ගිනි අවියට සමු දුන් ඇය නව දිවියක් ලබා සමාජ ගත වන්නේ කටුක අතීතය අමතක කර විවාහවී දරුමල්ලන් සමඟ සොඳුරු දිවියක් ගත කිරීමේ පැතුමෙනි. එහෙත් සමාජය ඇය නිකැලැල් තරුණියක ලෙස පිළිගැනීමට තරම් කාරුණික නොවන්නේ නම් ඇගේ ඉරණම කොතරම් අභ්‍යාග්‍ය සම්පන්නවේද?

කොළඹ සිට කිලෝමීටර 335ක් පමණ දුරින් පිහිටි කිලිනොච්චි දිස්ත්‍රික්කය කලක් එල්ටීටීඊ පාලනය යටතේ පැවැතියේ ය. ශ්‍රී ලංකා හමුදාව විසින් කිලිනොච්චිය අත්පත්කර ගනු ලැබුවේ 2008-2009 කාලයේ ය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකින් ද, ග්‍රාම නිලධාරී කොට්ඨාස 95කින් ද, ගම්මාන 329කින් ද කිලිනොච්චි දිස්ත්‍රික්කය සමන්විතය.

එල්ටීටීඊ හිටපු නායක ප්‍රභාකරන්ගේ නිවස පිහිටා තිබුණේ ද, එල්ටීටීඊයේ ජාත්‍යන්තර නායකයා වූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී දැන් සිටිනුයේ ද, 2001 දී සාම ගිවිසුම අත්සන් කරනු ලැබුයේ ද කිලිනොච්චියේ ය.
ඉන්ටර් නිවුස් ආයතනය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකින් පසු මාධ්‍යවේදීන් කණ්ඩායම් ලංකාවේ විවිධ ප්‍රදේශවලට යොමු කළ අතර කණ්ඩායම් දෙකක් කිලිනොච්චියටත්, මුලතිව්වලටත් ගියේය. කිලිනොච්චි ගමනේ අරමුණ පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන්ගේ දැන් තත්ත්වය සොයා බැලීමයි.

පැය හයක් තිස්සේ ගමන් කළ බසය කිලිනොච්චියට ළඟා වන විට අලුයම පහ පමණ වී තිබිණි. ප්‍රදේශයට ඇද හැළෙමින් පැවැති ධාරානිපාත වාර්ෂාව නිසා අතුරු මාර්ග රැසක් ජලයෙන් යට වී තිබිණි.
කලක් ගිනි අවි අතැතිව සිටි එල්ටීටීඊ සාමාජිකයන් 12000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් පුනරුත්ථාපනය කරනු ලැබූහ. ඉන් වැඩි පිරිසක් කිලිනොච්චියේ ජීවත් වෙති. පුනරුත්ථාපන කාලයෙන් පසු සමාජයට මුහු කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයෝ රැසක් දැන් ප්‍රශ්න වැලක පැටලී ගැලවීමට නොහැකිව සිටිති.

‘අවුරුදු 19න් මම එල්ටීටීඊයට බැඳුණා.මගේ සහෝරදයා යුද්දෙන් මැරුණා. යුද්දෙන් පස්සේ යුද හමුදාවෙන් පුනරුත්තාපන කඳවුරකට යොමු කළා.අවුරුදු එක හමාරක පුනරුත්තාපන කාලය ඉවර වෙද්දි මගේ වයස අවුරුදු 24යි.මම මුහුණ දුන් කුරිරු අත්දැකීම් අමතක කර අලුත් ජීවිතයක් බලාපොරොත්තුවෙන් කඳවුරෙන් එළියට බැස්සේ. කාන්තාවකගේ ජීවිතය සම්පූර්ණ වෙන්න නම් විවාහ වෙලා දරුවන් හදන්න ඕනෑ. මම බලාපොරොත්තු වුණ දේ නොවෙයි ලැබුණේ.අවුරුදු එක හමාරක් කඳවුරක සිටි නිසා සමාජය මා දිහා බලන්න ගත්තේ සැකෙන්. නමුත් අපට පුනරුත්තාපන කාලේ කිසිම නරකක් වුණේ නෑ. හොඳින් සැලකුවා.‘‘ කිලිනොච්චියේ ජයන්ති නගරයේ තරුණියක එලෙස පැවසුවාය. මෙවන් ගැටළුවලට තමා පමණක් නොව තවත් බොහෝ දෙනෙක් මැදිව සිටින බව නම ප්‍රසිද්ධ කරනවාට අකමැති වූ ඇය කීවාය. මෙවැනි දුර්මත නැති කිරීමට වගකිවයුත්තන් කිසිවක් කර නැතැයි ඇය පැවසුවාය.

