Tharindu Jayawardhana

යුද්ධයට පෙර ලස්සන ගමක් වූ ත්‍රිකුණාමලයේ මුතූර්හි සාම්පූර් දැන් බෙහෙවින් අවලස්සන වී ඇත. එදා නිල්ල සමඟ තුරු වියනක් වූ සාම්පූර් අද කාන්තාරයක ලකුණු පෙන්වයි. මුහුදෙන් ලැබෙන සුළඟ හැරුණු විට සැනසීමට වෙනත් දෙයක් සාම්පූර් වැසියනට නැති තරම්ය.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 30ක් පමණ ගිණිකොනින් පිහිටි මේ ගමේ යළි පදිංචියට ආ සියලු දෙනාගේ හදවත් ද ගිනි ගොඩකි. කාලයක් ඔවුහු තිස් අවුරුදු යුද්ධය නිසා බැට කෑහ. යුද්ධය නිසා ගම්බිම් ගෙවල් දොරවල් අත්හැර අනාත කඳවුරුවල දිවි ගෙවූහ.

නැවතත් ඔවුන් තම ගම් බිම්වලට පැමිණ ගත වී ඇත්තේ කෙටි කාලයකි. දැන් ඔවුන් යළි කුකුසකින් සිටිනුයේ ඉදිකිරීමට යතියි කියන සාම්පූර් තාප බලාගාරය නිසාය.

ගම්මානයෙන් ජීවත් වූවෝ දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් ධනයෙන් ගෙවල් දොරවල් හදාගෙන හොඳින් ජීවත් වූහ. ඒ 2006 වසර වන තෙක් පමණි.
‘‘සාම්පූර් කියන්නේ පැරණි ගමක්. 2006 අප්‍රේල් සාම්පූර්වලට ප්‍රහාරක් එල්ල වුණා. ඒ සමගම සාම්පූර් වැසියන් ඉවත් කර අනාත කඳවුරුවල පදිංචි කළා. ගෙවල් දොරවල් බිමට සමතලා කරමින් ඩෝසර් කළා. මෑතකදි ඉඩම් කොටසක් පමණක් නිදහස් කර මිනිසුන්ට පදිංචි වෙන්න කිව්වා. රස්සාවල් නැතිව අතේ සල්ලි නැතිව සිටි මිනිසුන්ට නැවත ගෙවල් හදන්න වත්කමක් නෑ. බොහෝ දෙනෙක් යන්තම් පැලක් අටවගෙන ඉන්නවා. ආණ්ඩුවෙන් සල්ලි දුන්නෙත් නෑ.‘‘ යැයි සාම්පූර් පදිංචිකරුවකු වන රාමලිංගම් නාගේෂ්වරන් මහතා කීවේය. ඔහු කලක් මූතූර් ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස ද කටයුතු කළේය.

යුද්ධ නිසා ප්‍රදේශයෙන් ඉවත් කර සරණාගත කඳවුරුවල දිවි ගෙවූ පවුල් 234ක් නැවත පදිංචි කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය වෙබ් අඩවියේ සඳහන්ය. තවත් පවුල් තුන්සියයක් පමණ පදංචි කිරීමට ද නියමිතව ඇත. කිලිවට්ටි, මනච්චේනෙයි, කට්ටපරිච්චාන්, තෝපූරු පාලත්තඩිචේනෙයි සරණාගත කඳවුරුවල ඔවුහු ජීවත් වෙති.

නැවත පදිංචිකළ ගම්වැසියන් යන එන ප්‍රධාන ආගමික ස්ථානය සාම්පූර් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලයි.
කෝවිලේ කලමනාකරු ලෙස කටයුතු කරන්නේ ආර් පද්මනාදන් (66) මහතා ය.

