තරිඳු උඩුවරගෙදර

අද සමයේ අතුරුදන්වූවන් පැමිණිලි විභාග කිරීමේ ජනපති කොමිෂන් සභාව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය සතියේදී යාපනයේ පැමිණිලි විභාග කළේ ය. ඒ අතරතුර දෙමළ ජාතික සන්ධානය ද අතුරුදන්වූවන් පිළිබඳ කතාබහ ඉදිරියට ගෙනැවිත් තිබෙන්නේ ය. සත්‍යය සෙවීමේ කොමිෂන් සභා ගැන කතාබහ ඇතිවන්නේ ය. එහෙත් උතුරේ යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට ලැබෙන අවධානය නැගෙනහිරට ලැබෙන්නේදැයි සැකයකි.

අතුරුදන්වූවන්ගේ සමීපතමයන් මුණ ගැසෙන්නට මඩකළපුවට ගිය අපට මුණගැසුණු මුහුණු බොහෝ ය. හැම මුහුණකටම කතාවක් තිබුණි. සමීපතමයන් අතුරුදන්ව ඔවුන් ජීවත්වන්නේදැයි හරිහැටි නොදැන ගෙවන ජීවිතය ජාතිභේදයකින් තොරව සියල්ලන් විඳින වේදනාවකි. ඒ වේදනාවේ කතාව අපි කියන්නෙමු. මේ ඒ පොදු වේදනාවෙහි මඩකළපු කතාන්දරය පවසන මව්වරුන් තිදෙනෙකි.

අන්දෝනි රවිදා (වයස 42)

අන්දෝනි රවිදා (වයස 42)

මඩකළපුව විනයාග පුරම්වල සිටි කවිදාගේ සැමියා කන්දයියා අන්තෝනි වන්නේය. 2008 දෙසැම්බර් දෙවැනිදා උරුගාමකුලම් ප‍්‍රදේශයේදී ධීවර කර්මාන්තය සඳහා තවත් සිව්දෙනෙකු සමඟ කන්දයියා ගොස් ඇත. කවිදා පවසන්නේ යන අතරමඟදී කණ්ඩායමක් පැමිණ ගිය අය අතරින් එක් අයෙකුට වෙඩි තබා කන්දයියා සහ තවකෙකු අල්ලාගෙන ගොස් ඇති බවයි. කන්දයියාගේ එක් මිතුරකු ගැලවී පලාවිත් තිබුණූ අතර ඔහු කියා තිබුණේ පැහැරගැනීම කළ කණ්ඩායම තමන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස හඳුන්වා දුන් බවයි. කවිදා දිව ගොස් ඇත්තේ පොලීසිය වෙතය. එහෙත් පොලීසිය ඇගේ පැමිණිල්ල බාරගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත. අවසානයේ පොලීසියේ වරු ගණන් රස්තියාදු වී ඇයට නොවැටහෙන සිංහලෙන් පැමිණිල්ල පොලිස් පොතේ ලියවාගැනීමට හැකි වී ඇත. එතැන් පටන් ඔහු අතුරුදන් වූ 2008 සිට 2010 දක්වා තම වේදනාබර අහිමිකරවීමේ කතාව රැුගෙන ගිය ආයතන සංඛ්‍යාව 110ක් බව ඇය පවසන්නීය. පුවත්පත්, සිවිල් සංවිධාන, රජයේ ආයතනවලට ඇය සිය කතාව රැුගෙන ගියාය. මේ අතරවාරයේ ඇගේ සැමියා ඇතුළු කණ්ඩායමකට රාජපක්ෂ රජයෙන් නිදහස ලැබී ඇතැයි පුවතක් සැමියාගේ ඡායාරූපයක්ද සහිතව පුවත්පතක පළවී ඇති අතර ඇගේ අතට හිතවතුන් අතින් ඒ පුවත තිබුණු පිටුව ලැබුණුමුත් නිදහස් වුණායැයි කියන සැමියා පැමිණියේ නැත. ඇය සිය සැමියා සෙවීමේ සටන යළිත් ආරම්භ කරන්නී හමුදාව සිය සැමියා තබාගෙන සිටි බවට සාක්ෂියක් වන පුවත්පත් පිටුව රැගෙන ආයතන 110 ලැයිස්තුවේ මුලසිට ගමන අරඹන්නී ය. කෙසේ හෝ ඇය සිය සැමියා සමඟම නිදහස් කළායැයි කියූ තවත් පුද්ගලයෙකු හමුවී ඇති අතර හමුදා කඳවුරක ඒ වන විට වැඩ කරමින් සිට ඇති නිසා ඔහු පිළිතුරු නොදී ඇය මඟහැර ඇත.