‘පුනරුත්ථාපන කාලේ අපට කෑම බීම ලැබුණා.නමුත් ප්‍රයෝජනවත් දෙයක් නම් ලැබුණේ නෑ. එල්ටීටීඊ කාලේ අපට කරන්න බොහෝ වැඩ තිබුණා.රස්සා තිබුණා. පුණරුත්තාපන කඳවුරේ ඉඳලා එළියට ආවාට පස්සේ දැන් රස්සාවල් නෑ.අපි කොහොමද ජීවත් වෙන්නේ?‘ කිලිනොච්චියේ ජයන්ති නගර්හි මනිමේකලා එලෙස විමසන්නීය.

තිස් හතර හැවිරිදි මනිමේකලා වසර කිහිපයක් එල්ටීටීඊ සංවිධානයේ සේවය කළ බව කියන්නීය.යුද්ධයේ අවසන් සමයේ ලොකු අම්මා සමඟ ගොස් යුද හමුදාවට බාර වූ ඇය වසර එක හමාරක් පුණරුත්තාපනය ලබා තිබේ.

‘සිවිල් ආරක්ෂක බළකායේ රැකියා දෙන බව කිව්වත් ලැබුණේ නෑ.දැන් පොඩි රස්සාවකට යනවා.රුපියල් 7000යි වැටුප.ජීවත් වෙන්න අමාරු නිසා මහත්තයා සෞදි ගියා. නමුත් තවම රස්සාවක් ලැබී නෑ.අපට සමෘද්ධියත් නෑ.‘යැයිද ඇය සුසුමක් හෙළුවාය.

පුනරුත්තාපනයෙන් පසු ඇය නැවත සමාජගත වන්නේ උන් හිටි තැන් නැති සියලු දේ අහිමි වූ අයකු ලෙසනි.ඇගේ නවාතැන සොයුරියගේ නිවසයි.

‘යුද්දෙ නිසා අපට ඔක්කොම නැති වුණා.ආයෙත් යුද්දෙ එපා.ජීවත් වෙලා ඉන්න තිබුණොත් ඇති.‘
මනිමේකලා වැනි පුනරුත්ථාපනය ලද එල්ටීටීඊ සාමාජිකාවන් රැසකටම දැන් ඇති ප්‍රධානම ප්‍රශ්නය එයයි. ජීවත් වී සිටීමට, බඩ වියත පුරවා ගැනීමට, දරු මල්ලන් උස් මහත් කිරීමට ජීවනෝපායක් සොයා ගැනීමේ බරපතල ගැටළුවට ඔවුහු මුහුණ දී සිටිති.
එල්ටීටීඊ සැකකරුවන් පුනරුත්ථාපනය කර සමාජගත කර වසර හතරකට වැඩි වුවත් ඔවුනට ඇලවූ කොටි ලේබලය තවමත් ගලවා නැත.කොටි ලේබලය නිසා පුනරුත්ථාපනය ලැබූවන් කබලෙන් ලිපට වැටී සිටිව බව ඔවුහු පවසති.

‘‘1993 දි මම එල්ටීටීඊයට බැඳුණේ.අවුරුදු දෙකක් විතර වැඩ කළා.1996 දි අපි ටිපර් රථයකින් යාපනේ යද්දි බිම් බෝම්බෙකට අසුවී මගේ දකුණු කකුල කැඩුණා.යුද්දෙ ඉවර වුණාට පස්සේ අවුරුද්දක් විතර පුනරුත්ථාපන කඳවුරේ හිටියා.ඉන් පසු අතට රුපියල් 250ක් දී බසයට නැංගුවා.කිලිනොච්චියෙන් බැහැලා ත්‍රීරෝද රථයක බිරිඳගේ ගේ ළඟට ආවා. රුපියල් 250 ඉවරයි. ගෙට ගොඩවෙද්දී අතේ සතයක්වත් නෑ.‘‘යැයි නම හෙළි කීරීමට අකමැති වූ ආබාධිත ත්‍රීරෝද රියදුරෙක් සිය දුක්බර කතාවට මුල පුරමින් කීවේය.

