා වසර හතක කාලයක් සිර දඩුවමක් නියම කළ හැකි බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අප සමග කියා සිටියේ.

නීතියේ පිළිසරණ

මුදල් අපෙක්ෂාවෙන් තම ශරීර කොටසක් ලබාදි ඒ සදහා මුදල් නොලැබුනහොත් ඔහුට හෝ ඇයට ඒ සදහා නිතීයේ පිලිසරණක් පැතිය නොහැකි බව ඔවුන් පෙන්වා දේ.

පුද්ගලයන්ගේ අසරණකම හෝ නොදැනුවත්කම හේතුවෙන් සිදුවන මෙවන් නීති විරෝධී ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඔවුන් එයින් මුදවාගන්නවා විනා කල හැකි වෙනත් යමක් නොමැති බව ඔවුන්ගේ අදහසයි.

පංච පුද්ගල කමිටුවක්

කෙසේ නමුත් වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම පවසන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වකුගඩු ජාවාරමක් සිදුව ඇති බවට ඉන්දියාව විසින් අනාවරනය කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා රජය විසින් පත් කර තිබෙන කමිටුව ලබන සතියේ එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාර දිමට නියමිත බවයි.

එම වාර්තාව නිකුත් කිරීමෙන් පසු සිදුව ඇත්තේ වකුගඩු ජාවාරමක්ද ඒ සදහා කඳුකරයේ ජනතාවගෙන් වකුගඩු ලබා ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් හෙලිදරවු වනු ඇති බව ඔහු පවසයි.

මුදල් දෙන බවට පොරොන්දු වූ ජාවාරම්කරුවන්ගේ බහට ඇඟ මස කපා දෙන්නට රැවටුණු වතුකර ජනතාවට වංචාවක් කරන ලද බව හෝ නිල වශයෙන් ඔප්පු කරගන්නට ඒ වාර්තාව පිටවන තුරු බලා ඉන්නට සිදුවනු ඇත.

ඉන්ටර්නිව්ස් ජාලයේ මෙහෙයවීමෙන් පැවති වැඩ මුලුවක අනුග්‍රහයෙනි.

චතුරංග බණ්ඩාර| ශ්‍රියාන් සුජිත් |ආර්. සනත් |එම්. ලුසියස්|එම්.එම් මින්හාජ්

Published in Radiogagana.com – http://www.radiogagana.com/2016/02/02/%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%84%E0%B6%82-%E0%B6%9A%E0%B7%99/