‘වසර 15ක පමණ සිට මම කෝවිලේ සේවය කරනවා. 2006 වන තුරු ගමේ මිනිසුන් පදිංචි වී හිටියා. 2006 ඉවත් කළ පසු දැන් පවුල් කිහිපයක් පමණක් නැවත පදිංචි කර තිබෙනවා. යුද සමයේ බෝම්බයක් වැදී කෝවිලේ ගොඩ නැගිල්ලක් කැඩුණා. මේ කෝවිලේ වසර 600ක් පමණ පැරණි රුක්අත්තන ගසක් තිබෙනවා. කෝවිලට බෝම්බ වැටුණු අවස්ථාවේ ඉපැරිණි රුක්අත්තන ගසට කිසිම හානියක් වුණේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනපති මේ ස්ථානයට ඇවිත් බලා රුපියල් ලක්ෂ 50ක් වෙන් කළා කෝවිල හදන්න.

මේ ප්‍රදේශයේ තිබෙන පැරණිම කෝවිල මෙයයි. හාස්කම් ගොඩක් තිබෙනවා. රුක්අත්තන ගසට පඬුරක් ගැට ගසා බාරයක් වුණොත් එය ඉටු වන බවට ප්‍රබල මතයත් තිබෙනවා. නාවික හමුදා කඳවුරේ ප්‍රධානියෙක් උසස්වීමක් පතා බාරයක් ගැට ගසා එය හරි ගියා. අපට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය කෝවිලට එන්න පාරක් නැතිවීමයි.‘‘ යි පද්මනාදන් මහතා කීවේය.

කෝවිලට ඒමට තිබු ප්‍රධාන මාර්ගය නාවික හමුදාවට පවරාගෙන ඇති බවත්, එය නිදහස් කරන බව කිහිප වරක් කීවද තවම නිදහස් නොකළ බවත්, මේ නිසා ගැටළු රැසකට මුහුණ දීමට සිදු වන බවත් භද්‍රකාලී අම්මාන් කෝවිලේ ඉදිකිරිම් කටයුතු භාරව සිටින කොන්ත්‍රාත්කරු කේ උබසීලන් සඳහන් කළේය.

‘කෝවිලට එන මාර්ගය නාවික හමුදාව පවරගෙන. ඒ පාර අතර මැදින් වහලා. දැන් අපි යන්නේ එන්නේ මිනිස්සුන්ගේ වතු මැදින්. කෝවිල හදන්න භාණ්ඩ ප්‍රවාහනය කරන්න හරිම හමාරුයි. මේ නිසා අපි ලොකු අපහසුතාවකට පත් වෙනවා. පාර නැවත දෙනවා කිව්වාට දුන්නෙත් නෑ. බස් රථ පවා ගිය ප්‍රධාන පාර දැන් නාවික හමුදා කඳවුර බාරයේ තිබෙන්නේ. මාර්ගය නැති නිසා බස් රථය යන්නෙත් අතරමගට පමණයි. තාර දමා සකස් කර තිබු හොඳ මාර්ගයක් තමයි දැන් නාවික හමුදා කඳවුරට අයත් වෙලා තිබෙන්නේ. මේ නිසා දේවස්ථානයට එන පිරිස් විශාල ගැටළුවකට මුහුණ දෙනවා.‘‘ යැයි උබසීලන් සඳහන් කළේය.
IMG_4596

උතුර, දකුණ, නැගෙනහිර ආදී සියලු පැතිවල පිරිස් ආරක්ෂාව පතති. සෑම අවස්ථාවකම මුල් තැන දෙන්නේ ආරක්ෂාවටය. ආරක්ෂාව නැති නම් ඉන් එහා ජීවිතයක් නැත. සාම්පූර්ණ ආරක්ෂාව ගැන මෑතකදී විශාල ගැටළුවක් ආවේ සය හැවිරිදි පාසල් සිසුවකු ගලක බැඳ ළිඳකට දමා මරා දැමීමේ සිදුවීමෙන් පසුය. ඒ සිද්ධියට සැකපිට 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත්තේය. මිය ගිය සිසුවාගේ පියා කුගදාස් (45) ය. ඔහු ගොවියෙකි.