‘ආබාධිතයන්ට කෘත්‍රිම කකුලක් ගන්න රුපියල් පනස් දහසක් දෙනවා.ඒ සඳහා පෝරමයක් පුරවන්න තියෙනවා.එය ග්‍රාම නිලධාරී ලවා සහතික කරන්න ඕනෑ.එහි තිබෙනවා මෙහෙම වාඛ්‍යයක් ; ‘‘ඉහත නම සඳහන් පුද්ගලයා රජයට හෝ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියා නොකළ බව මෙයින් සහතික කරමි.‘‘ මේ වාක්‍ය තියෙද්දි ග්‍රාම නිලධාරීන් අත්සන් කරන්නේ නෑ. මෙය මට විතරක් නොවෙයි බොහෝ පිරිසකට තියන ප්‍රශ්නයක් . ‘

එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්ථාපනය කර සාමාන්‍ය ජනතාව ලෙස සමාජ ගත කළ බව කීව ද යුද සමයේ පැවැති තහංචි ඉවත් කිරීමට තවමත් වගකිවයුත්තන් කටයුතු කර නැති බව ඔහුගේ අදහසයි.

පුනරුත්ථාපනය වී ගමට පැමිණි ඔහු වතුවල වැඩ කරමින් බිරිය සහ දියණියන් තිදෙනා සමග ජීවත් වීමට දුක් මහන්සියෙන් කුඩා නිවසක් සෑදීම ඇරැඹුවද තවමත් එහි වැඩ නිම කර ගැනීමට හැකිවී නැත. ත්‍රීරොද රියදුරකු ලෙස කටයුතු කළත් ඔහුට රියදුරු බලපත නැත. ඒ පාදයක් අහිමි ආබාධිතයකුට රියදුරු බලපත ගැනීමට හැකි විශේෂ වාහනයක් මිලට ගැනීමට තරම් ඔහුට වත්කමක් නොමැති බැවිනි.

‘ගමේ සමිතිවල නායකත්වය ගෙන වැඩ කටයුතු කරන්න කැමතියි. නමුත් සමහරුන් කැමති නෑ අපි වංචා දූෂණ නැතිව හරියට වැඩ කරන නිසා . අපි නායකත්වය ගෙන පොදු වැඩක් කරනවා නම් අපි ආයෙත් වෙනත් දේකට ලෑස්තිවෙනවා කියා කොටි ලේබලය අලවනවා. එනිසා මම ගමට නායකයකු වෙන්න යන්නේ නෑ.ගෙදරට විතරක් නායකයෙක් වෙලා ඉන්නවා.‘

පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන සමාජයේ ඇති වැරදි මතය වෙනස් කිරීමට මේ වන තෙක් කිසිවකු කිසිම ක්‍රියාමර්ගයක් ගෙන නැති බැවින් ඔවුන්ගේ අත්දැකීම්වලින් සමාජයට වැඩක් ගැනීමේ අවස්ථාව ඇහිරී ගොස් ඇතැයි ඔවුන්ගේ වදන්වලින් කියැවෙයි. සමාජයේ ඉදිරියටම ගමන් කරන්නැයි ඔවුන් පුනරුත්ථාපන කඳවුරුවලින් පිටතට එවා ඇත්තේ සමාජයේ ඇති බැරියර රැසක් ඉවත් නොකර බව ඔවුහු කියති.එනිසා එදා සිටි තැනින් ඉරිදියට යෑමට ඔවුනට අසීරුය.

‘‘යුද්ධය සහ පවුලේ ගැටළු නිසා 2003 දි මට ඉගෙනීම නවත්වන්න සිද්ධ වුණා.මම පවුලේ වැඩිමලා.සහෝදර සහෝදරියන් හත දෙනෙක් ඉන්නවා. තාත්තට පිළිකා රෝගය හැදිලා මහරගම පිළිකා රෝහලට ඇතුළු කළා. අම්මා තාත්තා ළඟ ඉඳන් සාත්තු කළා. මම තමයි පවුලේ බර ඇද්දේ. මගේ ලොකු නංගී එල්ටීටීඊයට බැඳුණා. 2007 දි තාත්තා මිය ගියා. තාත්තාගේ අවසන් කටයුතු %7යා අවස්ථා ඇති කරන්නේ නම් විරැකියාව පිළිබඳ ගැටළුව සහ විරැකියා නිසා රස්තියාදු ගසන තරුණයන් විවිධ අපචාරවලට යොමු වීමේ ගැටළුව බොහෝ දුරට අඩුවනු ඇතැයි ඔවුහු කියති.
අවුරුදු 13ක් එල්ටීටීඊයේ සේවය කර ඇති තවත් අයෙකුගේ දෑස ෂෙල් ප්‍රහාරයකින් අහිමි වී ගොස් ඇත. නම හෙළි කිරීමට අකමැති වූ ඔහු අවසන් සටන තෙක්ම එල්ටීටීඊ යුද පෙරමුණේ සිට ඇත. එල්ටීටීඊ නායකයකුගේ ආරක්ෂකයකු ලෙස ද ඔහු දෙවසරක් කටුයුතු කර තිබේ. 2009 අප්‍රේල් 17 වැනි දා අලුයම යුද හමුදාවෙන් එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් දෑසම එහිමි වූ තමා ප්‍රතිකාර ලැබීමෙන් පසු පුනරුත්ථාපන කඳවුරක කාලයක් සිටි බව ඔහු කියයි.