‘මට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. ලොකු පුතා සාමාන්‍ය පෙළ හොඳටම පාස්වෙලා ඉන්නකොට තමයි එයාව අතුරුදන් කළේ. තාත්තා නැති නිසා මගේ පුතාට උසස්පෙළ පන්තියට යන්න බැරි වුණා. එයා පවුලේ බර කරට ගන්න රැුකියාවක් විදියට මේසන් බාස් වැඩ පටන්ගත්තා. මාස හයක් රස්සාව කරලා ලොකු පුතා ඉස්කෝලේ යන්න පටන් ගත්තත් ණයකාරයෝ කරදර කරන්න පටන් ගත්තාට පස්සේ පුතා ඉස්කෝලේ ඇඳුම විසි කරලා දාලා ආයෙමත් මේසන් වැඩ කරන්න පටන් ගත්තා. පන්තියේ පළවෙනියා වුණ පුතා දැන් බාස් කෙනෙක්. අනිත් යාළුවෝ හොඳ රස්සා කරනවා දකිනකොට පුතාට මොනවගේ වේදනාවක් දැනෙනවා ඇතිද?’

කුගේන්ද්‍රරාජා කුමුදා (වයස 39)

කුගේන්ද්‍රරාජා කුමුදා (වයස 39)

‘මගේ මහත්තයාගේ නම කුගේන්ද්‍රරාජා. ඔව්, 2002 දී එයා එල්ටීටීඊ එකෙන් යුද්ධ කළා. ඒ නැගෙනහිර භාරව හිටපු, පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුණ කරුණා අම්මාන්ගේ නියෝගයක් නිසා. හැම පවුලකින්ම කෙනෙක් එල්ටීටීඊ එකට එකතු කරගන්න වුණා. ඒත් එයා ටික කාලෙකින්ම එල්ටීටීඊ එකෙන් අයින් වෙලා ඇවිත් මාව බැන්දා. 2009 අගෝස්තු 16 වෙනිදා මහත්තයාව පැහැර ගනිද්දී මගේ කුසේ මාස හතක දරුවෙක් හිටියා. පලූකාමම් කෑම්ප් එක බාරව හිටපු නිලධාරියයායි, තවත් නිලධාරියෙකුයි තමයි එයාව අරගෙන ගියේ. මම ඒ නිලධාරීන් දෙන්නෙකුගේ නම් පොලීසියට කළ පැමිණිල්ලට දාලා තිබුණු නිසා ගොඩක් ප‍්‍රශ්න ආවා. එක් වෙලාවක මට කෝල් එකක් ආවා මගේ නෑදෑයෙකුගෙන්, මහත්තයාව නිදහස් කරවගන්න පුළුවන්, ඒත් මම පොලීසියට දාලා තියන පැමිණිල්ලෙන් නිලධාරීන්ගේ නම් අස් කරගන්න ඕනෑ කියලා. ඒත් ඉන් පස්සේ 2010 දී හමුදා කෑම්ප් එක අස්කරගන්න කොට කෑම්ප් එකේ තිබිලා මගේ හිතවතෙකුට ලැබිලා තිබුණා මහත්තයාගේ අයිඩින්ටි එක. මම ඒකත් අරන් ගිහින් ආයෙමත් පොලීසියට පැමිණිලි කළා. මහත්තයාගේ අයිඩින්ටිය කොහොමද කෑම්ප් එකට ගියේ කියලා.’