‘‘මම ගොවිතැන් රස්සාව කරන්නේ. සඳුදා (25) දවල් මම කුඹුරට ගියා. ලොකු පුතත් කුඹුරට ගිහින් තිබුණේ. බිරිඳයි පොඩි පුතයි (06) ගෙදර හිටියා. හවස මා එද්දි පොඩි එක්කෙනා නෑ කියලා හොයනවා. මාත් හැමතැනම හෙව්වා. වටේම තියෙන ළිංවල බැලුවා. ඒත් හමු වුණේ නෑ. රෑ කෑම්ප් එකේ වැට ගාව තියෙන ළිඳට ටෝච් ගහලා බලද්දි පුතාගේ ටීෂර්ට් එක පාවෙනවා වගේ දැකලා. ඉන් පසු පොලිසියත් ආවා. එක් අයෙක් ළිඳට බැස්සා. පුතාගේ ඇඟේ කිලෝ හයක් පමණ බර ගලක් බැඳලා ළිඳට දාලා තිබුණා. මට හිතා ගන්න බැහැ පුතාට කවුද මේ අපරාදෙ කළේ කියා.‘‘ යි කුගදාස් කීවේය.

මිය ගිය සිසුවාගේ වැඩිමල් වැඩිමල් සහෝදරයා (16) කීවේ නැතිවූ තම සහෝදරයා සෙල්ලමට බර දඟකාර දරුවකු බවයි. ‘‘මම සාමාන්‍ය පෙළ කරන්නේ. මගේ මල්ලි මේ අවුරුද්දේ පාසල් යන්න පටන් ගත්තේ. දවස් විසි ලගණනයි පාසල් ගියේ. උදේට මං එක්ක බයිසිකළේ පාසල් ගියේ. දවල්ට තාත්තා සමග එන්නේ. මල්ලි හරි හොඳයි. සිද්ධිය වෙන වෙලාවේ මම හිටියේ නෑ. මල්ලිට මොකද වුණේ කියා හිතාගන්න බෑ.‘‘ යැයි සහෝදරයා කීවේය.

සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීම ගැන ගමේ වැඩි පැහැදීමක් නැත. ඔවුන් කියනුයේ ගලක් බැඳ ළිඳට දැමීමට තරම් තාක්ෂණයක් පාසල් සිසුවකු දන්නේ කෙසේද යන්න ගැටළුවක් බවයි. මේ සිද්ධියත් සමග ප්‍රදේශයේ බොහෝ දෙනෙක් බියෙන් සිටිති.

ආරක්ෂාව මෙන්ම අධ්‍යාපනය ද උතුරට දකුණට පමණක් නොව නැගෙනහිරට ද පොදුය. සාම්පූර්හි සිරි මුරුගන් විද්‍යාලයය හා සාම්පූර් මහා විද්‍යාලයය දැන් ඇත්තේ නාවික හමුදා කඳවුර බාරයේ බව ප්‍රදේශවාසීහු කියති. එය ඇතුලු වීමට තහනම් කලාපයකි.

‘‘ ගමේ පාසල් දෙක නැති නිසා දැන් කිලෝමීටර ගණනක් පයින් ගිහින් වෙනත් පාසලකට යන්න ඕනෑ. ඒ නිසා හරිම කරදරයි. අපිට පන්තියකට යන්නවත් වෙලාවක් නෑ. පාසල් යන්න බස් එක වෙලාවට නෑ. ඒ නිසා පයින්ම යන්න වෙනවා. සමහර පවුල්වල ළමයින් බයිසිකලෙන් යනවා. බයිසිකල් නැති අය පයින් යන්නේ. ගොඩක් දුර ගිහින් ආවාට පස්සේ පාඩම් කරන්න වෙලාවක් නෑ. ඇඟටත් අමාරුයි. ගමේ පාසල් දෙක නැවත ලබා දෙනවා නම් ගොඩක් හොඳයි.‘‘ යැයි පාසල් සිසුවෙක් කීවේය.

IMG_4632
වසර සියයකටත් වඩා ඉතිහාසයක් ඇති සාම්පූර් මහා විද්‍යාල ගොඩනැගිල්ල නාවික හමුදා බාරයේ තිබුණ ද වෙනත් ස්ථානයක පාසල පවත්වාගෙන යෑමට විදුහල්පති සෝමසුන්දරම් පාතිස්වරන් (48) මහතා කටයුතු කර ඇත.

