ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඉතා පිළිවෙළට අත්දිග කමිසයකින් හා දිගු කලිසමකින් සැරසුණු ඔහු පුටුවට බරවී නිසොල්මන්ව සිටියි. කළු පැහැති උපැස් යුවළ යාන්තමින්වත් ඔහුගේ දෑසට එබෙන්නට අපට ඇති කවුළු පියන් වසා දමයි. එහෙත් ඒ සියල්ල පරයා ඔහුගේ හඬ වසර කිහිපයකට පෙර උතුරුකරයේ වූ අඳුරු කතාවකට අප රැුගෙන යයි.

‘ඒ හරියටම 2009 අවුරුද්දේ අපේ‍්‍රල් 17 වැනිදා. වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් සටනේදී මුළු පළාතම වෙඩි හඬින් ගිගුම් දුන්නා. ඇස් ඉදිරියේම එකටම හිටි අය මැරිලා වැටුණා. කනගාටු දැනුණත් කරන්න කිසිවක් තිබුණේ නැහැ. හිස ළඟින්ම වෙඩි ප‍්‍රහාර එල්ල වෙද්දී ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. ෂෙල් එකක් ඇවිත් මගේ දෑසම අන්ධ කළා. මට මොනව වුණාද කියලා ඒ වෙලාවේ දැනුමක් තිබුණේ නැහැ.’

යුද්ධයෙන් ඉතිරි වූ අඳුරු මතකයන් සෝදා හරින්නට මෙන් කිළිනොච්චි පෙදෙසම ධාරානිපාත වරුසාවක ඇළලී ඇත. ටකරන් වහලයට නොනවත්වාම මහ හඬින් තඩිබාන වැස්සට එරෙහිව හඬ නගන්නට ඔහු නොපරදින සටනක යෙදෙයි. නම සඳහන් කරනවාට අකමැති ඔහු එල්ටීටීඊ සංවිධානයෙහි වසර 13ක හිටපු සාමාජිකයෙකි.

‘දවසක් ගෙදර ඉන්න කාලේ මම කළ වැරැුද්දකට තාත්තා මට හොඳටම ගැහුවා. එදා මම ගෙදරින් පිටවුණා. එල්ටීටීඊ සංවිධානය ගැන මට ආදරයක් තිබුණා. කැමැත්තක් තිබුණා. ගෙදරින් ගිිහින් මම එල්ටීටීඊ සංවිධානයට බැඳුණා. මට දැනුණා මම වීරයෙක් කියලා. මටත් යම් දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතුණා.’

ඔහුගේ කටහඬ තීව‍්‍ර වේ. ඒ හඬ සහ කාල වර්ණ රූපය තුළින් දෙඇස දැකගත හැකි නොවුණද යුද බිමෙහි ඔහු හැසිරුණු වීර සෙයියාව මා නෙත් අබිමුව ඇඳෙයි. මරණය ගැන හාංකවිසියක බියක් නොගෑවුණු, වීරයකු ලෙස කිරුළු දැරීමට ආශාවෙන් පෙළෙන තරුණයකුගේ රූ සටහන් යුද පිටියක සිතුවම් වෙයි. මඳක් පැවති නිහඬබව ඔහු යළිත් ගැඹුරු හඬින් පුරවයි.

‘හිටපු එල්ටීටීඊ නායකතුමාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙසත් මම කාලයක් සේවය කළා. ඒක මට ලැබුණු ගෞරවයක් ලෙස විශ්වාස කළා. එල්ටීටීඊ සංවිධානයේ දක්ෂතාවට තැන දුන් සංවිධානයක්. ඒ දේවල්වලට මම ගරු කරනවා. ඒ වාගේම විනයක් තිබුණා. මම උප ලූතිනන් තනතුරේ සේවය කළා.’ ඒ වදන් ඔහු මුවින් පැවසෙන්නේ තවමත් ආඩම්බරය අත්නොහැරුණු සතුටකින්යැ’යි සිතෙයි.

ඔහු අසලම හිටගෙන විමසිලිමත් ලෙස අප දෙස බලා සිටින කාන්තාවකි. ඇගේ පැහැපත් වතෙහි අමනාපයක සේයාවක්වත් නැත. ඉඳහිට ඇය අප සමග සිනාසෙයි. එහෙත් යම් හෝ බියකින් තවමත් ඇගේ සිත යන්තමින් හෝ වැසී ඇතැයි මට සිතෙයි. ඇගේ දෑතෙහි එල්ලී අසල මේසය මතට නගින්නේ වයස අවුරුදු දෙකහමාරක පමණ හුරතල් දැරියකි. මේසය මතින් හෙමි හෙමින් ඇදී අවුත් ඇය ඔහුගේ කමිස කොලරයේ පිටුපසින් එල්ලෙයි. වහා දෑත් පිටුපසට යවන ඔහු කුඩා දැරිය දෝතට ගනියි.