අමල්රාජ් අමලනායගී (අවුරුදු 41)

අමල්රාජ් අමලනායගී (අවුරුදු 41)

‘මගේ මහත්තයාගේ නම අන්දෙයියාන් අමල්රාජ්. අපි හිටියේ මඩකළපුවේ කරඩියනාරවල. අපට කුඹුරු තිබුණා. මහත්තයාව අල්ලාගෙන ගියේ කුඹුරු වැඩවලට යන අතරතුරේදී. මහත්තයා අරගෙන ගිහින් තිබුණ නිලධාරීන්ව මට නම් කරන්න පුළුවන්. පොලීසියට පැමිණිලි කරන්න ගියත් ඉහළ නිලධාරියෝ දෙන්නෙක්ගේ නම් තිබුණු නිසා පැමිණිල්ල බාරගන්න කැමති වුණේ නැහැ. දවස් තුනක් ඇවිදලා තමයි පැමිණිල්ල දාගන්න පුළුවන් වුණේ. පොලීසියෙන් කිව්වේ රජයට එරෙහිව පැමිණිලි කරන්න එපා කියලා. ඒත් මං ඇහුවා එයාලා රජය නම් අපි කවුද, අපි රජයෙන් පිට අයද කියලා. මේ සිදුවීමෙන් කාලයකට පස්සේ, දැනට අවුරුද්දකට කලින් මට දැනගන්න ලැබුණා එදා පොලීසිය ලියාගෙන තියෙන්නේ පැමිණිල්ල විකෘති කරලා කියලා. ඒකේ ලියලා තියෙන්නේ නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගියා කියලා. අතුරුදන් කරවපු දවසත් වෙනස් කරලා. එදා පැමිණිල්ල ලියාගත්තේ සිංහලෙන් නිසා මට කිසි දෙයක් තේරුණේ නැහැ. මම දැන් ඉන්නේ දැන් කසාද බැඳලා ඉන්න දුවට දෑවැද්ද විදියට දීපු ගෙදර. අනුන්ගේ ගෙදරක ඉන්නවා කියන හැඟීම තියෙන්නේ. උදේ හවා මට හිතෙන්නේ ජීවිතය නැති කරගන්න කියලා. ළමයි නැත්නම් දැනටමත් මම ජීවිතේ නැති කරගෙන.’

සමාජ ප‍්‍රශ්න

මේ මව්වරුන්ගෙන් බහුතරයක් තමන්ගේ සැමියා ගෙන ගියේ කුමන නිලය හිමි කුමන නිලධාරියාදැයි පැහැදිලිව කීවෝය. ඒ නම්ගම් අප මෙතැන සටහන් නොකරන්නේ නම් සටහන් කෙරෙන නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළ නොහැකි වූ නිසා ය. මේ නිලධාරීන් ගෙන්වා ප‍්‍රශ්න කිරීම ආණ්ඩුව සතු වගකීමකි.

බොහෝ මව්වරුන්ට තිබුණේ ආර්ථිකය ගැටගසාගැනීමේ අභි යෝගය මෙන්ම සමාජයෙන් කොන්වීම පිළිබඳ වේදනාවයි. ඔවුන් කාලකණ්ණිකමේ සංකේතයක් ලෙස ඇතැම්මු හඳුන්වන්නට උත්සාහ කරති. ‘ගොඩාක් අය කියන්නේ මහත්තයාට මරණ සහතිකයක් ගන්න කියලා. ඒත් මහත්තයා මැරුණාද ඉන්නවාද කියලා නොදැන මරණ සහතිකයක් දෙන්නේ කොහොමද? සමහරු අහනවා මේ ගෑනු මිනිහා මැරුණාමත් තාලිය දාගෙන මොට්ටු තියාගෙන ඉන්නේ ඇයි කියලා. අපි ලස්සන සාරියක් ඇන්දොත් කියනවා මිනිහා නැති වුණත් මේ ගෑනු හොඳට ඉන්නවා කියලා. සමහර අය අපව සල්ලිවලට මිනිස්සු එක්ක නිදාගන්න ගෑනු තත්ත්වයට දාලා කියන්නේ. මඟුලකට කෝවිලකට වගේ සුභ කටයුත්තකට ගියත් කාලකණ්ණි ගෑනු දැක්කාම වගේ අපව මඟඅරිනවා. මේ ජීවිතේ අපට දරාගන්න බැහැ.’