‘‘සාම්පූර් මහා විද්‍යාලය ආරම්භ කළේ 1897 මිෂනාරී පාසලක් ලෙසයි. 1922 මේ පාසල ලියාපදිංචි කර තිබෙනවා. 1984 වසරේ මෙහ මහා විද්‍යාලයක් කළා. හැම අවුරුද්දකම විශ්ව විද්‍යාලයයට ළමයින් රැසක් තේරෙනවා. 1994න් පසු පාසලේ සංවර්ධනයට බොහෝ දේවල් කළා. පහසුකම් රැසක් ලැබුණා. පුස්තකාලයක්, පරිගණක මධ්‍යස්ථානයක් ආදී රැසක් ලැබුණා.

2006 වසර වන විට ළමයින් 872ක් සහ ගුරුවරුන් 34ක් සිටියා. ඉන් පසු ප්‍රදේශවාසීන්ට ඉවත් වෙන්න වුණා.
මා මුලින් මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙසයි සිටියේ. 2009දි විදුහල්පති වුණා. පාසල දැන් තිබෙන්නේ නාවික හමුදාව බාරයේ. ළමයින්ට ඉගෙන ගන්න තැනක් නැති නිසා පොඩි ඉඩක නැවත පටන් අරගෙන පාසල් කරගෙන යනවා. කිසිම පහසුකමක් නෑ. නමුත් මෙවරත් ළමයින් හය දෙනෙකු විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා තිබෙනවා. අපේ මුල් පාසල නිදහස් කළොත් ගොඩක් හොඳයි. එහි හොඳට ඉඩ කඩ තිබෙනවා. ක්‍රීඩා පිටියක් පවා තිබෙනවා. දැන් මම පාලස කරගෙන යන ස්ථානයේ ක්‍රීඩා පිටියක්වත් නෑ.‘‘

සාම්පූර්හි ඉදි කිරීමට යන බව කියන බලාගාරය නිසා සිදු වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් යැයි ප්‍රදේශවාසීහු සඳහන් කරති.

‘මගේ නිවසේ හය දෙනෙක් ඉන්නවා. අපි මේ ගමේ මුල් පදංචිකරුවන්. මට කඩයක් තිබුණා. ගෙවල් හොදට හදලා තිබුණා. 2006 දී අපි ඉවත් කරලා අනාත කවුරුවල නතර කළා. අවුරුදු 10ක් පමණ අපි හිටියේ කඳවුරුවල. ඉන් පසු ළඟදි නැවත පදිංචි වීමට අපට ඉඩම් දුන්නා. නැවත එද්දි අපේ ගෙවල් දොරවල් බිමට සමතලා කරලා. අමාරුවෙන් පැලක් හදා ගත්තා. ආණ්ඩුවේ ආධාරවත්, රාජ්‍ය නොවන සංවිධාන ආධාරවත් සත පහක්වත් මට ලැබුණේ නෑ.

ඉදි කරීමට නියමිත සාම්පූර් බලාගාරයට ජලය ගෙන යෑමට සහ ගෙන ඒමට කියා මීටර් 20 බැගින් මුහුදු සීමාවේ සිට වෙන් කළා. මගේ ඉඩමේ කොටසකුත් ඊට අයිති වෙනවා. ඒ නිසා දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයෙන් ලියුමක් එවා තිබෙනවා ඉඩමෙන් යන ලෙස දන්වමින්. යන්න තැනක් දුන්නෙත් නෑ. අපි කොහෙ යන්නද?‘‘ වසිරමුත්තු අරුමුතුලෙයි (54) කීවේය.

තවත් ගොවියකු කීවේ තමන් වගා කළ ඉඩම් සාම්පූර් බලාගාරයට පවරාගෙන ඇති බවයි. යුද්ධය නිසා අවතැන් වූ තමන්ට දැන් බලාගාරය නිසා ද අවතැන් වන්නට සිදුව ඇතැයි ඔහු පැවසීය.