‘මේ මගේ දෙවෙනි දරුවා. පුතාට වයස අවුරුදු හතරයි.’ ඔහු හිස නොහරවාම පවසයි. ‘එතකොට ඔබ විවාහ වුණේ කොයි කාලේද?’ මගේ පැනයට අසල සිටින කාන්තාව කෝල ලෙස සිනාසෙයි. ඔහුගේ පිළිතුර අපූරු කතාන්තරයකි.

‘අපේ විවාහය සිදුවුණේ මිස්ඞ් කෝල් එකක් නිසා. මම යුද්දෙන් පස්සේ පුනරුත්ථාපනය වෙලා ඇවිත් ගෙදර හිටියා. මගේ මල්ලිගේ දුරකතනයට දවසක් වැරදිලා නාඳුනන අංකයකින් මිස් කෝල් එකක් තිබිලා. පස්සේ මල්ලි ඒකට කතා කළා. ඒ මිස් කෝල් එක ඇවිත් තිබුණේ මෙයාගෙ නංගිගෙන්.’ ඔහු තම බිරිඳ අතින් දක්වයි. ඇය තවමත් ලැජ්ජාවෙන් සිනාසෙයි. ඔහු දිගටම ඒ අපූරු කතාව අප හමුවේ තබයි.

‘මල්ලියි මෙයාගේ නංගියි හිතවත් වෙලා කතාබහ කරලා තිබුණා. එහෙම කතා කරද්දි මල්ලි ඒ නංගිලාට, එල්ටීටීඊ සංවිධානේ ඉඳලා අයියා ඇවිත් ඉන්නවා, එයාගේ ඇස් දෙකම අන්ධයි කියලා මා ගැන විස්තර කියලා තිබුණා. ඒ කතාව අහලා ඒ නංගි මෙයාට මා ගැන කියලා තියෙනවා. ඉතින් මෙයාටත් හිතිලා තියෙනවා මම එක්ක කතා කරන්න ඕනෑ කියලා. ඊට පස්සේ අපි එහෙම කතාබහ කළා ටික කාලයක්. ඒත් එකපාරටම මාසයක්ම මෙයාට මට කතා කරන්න වුණේ නැහැ. මොකද මෙයාලාගේ ගෙදර අයගෙන් විරුද්ධත්වයක් ඇතිවුණා මම අන්ධ කෙනෙක් නිසා.’ ඔහුගේ කටහඬ මොහොතකට වියැකෙයි.

සම්පූර්ණ ලෙසම බිත්ති බැඳ නැති කුඩා නිවසේ තල් අතු ආවරණය කළ කොටසින් වැහි බිංදු ගෙතුළට විසිවෙයි. ඔහු අසලම තවමත් නොසෙල්වී සිටින ඇය වියළි තල් අතු ආවරණය අතරින් ඈතකට නෙත් ගෙන යයි.
‘මම මගේ බාප්පා කෙනෙක්ට පස්සේ කීවා මෙයා ගැන. බාප්පා මෙයා ගැන තොරතුරු හොයලා මට කීවා හොඳ කෙනෙක්, ලස්සන කෙනෙක් කියලා. මම මෙයාට කතා කරලා කීවා රත්රන් බඩුවක්වත් වෙන කිසිම දෙයක්වත් ගේන්න එපා, ඔයා විතරක් එන්න කිළිනොච්චි ටවුන් එකට එන්න කියලා. මල්ලියි මමයි ටවුන් එකට ගිහින් මෙයාව හමුවුණා. ඒ වෙලාවෙ මගේ අතේ සල්ලි තිබුණේත් නැහැ. මඩකළපුවෙ ඉන්න මගේ ගුරුවරයෙක් මට බැංකු ගිණුමට රුපියල් 3000ක් එව්වා. අපි එදා කච්චේරියට ගිහින් විවාහ ගිවිස ගත්තා.’

අන්ධකාරයෙන් වැසුණු ඔහුගේ ජීවිතයට යළිත් ආලෝකය රැුගෙන විත් ඇත්තේ ඇයයි. ඔහුට ජීවිතයට නව බලාපොරොත්තු ගෙන දී ඇත්තේ ඇයයි. ඇගෙන් විමසීමට දහසක් පැනයන් මසිත උපදියි. එය වටහාගත් ලෙසින් මෙන් ඇය සිනාසෙමින් හඬ අවදි කරයි.
‘ගෙදර අය කැමති වුණේම නැහැ මම ඇස් නොපෙනෙන කෙනෙක් එක්ක විවාහ වෙනවාට. එල්ටීටීඊ පාලනය තමයි තිබුණේ ඒ කාලේ අපි හිටිය ප‍්‍රදේශයේත්. ඒ නිසා එල්ටීටීඊ සංවිධානයේ කෙනෙක් වීම ගැන නම් අකමැත්තක් තිබුණේ නැහැ. කතාබහ කරද්දී එයා හොඳ කෙනෙක් කියලා මට දැනුණා. අන්ධ වීම කෙනෙක් හිතාමතා තමන්ට කරගන්න දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ හේතුවෙන් හොඳ කෙනෙක් ප‍්‍රතික්ෂේප කරන එක වැරදියි කියලායි මට හිතුණේ. මම තීරණය කළා ගෙදර අකමැති වුණත් එයා එක්ක විවාහ වෙන්න.’