අප සමඟ කතාබහ කළ බොහෝ මව්වරුන් දිරිය කාන්තාවන්යැයි කිව හැකිය. යුද්ධය තිබුණු ප‍්‍රදේශවල බොහොමයක් ගෘහ මූලිකයන්, සැමියන් මියගොස් හෝ අතුරුදන්ව ඇති කාන්තාවන් ය. එවන් කාන්තාවන් ඇතැම් පුරුෂ මූලික පවුල්වලටත් වඩා සාර්ථක ලෙස ජීවිත ගැටගසාගනු දැකීම සමහරුන්ගේ නොරිස්සීමට හේතු වී ඇත. මේවා මේ ප‍්‍රදේශවල සමාජ ප‍්‍රශ්න ය. තමන්ගේවුන් මිය ගොස් ඇතිනම් ඒ බව හෝ දැනගන්නට ලැබෙන්නේ නම් එය මේ පීඩිත මිනිසුන් ලබන සහනයයි. අප මඩකළපුවේ සිවිල් නියෝජිතයන් හා ආණ්ඩුවේ නියෝජිතයන් මුණ ගැසුණෙමු.

මඩකළපුව දිස්ත‍්‍රික් ලේකම් පී.එම්.එස්. චාල්ස් මහත්මිය මුණගැසී මේ පිළිබඳව විමසීමේදී ඇය පැවසුවේ අතුරුදන්වූවන් සිටින බව නිල වශයෙන් පිළිගෙන නොතිබීම නිසා ඔවුන්ට විවිධාකාර සහනයන් ලබාදීමට ඇති ඉඩකඩ ඇහිරී තිබෙන බවයි. මෙය සමාජ ප‍්‍රශ්නයක් නොව දේශපාලන ප‍්‍රශ්නයක් කොට සැලකීම මෙම ගැටලූවට ප‍්‍රධාන හේතුව බව ඇය පවසන්නීය. ඇය තවදුරටත් කියන්නී අතුරුදන්වූවන්ගේ ගැටලූවට සැබෑ විසඳුමක් දීමට නම් මේ පිළිබඳව සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් වශයෙන් නොව සම්පූර්ණ රටක් ලෙස දැකිය යුතු බවයි. මේ වන විට තමන්ගේ ප‍්‍රදේශයට අයත් අතුරුදන්වූවන් සම්බන්ධ යෙන් අවතැන්වූවන් යන වර්ගීකරණය යටතේ හැකි අයුරින් උපකාර කරන බවද ඇය පැවසුවාය.

අප සමග කතාබහට එක්වෙමින් පැරිමාස් නැගෙනහිර මානව හා ආර්ථික සංවර්ධන වැඩසටහන නම් සිවිල් ව්‍යාපෘතියෙහි පරිපාලන නිලධාරියා ලෙස කටයුතු කරන විශ‍්‍රාමික බන්ධනාගාර නිලධාරී පී.කේ.එම්. මූර්ති මහතා පැවසුවේ 1985 වර්ෂයේ සිට මේ වනතෙක් අතුරුදන්වූවන් 9990ක් ගැන මඩකළපුවෙන් තමන්ට වාර්තා වී තිබෙන බවයි. සිවිල් සමාජය විසින් කරන කටයුතු කිහිපයක් හැරුණුකොට ආණ්ඩුවෙන් කිසිදු සහනයක් නොමැතිව මේ මිනිසුන් වේදනාවෙන් සහ ව්‍යාකූලත්වයෙන් යුතුව සමාජයේ පීඩා විඳින බව ඔහු කියන්නේ ය. විශේෂයෙන් මෙවන් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය ගැන සෙවිය යුතු බව ඔහුගේ අදහසයි. ඔහු පැවසුවේ ජනවාර්ගික යුද්ධයේදී අතුරුදන් වූ සුළු ජාතීන් පමණක් නොව සමස්ත අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සාධාරණ යක් ඉටු කිරීම පිණිස පනතක් සම්මත කරගැනීම උචිත බවයි.