‘අපේ කුඹුරු සහ වගා කළ ඉඩම්වල බලාගාරයට වෙන් කරලා. මට පමණක් නෙවෙයි. ගමේ බොහෝ දෙනකුට මේ ප්‍රශ්නය තිබෙනවා.‘
සාම්පූර් ප්‍රදේශයේ පවුල් 175ක් දිවි සරි කර ගන්නේ ධීවර කර්මාන්තයෙනි. දිවිය සරි කර ගැනීමට මුහුදු යන සාම්පූර්වැසියන්ගේ දිවියට හෙනහුරා ළඟාවන කාලය අත ළඟ බව ක්‍රිෂ්ණා පුල්ලේ මහතා (59) කීවේය. ඔහු සාම්පූර් ධීවර සමිතියේ සභාපතිවරයාය.

‘‘ නැවත පදිංචි කිරීම් තවම ඉවර නෑ. මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් නැති ප්‍රශ්නවලට අමතරව දැන් තවත් ප්‍රශ්න ඇවිත්. නාවික හමුදා කඳවුර මුහුද අයිනට ගෙන යනවා. අපට මුහුදු රස්සාව කර ගන්න බැරිවෙනවා මේ නිසා. මුහුද අයිනේ නාවික හමුදාවෙන් ඩෝසර් කරනවා. 2004 සුනාමිය ආ පසු විශේෂ චක්‍රලේඛයක් ගෙනාවා මුහුදේ සිට මීටර 100ක් තුළ කිසිම දෙයක් කරන්න එපා කියා. නමුත් ඒ නීතිය කඩමින් ඩෝසර් කරන නිසා නැවතත් සුනාමියක් ආවොත් රළ පහර ගම්මානයට ඒමේ ඉඩ කඩ වැඩියි.

පවුල් 175ක් පමණ මුහුදු රස්සාව කරනවා. ඒ වගේම සාම්පූර් බලාගාරය හැදුවට පස්සේ මුහුදෙන් වතුර අරගෙන බලාගාරයෙන් පිට කරන වතුර නැවත මුහුදට දමන බව කියනවා. ඒ නිසා මත්ස්‍ය සම්පත විනාශ වෙන්න පුළුවන්. පවුල් 175කට නැවත වරක් යන එන මං නැති වෙන්න පුළුවන්.

අපට ආණ්ඩුව සමගවත් නාවික හමුදාව සමගවත් කිසිම ගැටළුවක් නෑ. අපේ රස්සාව කරගෙන අපට අපේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න.‘‘
සෞඛ්‍යය ද මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් මෙන්ම අන්තර්ජාතික වශයෙන් පිළිගත් අයිති වාසිකමකි. 2006 සාම්පූර් රෝහල බිමට සමතලා කර දැමූ පසු දැන් ගමට රෝහලක් නැතැයි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී කේ නාගේෂ්වරන් මහතා කීවේය. ඔහු ද සාම්පූර් පදිංචිකරුවෙකි.
‘මගේ බිරිය ගුරුවරියක්. අපේ ගෙවල් දොරවල් හොඳට තිබුණා. ඇටෑච් බාත්රූම් සහිත නිවසක් තිබුණා. 2006 වසරේ අපට යන්න වුණා. ඉන් පසු අපේ ගොඩනැගිලි සියල්ල බිමට සමතලා කළා. ගමේ රෝහලත් බිමට සමතලා කළා. දැන් ගමට රෝහලක් නෑ. රෝහලකට යන්න කිලෝමීටර ගණනක් දුරින් තිබෙන මූතූර් රෝහලට යන්න වෙනවා. රෑකදි හදිසියක් වුණොත් යන්න රෝහලක් නෑ. මෙය බරපතල ප්‍රශ්නයක්. ‘‘
‘‘යුද්ධෙ වෙලාවේ අපේ ගමෙන් අප අයින් කළා. එනිසා මඩකලපුවට ගිනිහ් ඉන් පු කිලිනොච්චි ගියා. කිලිනොච්චි වසන්තම්පුරම් සිට ගඩොල් කැපුවා. ඉන් පසු ඒ ප්‍රදේශයේ ප්‍රශ්න පටන් ගනිද්දි දේවිපුරම් ගමට ගියා. ඉන් පසු මුලතිව් දේවිපුරම් ගමට ගියා. ඉන් පසු එහෙනුත් එන්න වුණා. ඉන් පසු අනාථ කඳවුරුවල දුක් වින්දා. දැන් නැවත පදිංචිකර තිබුණත් කිසිම පහසුකමක් නෑ. ‘‘ යැයි කේ සුකුමාර් (63) පැවැසීය.
සෞඛ්‍ය, ආරක්ෂාව, ඉඩම්, අධ්‍යාපන, රැකියාව ඇතුළු දහසකුත් ප්‍රශ්න හමුවේ මිරිකෙන සාම්පූර් වැසියන්ගේ ගැන අදාළ බලධාරීන්ගෙන් විමසිවෙමු.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සහ මහ දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාර මහතා කීවේ සාම්පූර් මුල් ගමේ ඉදි කර ඇති නාවික හමුදා කඳවුර මාස දෙකක් ඇතුළත මුහුද අයිනට ගෙන යෑමට නැගෙනහිර පළාත භාර නාවික හමුදා ආඥාපති පොරොන්දු වූ බවයි. එවිට ගැටළු රැසක් නැති වන බව ඔහු කීවේය.