ඇය ගත් තීරණය ගැන තවමත් ඇය සිහිකරන්නේ සතුටිනි. ඒ මතකයෙන් දැනුදු බබළන දෑස ඊට සාක්ෂි දරයි. සියල්ල නිහඬව මඳහස රැඳුණු මුවින් අසා සිටින ඔහු තවත් යමක් කීමට සැරසෙයි.
‘ ඕනෑම දෙමාපියෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දුවව හොඳ තැනකට දෙන්න. මටත් දුවෙක් දැන් ඉන්නවා. දැන් මට ඒ හැඟීම හොඳින් වැටෙහනවා. මගේ දුව වුණත් දවසක අන්ධ කෙනෙක් එක්ක විවාහ වෙන්න තීරණය කළොත් මම විරුද්ධ වෙනවා. එයා යාළු වුණොත් මම විරුද්ධ වෙයි. ඒත් ඒ අයට විවාහ වෙන්නම ඕනෑ කීවොත් මට අවසර දෙන්න සිදුවේවි. ඒත් මට එහෙම දේකට අවසර දෙන්න බැහැ.’
කළු පැහැ උපැස් යුවළ ඔහුගේ නෙත් වසන් කළද හදවතින් නැගි දැරු සෙනෙහසෙහි වචනයට නැගිය නොහැකි වේදනාව බිඳී යන වචනවලින් හා මැකී යන සිනාවෙන් පිළිබිඹු වෙයි.

එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්ව හමුදා කඳවුරක ලැබූ පුනරුත්ථාපනය ගැන ඔහු සිහිපත් කරයි.
‘පුනරුත්ථාපන කාලසීමාවේ මාස හතරකින් පසුව ඉතිරි කාලය වෘත්තීය පුහුණුව සඳහා අපිව යොමු කළා. ඒකෙදි ඉගැන්නුවේ කොහුවලින් පාපිසි හදන්න. පොල්කොහු පාපිසි හදලා විකුණන එක ආදායමක් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. රුපියල් 250කට ඒවා මිලදී ගන්නවාට වඩා රුපියල් 50කට ගන්න පුළුවන් රෙදි පාපිසි තමයි ගොඩක් අය ගන්නේ.

පස්සේ මම කෑම උයන්න ඉගෙන ගෙන පුංචියට කේටරින් සර්විස් එකක් පටන් ගත්තා. ඒත් ඒකත් කරගෙන යන්න අමාරුයි. අපි වාගේ ආබාධිත නොවන අලූත් අය ලොකු ගණන්වලින් මුදල් දාලා ලොකු ව්‍යාපාර පටන් ගන්නවා. ඒ අය එක්ක හැප්පෙන්න අපට අමාරුයි.’
කිසිදු ආදායමක් නොමැති අවස්ථාවල තම බිරිඳ හා දරු දෙදෙනාගේ කුස පිරවීමට මගක් නොමැති ඔහු රබානක් ගෙන ගී ගයා මුදලක් උපයන්නට වීථි බසියි. දේශපාලන අරගලයක ඉතා කුඩා පුරුක් බවට පත්ව සිටි ඔවුහු බඩ වියත රැුකගැනීම වෙනුවෙන් තවමත් උතුරේ මහා අරගලයක යෙදෙති.

‘යුද හමුදාව එක්ක කිසිම තරහක් දැනෙන්නේ නෑ. ඒ හැමෝම යාළුවො බව තේරෙන්නේ දැන්. වටාපිටාවෙ ඉන්න දෙමළ අයගෙන් හිරිහැරයක් ආවත් හමුදාව අපට එහෙම කරදර කරන්නේ නෑ.’
ඒ ඔහු දැන් යුද හමුදාව පිළිබඳ දරන ආකල්පයයි. මඳ නිහඬතාවකට ඉඩදෙන ඔහු නැවතත් මෙවදන් අප හමුවේ තබයි.
‘ ඕනෑම කෙනෙක්ට දෙමළ හෝ සිංහල ලෙස ජාතික හැඟීමක් තිබෙන්න පුළුවන්. මටත් එහෙම හැඟීමක් තිබුණා. ඒ වෙනුවෙන් මගේ උපරිම යුතුකම කළා. ඇස් දෙකත් පරිත්‍යාග ක%8වස වටා පිරුණු ජල තලයේ දුව පැන නැටූ කුඩා පුතු ඔහු සොයා පැමිණෙයි.

‘උංගල් පෙයර් එක්ක?’ නුහුරු ලෙස බස හසුරවමින් මම කුඩා දරුවාගෙන් නම විමසමි. ඔහු ළෙන්ගතු ලෙස මදෙස විමසුම් බැල්මක් හෙලයි. ‘අරුන්’යි පිළිතුරු බඳින ඔහු සිනාසෙයි.