මඩකළපු සහ අම්පාර දිසාවෙහි රදගුරු ජෝසෆ් පොන්නයියා බිෂොප්වරයා මුණගැසුණු අපට ඔහු පෙන්වාදුන්නේ මේ ප‍්‍රදේශවල යුද්ධය, අතුරුදන් කරවීම, සුනාමිය වැනි විවිධාකාර හේතු නිසා නිවාසවල ගෘහමූලිකයන් අහිමි වූ පවුල් හතළිස් දහසකට අධික ප‍්‍රමාණයක් සිටින බවයි. මේ පවුල්වල ආර්ථිකය කාන්තාවන් විසින් මෙහෙයවන බව ඔහු පවසයි. යුද්ධය නිසා පීඩාවට පත්වූවන්ට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ වැළපෙන්නට ඇති අයිතිය අහිමි කිරීම බව ඔහු පවසන්නේ ය. පසුගිය නොවැම්බරයේ සිය අහිමිවූවන් සමරන්නට උත්සාහ කළද ප‍්‍රසිද්ධියේ එය කරන්නට පොලීසියෙන් ඉඩ නොලැබුණි. කෙසේ වෙතත් ජනවාරි අට රෙජීම වෙනසින් පසු හමුදාව කඳවුරුවලට සීමා වී සිටින බවත් මිනිසුන්ට යම් නිදහසක් තිබිය යුතු බවත් ඔහු කියන්නේ ය. කෙසේ වෙතත් ආණ්ඩුව මේ මිනිසුන් ගැන සොයාබැලිය යුතු බව ඔහුගේ ද අදහසයි.

සැමියා සොයමින් යන කුමුදාගේ ගමන ආරම්භ වූයේ වසර හතකට කලින් ය. ලංකාවේ අතුරුදන්වූවන් සොයන මව්වරුන්ට හිමි පොදු ජීවන චර්යාව ඇයට ද උරුම වී ඇත. දැන් ඇයගේ දියණියගේ වයස අවුරුදු හතකි. දියණිය පියා ගැන අසනවිට ඇයට පිළිතුරු නොමැත. යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති මෙවන් දරුවන්ට කිසිදු නීත්‍යනුකූල සාධාරණීකරණයකින් තොරව පියවරුන් අහිමිවීම යුද්ධයේ බරපතළම ඛේදවාචකය නොවේද? කන්නට කෑමක් නොමැති, අඳින්නට හරි ඇඳුමක් නොමැති, හිසට වහලක් නොමැති, කරන්නට රැ කියාවක් නොමැති ජීවිත ඔවුන්ට උරුම කළෝ කවරහුද? මේ මිනිසුන් අතර සියදිවි හානිකර ගැනීම එදිනෙදා දෙයක් වී ඇත. එවන් ජීවිතයක් විඳින මේ දරුවන්ට සිය පියවරුන් ගැන අසන ප‍්‍රශ්නවලට අද පිළිතුරු සොයන ස්වරයෙන් හෙට පිළිතුරු සොයන්නට නොහැකි වනු ඇත. තමන් කිසිදු සම්බන්ධයන් නොමැති දේවලට වන්දි ගෙවීමට සිදුව තිබෙන මෙවන් දරුවන් වැඩිහිටියන් වී හෙට තමන්ගේ ප‍්‍රශ්න තදින් අසද්දී ඔබ කරන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන්ද අතුරුදන් කරවීමද? නැතිනම් මේ මිනිසුන්ගේ සාධාරණ වේදනාව සමනය කරගැනීම පිණිස උපරිම වෙර යොදන්නේ ද? ආණ්ඩුව මේ මිනිසුන් ගැන බරපතළ ලෙස සිතිය යුතුමය.

This article was published in the Ravaya newspaper – http://ravaya.lk/?p=11229