‘‘ජනවාරි මාසයේ සංවර්ධන කමිටු රැස්වීමේ දී විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා මේ ගැන ප්‍රශ්න කළා. එහි දී නැගෙනහිර පළාත භාර නාවික හමුදා ආඥාපති ප්‍රකාශ කළා මාස දෙකකින් කඳවුර ගෙන යන බව. මේ වන විටත් එහි ඉදි කිරීම් ආරම්භ කර ඇති බව ඔහු කිව්වා. සාම්පූර් ගම්මානයේ පවුල් 360ක් නැවත පදිංචි කර තිබෙනවා. ‘‘ යි පුෂ්පකුමාර මහතා කීවේය.
නාවික හමුදා කඳවුර මුහුද අයිනට ගෙන ගිය පසු ධීවර රැකියාව කරගෙන යෑමට නොහැකි වෙතියි ප්‍රදේශවාසී නගන චෝදනා ගැන විමසූවිට දිසාපති කීවේ එවැනි ගැටළුවක් පැමිණයහොත් ඊට මැදිහත් විහ හැකි බවයි.

‘කදවුර ගෙන යන්න කළින් එය කියන්න බැහැ. අපි ජනතාවගේ ප්‍රශ්වලට මැදිහත් වෙලා විසඳනවා. එවැනි ගැටළුවක් ආවොත් අපි ඊට මැදිහත් වෙලා විසඳනවා.‘ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා කීවේ මාස දෙක හමාරක් තුනක් යන විට සාම්පූර් පාසල ඇතුළු ප්‍රදේශය නිදහස් කිරීමට හැකි වනු ඇති බවයි.

‘මේ වන විට නව කඳවුරේ ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා. කඳවුර වෙනත් තැනකට ගෙන ගිය පසු මේ ප්‍රශ්න ඉවර වෙයි. ‘ යැයි ඔහු කීවේය.

නාවික හමුදා කඳවුරේ මායිම අසල පාසල් සිසුවකු මරා ළිඳකට දැමීමේ සිද්ධිය ගැන විමසූවිට අලෙවි මහතා කීවේ එය පෞද්ගලික ආරවුලක් මත කළ මිනී මැරුමක් බවට සැක කරන බවයි. ‘මේ සිද්ධියෙදි නාවික හමුදාවට බොරුවට චෝදනා කරනවා. මේ මිනී මැරුමට නාවික හමුදාවේ කිසිම සම්බන්ධයක් නෑ.‘ යැයි අක්‍රම් මහතා සඳහන් කළේය.

ධීවර ගැටළු සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් එම් එම් ආර් අධිකාරී මහත්මියගෙන් විමසූවිට ඇය කීවේ තමා කිසිවක් නොදන්නා බවයි.

‘නොරොච්චෝලේ හදද්දිත් ධීවර ප්‍රශ්නයක් ආවානේ. මේ ගැන මගෙන් අහන්න එපා. ඕක ගැන දන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය. ඒ අයගෙන් අහගන්න.‘‘ යැයි ලේකම්වරිය කීවාය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කීවේ ඊඅයිඒ (පරිසර බලපෑම් තක්සේරු) වාර්තාවක් ඇති හෙයින් ඒ අනුව කටයුතු කරන බවයි.