‘පුනරුත්ථාපන කඳවුරේ සිටියදී හොඳට සැලකුවා. නමුත් වෘත්තීය පුහුණවක් ලැබුණේ නෑ.ඉන් පසු රාජ්‍ය නොවන සංවිධානයකින් ලණු පාපිසි මැසීම සඳහා පුහුණුවන් ලැබුණා.ලණු පාපිස්සක් 250ක් පමණ වෙනවා. ඒත් වැඩිපුර විකිණෙන්නේ රුපියල් 50 රෙදි පාපිසි. මම කෑම උයන්න ඉගෙන ගත්තා.දැන් පොඩි කේටරින් ස්ර්විස් එකක් කරගෙන යනවා.අලුතින් එන අය ලොකු ගානක් දාලා පහසුකම් සහිතව ව්‍යාපාර පටන් ගන්න නිසා අපිට බිස්නස් අඩුයි.ඔවුන් සමග හැප්පෙන්න අපට බෑ.‘
පුනරුත්ථාපන කාලයෙන් පසු ජංගම දුරකතනයකින් වැරදි ඇමතුමක් නිසා (මිස්කෝල්) ඇතිවූ ප්‍රේම සම්බන්ධකින් විවාහ දිවියට එළඹි ඔහු දැන් එක්දරු පියෙකි.බිරිය හා දියණිය ජීවත් කරන්නට ඔහු ලොකු වෙහෙසක් දරයි.

‘‘හමුදාව සමඟ තරහක් නෑ.ඔවුන් සමග යාළුවන් විදියටයි ඉන්නේ. නමුත් අප වැනි ආබාධිතයන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවධානය අඩුයි. හිටපු එල්ටීටීඊ කෙනෙක් කියලා හංවඩු ගහනවට මං කැමති නෑ.දෙමළ සහ සිංහල ඕනෑම කෙනකුට තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියෙන්න පුළුවන්.එය සාමාන්‍ය දෙයක්.අපිටත් තිබ්බා.ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඒ කාලේ කළා.දැන් ඒ සියල්ල ඉවරයි.ආයේ ඒවා කරන්නේ නෑ.දේශපාලනේ කරන්නෙත් නෑ. ආයේ යුද්දෙකුත් එපා. අපිට හමුදාව සමඟ කිසිම ගැටළුවක් නෑ. රාත්‍රියට පාරේ යනවා. හමුදාවෙන් අපට කිසිම අනතුරක් කරන්නේ නෑ.‘

පුනරුත්ථාපනය වූ එල්ටීටිඊ සාමාජිකයන් පාවා දෙන්නන් ලෙස ඇතැමෙකු දකින බවත් තම සමාජය කරදරයට පත් කළ පිරිසක් ලෙස තවත් පිරිසක් දකින බවත් ඔවුහු පැවසූහ.
පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් මුහුණ දෙන ගැටළු රාශියක් ඇතැයි කිලිනොච්චියේ ඇන්ග්ලිකන් දේවස්ථානයේ එස් කේ ඩැනියෙල් පියතුමා කීවේය.

‘පුනරුත්ථාපනය වෙලා එළියට ආ අය මුහුණ දෙන ප්‍රධාන ගැටළු තුනක් තිබෙනවා.පළමු වැන්න තමයි මොවුන් හමුදාවේ ඒජන්තවරුන් කියා ප්‍රතික්ෂේප කරන අවස්ථා බොහෝ තියෙනවා. ඔවුන් හමුදාවේ ඔත්තු කාරයන් කියා කොන් කරනවා.දෙවැනි කාරණය තමයි ඒ කාලයේ තිබුණු තත්ත්වය හැටියට එල්ටීටීඊ සාමාජිකයන් ගෙවල්වලට ගිහින් පුද්ගලයන් බඳවා ගන්නවා.පුනරුත්ථාපනය වී පැමිණි කෙනෙක් කා හරි එලෙස බඳවාගෙන ඔවුන් යුද්ධයේදි මියගොස් ඇත්නම් ඔවුන්ගේ දෙමාපියන් හා නෑදෑයන් ඒ පුද්ගලයව ප්‍රතික්ෂේප කරනවා.අහවලා නිසා තමයි අපේ ඥාතියා මැරුණේ කියනවා.තුන් වැනි කාරණය තමයි සමාජයේ මතයක් තිබෙනවා කාන්තාවන් පුනරුත්ථාපන කදවරුදුවලට සිට ආ විට ඔවුන්ගේ පිරිසිදු භාවය අහිමි වෙලා කියා.ඒ නිසා සොයා නොබලාම නෑදෑයෙන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා.පවුල් ජීවිතයේත් ලොකු ගැටළු මතු වෙනවා. ‘‘
එම ප්‍රදේශයට පැමිණ රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් පුනරුත්ථාපනයවූවන්ට ලබා දෙන්නේ අවශ්‍ය දේ නොවන බව පියතුමා කියයි.

‘ගොවිතැනට අවශ්‍ය උපකරණ දෙන්න ඕන අයට මහන මැෂින් දෙනවා. මහන විදිය උගන්වන්නෙත් නෑ.ඒ නිසා කිසිවකුට ප්‍රයෝජනයක් නෑ.2000කට පමණ සිවිල් ආරක්ෂක බළකායේ රැකියා දුන්නා.තවත් බොහෝ දෙනකු ඉන්නවා රැකියා නැතිව.‘
ඔවුනට අලවා ඇති කොටි ලේබලය තවමත් ගලවා නැති නිසා පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකාවන් දෙදෙනකු මුහුණ දුන් ගැටළු දෙකක් ඩැනියෙල් පියතුමා විස්තර කළේය.

‘එල්ටීටීඊයට යන්න කලින් අවුරුදු අටක් ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කළ කෙනෙකු තමා ඉගැන්වූ පාසලට ගොස් තිබුණා වෙනත් රැකියාවකට යෑමට සේවා සහතිකයක් ගන්න.එල්ටීටීඊ හිටපු කෙනකුට සේවා සහතික ලබා දි ප්‍රශ්නවල පැටලෙන්න බැහැ කියා විදුහල්පති එය ප්‍රතික්ෂේප කර තිබුණා.තව කෙනෙක් යෝග ඉගෙන ගන්න ඉන්දියාවේ යන්න කියා.ගමන් බලපතේ අංකය ගැහුවාම එල්ටීටීඊ සාමාජිකාවක් ලෙස සටහන් වීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වුණා.‘

යුද්ධය අවසන් වී වසර හයක් ගත වුව ද පොදුවේ ගත් කළ මේ සියලු දෙනා ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් බියක් දැක්වූහ.ඇතැමෙක් නම ප්‍රසිද්ධ කරනවාට බිය වූහ.
අවසන් වශයෙන් ඔවුන් මතු කළ තවත් ගැටළුවක් වූයේ භාෂා ප්‍රශ්නයයි.පොලිසියේ හා රෝහල්වල භාෂා දන්නා වෛද්‍යවරුන් හා නිලධාරීන් නැති නිසා ගැටළුවලට මුහුණ දෙන්නට සිදුවන බව ඔවුහු කීහ.
පුනරුත්තාපනය කර සමාජ ගත කරද්දී ලැබුණු දෙයක් ද නැත.ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස දකින්නට සමාජය හුරු කර ද නැත.

මේ නිසා විසඳුම් නොලත් ගැටළු රැසක ඔවුහු මැදිවී සිටිති.සුසුම් හෙළති.ඔවුන් බලා පොරොත්තු වන්නේ වෙනත් රාජ්‍යයක් නොවේ.ඔවුන් බලාපොරොත්තු වන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වීමට අවශ්‍ය වටපිටාව පමණි.
‘යුද්දෙ නිසා දෙපැත්තෙම අයගේ ගොඩක් දේවල් නැතිවුණා. ආයෙ නම් යුද්ධයක් එපා. අපිව කොහොම හැදින්වුවත් කමක් නෑ. ඒත් අපි තනිකරන්න එපා…” පුනරුත්තාපනය වූ එල්ටීටිඊ සාමාජිකයෙක් අවසන් වශයෙන් ඉල්ලා සිටියේය.

තරිඳු ජයවර්ධන, ඉඳුනිල් උස්ගොඩආරච්චි, උදය කාර්තික්, ආර් ඉන්දුමතී

This story was produced as an outcome of Internews’ Journalist Sprint Program held in December 2015, and published in the Lankadeepa – http://www.lankadeepa.lk/index.php/articles/367617